ඉඳුදුන්න -43

“ඔයා හිතන්නෙ මට මේ චැනල් එකේ වැඩ සේරම නැති කරාම ඔයා දිනුම් කියලද?”

තරිඳි ඉඳුවරගෙන් ඇසුවේ සමච්චලයෙනි.ඉඳුවර කිසිත් නොකියා ඉවත බලා ගත්තේ ය.

“දෙන්නගෙන් කෙනෙක් තෝරා ගන්න වෙන තැනකදි මිස්ට වික්‍රමබාහුගෙ ඔප්ෂන් එක ඉඳුවර.ගොඩක් වෙලාවට අපි කාගෙ හරි තේරීමක් වෙන තැන් එනව තරිඳි.අපිට ඒවට මූණ දෙන්න වෙන්නෙත් අපිම කරගන්න දේවල් නිසා.”

රනුක වැඩිමහල් සහෝදරයෙක් ලෙස පැවසී ය.නමුත් තරිඳි ඒවා අසන මට්ටමක සිටියේ නැත.තමන් සැබෑවටම ඉඳුවරට ආදරය කළ බවත් ඒ ආදරය ලෝකයෙන් සඟවන්නට ඔහු තැත් කළ නිසාම තමන් ඔහුගෙන් ඈත්ව ගිය බවත් ඇය පුන පුනා පැවසී ය.

“කොහොමහරි ඒක වෙලා ඉවරයිනෙ.මිනිස්සුන්ට එන්න වගේම යන්නත් ඉඩ තියෙන්න ඕන.දැන් ඉඳුවරට තියෙන්නේ හිත හදා ගන්න..”

රනුක හැකිතාක් උත්සාහ කළේ ඉඳුවරගේ හිත හදන්නට ය.ඉඳුවර මේ සිදුවීම නිසා මානසිකව ඇද වැටිය හැකි බව ඔහු තරයේ ම කල්පනා කළේ ය.එනිසාම ඔහුට උවමනා වූයේ මේවා ඉතා සාමාන්‍ය කතාන්දර බව ඉඳුවරට වටහා දෙන්නට ය.

අමන්දී මේ කතාව දැන ගත්තේ සනුරිගෙනි.නොගැලපෙන සම්බන්ධයක් නිසා හිත රිදවා ගත් මිතුරා ගැන ඇයට සැබෑ වේදනාවක් විය.

“බ්‍රේකප් වෙලා හිටියනම් දුකක් නෑ.මේ සීන් එක දැනගන්නකොටත් ඉඳුවරගෙ කෙල්ලනෙ තරිඳි..”

සනුරි කලකිරීමෙන් පැවසුවා ය.සහස් සහ ඉඳුවර අතරින් වඩා දීප්තිමත් තාරකාව තෝරාගත්තා විනා ඇයට ආදරය තෝරා ගන්නට අවශ්‍ය වී නැතැයි සනුරිට සහතික හැඟීමක් තිබිණ.

“ඒත් ඒක මීඩියා වලින් හයිලයිට් වෙලා තිබ්බෙත් නෑනෙ සනූ.ඔය සහස් වුණත් රටම හොල්ලල වෙඩින් එකක් අරගත්තෙ එකපාරකුත්.අන්තිමට රවීෂාට රටේවත් නොයිඳ ගියේ.ඒත් වුණු දෙයක් නෑනෙ.තව ටික කාලෙකින් ආයේ එකට රඟපාන්න වුණත් බැරි නෑ.ඕවා ඔහොම තමා..”

අමන්දී පැවසුවේ ඇල්මැරුණු හඬිනි.මෙය ඕනෑවට වඩා පීඩාකාරි විය යුතු කතාවක් නොවේයැයි ඈ සිතුවා ය.සැබෑවටම ඉඳුවර පෙම්වතෙකු බව දැනගත් දා ඇයට විශාල වේදනාවක් දැනිණ.නමුත් ඔහු විරහවෙන් කම්පිතව හිඳින බව කියද්දී ඇයට කිසිම හැඟීමක් දැනෙන්නේ නැත.

සමහරවිට තමාට රහස් සතුටක් දැනෙනවා විය හැකියැයි ඈ සිතුවේ එනිසා ය.

“මං ඔයාට පුංචි දෙයක් කියන්නම් කේන්ති ගන්න එපා..”

නව නිවසේ ඉදිකිරීම් නරඹන්නට හවස් යාමකට ගිය විට අවිශ්ක අමන්දීට පැවසී ය.ඒ ඉඳුවරට වූ ඇබැද්දිය අසා හිඳීමෙන් පසු ය.

“මට ඒක අහලා සතුටුද එහෙම නැත්නම් ඉඳුවර මට ආදරෙයි කීවොත් යනවද වගේ ප්‍රශ්නනම් අහන්න එපා අවිශ්ක.මං දැන් එච්චර බොළඳ වෙන්න කැමති නෑ..”

අමන්දී පැවසුවේ බැස යන හිරුට නෙත අලවාගෙන ය.ඉඳුවර කෙරෙහි මැකී නොයන ප්‍රේමය අලුත් වනවාට ඇය හිඳින්නේ බියෙනි.නමුත් ඔහු තරිඳිගේ තැනට එන්නැයි තමන්ට ආරාධනා කළහොත් ආපසු හැරී දිව යන්නට ජීවිතය හින්දි චිත්‍රපටියක් හෝ නවකතාවක් නොවන බව ඇය දැන සිටියා ය.

“එහෙම අහන්න මම සුරංගගෙ වයසෙ පොඩි එකෙක් යැ.නංගි ඌව එපා කීවා කියලා බිබී හිටිය කොල්ලා අන්න නංගිගෙ යාලුවෙක්ම යාලු කරන්..”

අවිශ්ක සැහැල්ලු කතාවක් අරඹා හිනැහී ය.නමුත් ඔහු කියන්නට ගිය කතාව දැන ගන්නට අමන්දීට ඕනෑ විය.

“ඔයා ඉඳුවර එක්ක තරහින් ඉන්න එක වැරදි නැද්ද?”

අවිශ්ක ඇසී ය.

ආදරය ඇති බව දැනි දැනී එය නොදන්නා සේ හුන් මිනිසා ඉඳුවර ය.ආදරය නොකියාම නික්ම ගිය මිනිසා ඉඳුවර ය.ඔහුට නොගැළපෙන මාවතක් තෝරාගෙන ජීවිතය අවුල් කරගත් මිනිසා ඉඳුවර ය.ඉතින් ඔහු සමඟ තරහ නොවී හිඳින්නට අමන්දී අසමත් ය.

“තරු තරගෙ නොවුණානම් ඔයා මේ ගෙදර අයිතිකාරි නෙවේනෙ..”

අවිශ්ක සිහින්සරින් පැවසී ය.

“මට රස්සාවක් කරන වයිෆ් කෙනෙක් ඕන උනේ නෑ.ඒත් ඔයාව බැන්දම ඔයා ටීච කෙනෙක් වෙන්න ආස නිසයි මං ඔයාට ඉඩ දුන්නෙ.ඒ මං ඔයාට ආදරේ නිසා.රස්සාවට ගියාට මට ඔයාව අවිශ්වාස නැති නිසා..”

අවිශ්ක කියන්නේ කුමක්දැයි අමන්දී බලා හුන්නා ය.ඇයට ඒ කතාවේ යටි අරුත ක්‍රමයෙන් නොවැටහුණා ද නොවේ.

“අපි කෙනෙක්ට ආදරේ නම් මුලින්ම කරන්න ඕන දේ එයාගෙ හීනවලට ඉඩ දෙන එක.ඒ ගමනට ඇත්තටම සහයෝගය දෙන එක.එයා ගැන අවිශ්වාස කරලා ඒ ගමන යන්න එපා කියනවනම් ඇත්තටම එතැන ආදරයක් තිබිලා නෑ..”

වසර ගණනක් පැවති වැරදි අවබෝධය අවිශ්කගේ වචන කිහිපයකින් දුරුව යන බව අමන්දීට දැනිණ.ඇගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles