චමෝදි ෆෝන් එකත් අරගෙන වැට ළඟට ආවේ තාත්තාට හොරෙන් දුරකථන ඇමතුමක් ගන්න.සුදාර හයර් එකක් යන ගමන්ද දන්නේ නෑ.කොහොමහරි තාත්තා නාන අතරේ කෝල් එකක් ගන්න පුලුවන් වුණොත් නම් හරි.ඒත් සුදාර ඇමතුමට නොආව නිසා චමෝදි කෙටි තාප්පෙන් එහා පැත්තට ඇස් යැව්වා.
“අලුත් කට්ටියක් ඇවිත්..”
ලස්සනම ලස්සන සුදු පාට කාර් එක දිහා චමෝදි ටිකක් වෙලා ඇහැ අලවාගෙන හිටියා.සුදාරට තියෙන්නේ රතුපාට ත්‍රීවීල් එකක්.සුදාර කියන්නේ නම් මේ ත්‍රීවිල් හයරුයි පොඩි පොඩි බිස්නස් වැඩයි ගොඩ දාගෙන මාලිගාවක් වගේ ගෙයක් හදලා නැවක් වගේ කාරෙකක් ගන්නවා කියලා.
කොට කලිසමකුයි අත් නැති ටී ෂර්ට් එකකුයි ඇඳගෙන රෙදි බේසමක් එක්ක පිටතට ආපු ලස්සන තරුණිය දිහා චමෝදි බලාගෙන හිටියෙ ඇහැ පිල්ලමක්වත් නොගහා.
“හායි නංගා..”
ලස්සන අක්කා කතා කළේ චමෝදි දැකල.චමෝදි එයාට හිනාවක් පා කළා.
“අක්කලද අලුතින් ආවේ..”
චමෝදි අහද්දී අක්කා ලස්සනට හිනා වුණා.ඊටත් පස්සේ චමෝදිගේ විස්තර ඇහුවා.
චමෝදි ඉන්නේ එකොළහ වසරේ.මල්ලි අට වසරේ.තාත්තා වැඩ කරන්නේ හාඩ්වෙයාර් එකක.අම්මා ඩුබායිවල ගෙදරක රස්සාවක් කරනවා.
“අපේ ගෙදර ඉන්නේ මායි අයියයි..”
අක්කා එහෙම කියනකොට අයියත් මිදුලේ එහාමෙහා ඇවිද ඇවිද දුරකථන ඇමතුමක ඉන්න හැටි චමෝදිට පෙනුණා.වෙනදාට එහා පැත්තේ ගෙදර කුලියට එන මිනිස්සු විවිධාකාර වුණත් මේ අක්කයි අයියයි ගැන චමෝදිට ඇති වුණේ පැහැදීමක්.
“නංගී..”
දවසක් හවස් වරුවේ අක්කාගේ කටහඬ ඇහිලා චමෝදි එළියට බැස්සා.
“ආ ඔයාලට..”
අක්කා දුන්නු විනිවිද පේන ප්ලාස්ටික් පෙට්ටිය ඇතුළේ කේක් කෑල්ලක්.
“කේක් එකක් දැම්මා..ඕක ඔයාලට.මල්ලිත් එක්ක තේ බොන්නකො.තේ බීලා මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?”
චමෝදි ඔලුව වනලා එකඟ වුණා.අක්කා තාම මේ පැත්ත ගැන දන්නේ නෑනෙ.එළවළුයි මාළුයි ගන්න හන්දියට යන්න තමයි චමෝදිට කතා කරේ.
“මං ත්‍රීවිල් එකක් දාන්නම්,නංගි තාත්තගෙනුත් අහලා ලෑස්ති වෙනවද?”
ඇත්තටම ගමනක් යන්න අවසර ගන්න ඕන තාත්තාගෙන් නෙවෙයි.සුධාරගෙන්. චමෝදි ඒ අවසරය ගන්න ගමන්ම පොඩි සැලසුමකට අර ඇන්දා.
“අපි දන්න ත්‍රීවිල් අයියා කෙනෙක් ඉන්නවා.එන්න කියන්නං අක්කේ.”
අක්කාත් චමෝදිත් ලෑස්ති වෙලා බලාගෙන ඉන්නකොට සුදාර කුරුල්ලා වගේ ඉගිල්ලීගෙන ආවා.අක්කාගේ නම ලිහිණි කියලා චමෝදි දැනගත්තේ සුදාර එනකම් බලාගෙන ඉන්නකොට.ඒ අතරේ අක්කාට ආපු කෝල් එකක් නිසා අයියාගේ නම යොමාල් කියලත් චමෝදි දැන ගත්තා.
“නංගි..”
එළවළු ටිකත් අරගෙන ආපහු ත්‍රිවිල් එකෙන් බහිනකොට අක්කා චමෝදිට කතා කළා.
“ඔයාට හදිසියක් නැත්නම් අපේ ගෙදර යංකො..”
ඒ යෝජනාවට හීන් සැරේ ඔලුව වනලා සුදාර කැමැත්ත දෙනවත් ලිහිණි බලාගෙන.ගෙට ඇවිත් මහන්සි නිවාගන්න ගමන් සීතල බීම වීදුරුවක් චමෝදිට දෙන අතරේ ලිහිණි කඩයිම් ප්‍රශ්නයක් ඇහුවා.
“අර ත්‍රීවිල් මල්ලි යාලුවෙක්ද?”
නව යෞවන වයසේ කෙල්ලන්ගේ කටට උත්තරේ දුන්නම බොහෝ දේවල් කියැවෙනවා.සුදාරත් එක්ක සම්බන්දෙ ගැන චමෝදිගෙන් දැනගන්න ලිහිණිට ඒ තරම් වෙලා ගියේ නෑ.
“නංගා..ඇයි ඔයාලගෙ අම්මා රට ගියේ..”
ලිහිණි කතාවට ප්‍රවේශය ගත්තේ එහෙම.ඉගෙනීම වටිනාකම ගැන වගේම නොදන්නා රටක බැලමෙහෙවර කරමින් දුක් විඳින අම්මාගේ ආදරය ගැන ලොකු දේශනාවක් චමෝදිට කරන්න ලිහිණි වග බලා ගත්තා.
“නංගිට තියෙන්නේ හොඳට ඉගෙන ගන්න.ඒ මල්ලි ඔය ත්‍රීවිල් එලෝනවා මිසක් රස්සාවක ඉගෙනීමක අගයක් දන්න කෙනෙක් නෙවේනෙ..”
චමෝදිගේ බ්‍රේන්වොෂ් කිරීම පහසු වුණේ නෑ.ඒත් ලිහිණි ඒක හෙමින් හෙමින් කළේ යොමාල්ගෙත් උදව් ඇතිව.සුදාරව මඟ අරින්න ගත්තු චමෝදි වැඩිපුර පාඩම් කරන්න පටන් ගත්තා.ලිහිණි උදේට ලස්සනට ඇඳලා රස්සාවට යන්න වාහනේට නගිනකොට චමෝදිටත් ඒ ජීවිතේ උවමනා වෙන්න පටන් ගත්තා.අමාරු ගණං පාඩම් අහගන්න යොමාල් අයියගෙ උදව්වත් ඉංග්‍රිසී පාඩම්වලට ලිහිණි අක්කාගෙ උදව්වත් ලැබෙනකොට අක්කාගෙත් මල්ලිගෙත් ලකුණු මට්ටම ඉහල යන්න පටන් ගත්තා.
ඉතින් එයාලා හිටියේ සන්තෝසෙන්.එක දවසක අම්මා ලංකාවට ආවේ ඒ සන්තෝසෙ තවත් වැඩි කරමින්.
“දැන් තාත්තා හවසට බීලා එන් නෑනෙ අම්මේ..”
චමෝදි අම්මා එක්ක කිව්වේ සන්තෝසෙන්.
“යොමාල් අයියා තමයි තාත්තට බොන්න එපා කිව්වේ.අම්මා එවන සල්ලි බීලා නාස්ති කරන්න එපා කියනවා.අක්කා තනියම දාලා බොන්න යන්නත් එපාලු. සමහර වෙලාවට තාත්තට යොමාල් අයියා ගෙදර ඉඳන් බොන්න කියලා දෙනවා.අපිට පේන් නැති වෙන්න.හැබැයි ඒවා ගඳ නෑ.”
පුංචි චමෝද් අක්කාට පෝර දැම්මා.
“ලොක්කි කඩ කෑම ගේන්න කිය කියා දඟලන්නැතුව උයන්න පටන් ගත්තෙත් එහා ගෙදර දුව හින්දා තමා.ඒ ළමයා රස්සාවට ගිහිං ඇවිල්ලත් උයනව.මෙයාත් ඒ ගමන උයන්න ගත්තා.හොඳ දේවල් හුරු කරනව විතරක් නෙවෙයි සුනීතො.ඒ ළමයි මෙයාලාට පාඩමුත් කියල දෙනවා.”
අමරපාලත් කතාවට එකතු වුණා.අක්කා පන්තියේ තුන්වැනියා කියලා චමෝද් අම්මාට කිව්වෙ ආඩම්බරෙන්.
ගෙනාපු චොකලට් වලින් හොඳම පංගුවත් අරගෙන සුනීතා ලිහිණිලාගේ ගෙදරට ගියේ චමෝදිත් ඉස්සර කරගෙන.තමන් රට රාජ්ජවල දුක් විඳිනකොට තමන්ගේ දරුවන්ට හොඳ නරක කියා දුන්නු ජෝඩුවට චොකලට් දීලා නම් ස්තුති කරලා මදි.අමරපාලට කියලා ඌරු මස් කෑල්ලක්වත් ගෙනත් බත් කටක් හදලා දෙන්න ඕන.
ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම කාර් එක හෝදමින් හිටිය යොමාල් සුනීතාට හිනා වුණා.සුනීතා ඒ හිනාවට කලින් දැක්කේ අත් කොට ටී කමිසයට පෙනෙන යොමාල්ගේ ටැටූ එක.බොහොම කොට කලිසමකුයි ස්කිනි එකකුයි ඇඳගෙන මල් පැල වලට සාත්තු කරමින් හිටිය ලිහිණි නැගිට්ටේ “එන්න ආන්ටි” කියාගෙන. එතකොට සුනීතා මේ ජෝඩුව ගැන හිතේ හදාගෙන හිටිය දේවාලේ බිමට වැටිලා ඉවරයි.
“පච්චත් ගහගෙන, කොටට ඇඳගෙන මොකුන්ද මන්දා..”
ඊළඟට සිද්ධ වුණේ සුනීතාට ලිහිණිව එපා වෙලාම යන දේ.හුඟක් වෙලා ආගිය විස්තර කතා කරමින් ඉඳලා ලිහිනිලාගෙ ගම්පළාත් ගැන අහපු සුනීතා සාලය පුරාම ඇස් යැව්වා.
“ගම නුවර නම් ඔය දුව උඩරට අඳින්න ඇත්තේ නේද ?කෝ දුවේ මඟුල් පොටෝ එක..”
ලිහිණි ඒකට උත්තර දුන්නෙ සන්සුන් විදියට හිනා වෙලා.
“අපි තාම කසාද බැඳලා නෑ ආන්ටි.කැම්පස් එකේ ඉන්න කාලේ ඉඳලා අපි දෙන්නා එකට ජීවත් වුණේ.වෙඩින් එක හෙමින් ප්ලෑන් කරන ගමන් ඉන්නේ..”
සුනීතාට දැනුණේ මහ අපුලක්.චමෝදිත් ඇදගෙන ගෙදර එනකම්ම නැහැදිච්ච උන්ගෙ ගෙවල් අස්සේ යනවට චමෝදිට බනින්න සුනීතා අමතක කරේ නෑ.ඊටපස්සේ ලේන් එකේ ගෙයක් ගෙයක් ගාණේ රට චොකලට් අරන් යන ගමන් කුණු රහ ආරංචියකුත් සුනීතා අරගෙන ගියා.
“අර අපේ ගෙට එහා පැත්තෙ ඉන්න සංකර ජෝඩුව.කසාද බැඳලා නැතුව ඔය එක ගෙදර වසන්නෙ..”
චූංපාං මල්ලිට,මාළු විකුණන වසන්ත මල්ලිට පවා ඒ කතාව කියනකම් සුනීතාට නින්ද ගියේ නෑ.චමෝදිව අයහපතින් මුදා ගෙන ඉගෙන ගන්න උදව් කරාට,අමරපාලට බීබී රස්තියාදු ගහන්න නොදුන්නට සුනීතා දෙන තෑග්ග ඒක කියලා ලිහිණිලාට වැටහීමක් තිබ්බෙත් නෑ.ඒත් චමෝදිලා නිකමටවත් නොඑන නිසා මොකක් හරි ගැටලුවක් ගැන ලිහිණිට නොහිතුණාත් නෙවේ.
“අර එහා වැටේ ඉන්න කට හැකර සුනීතා දූලා ගැන මහ කුණු කතා ටිකක් කිව්වා.දුවලා කසාදවත් බැඳලා නැතෙයි කියලා.”
ඉස්සරහ ගෙදර ඉන්න මාගරීටා ආච්චි පලා කොළ මිටියක් ගෙනත් දෙන ගමන් ලිහිණිට කිව්වා.ලිහිණිට ඒ කතාව ගැන ඉපදුණේ හිනාවක්.
එහා ගෙදරින් ගෝසාවක් එනකම්ම ආයේ ඒ අය ගැන ලිහිණිලා හොයා බැලුවේ නෑ.සුනීතා බෙරිහන් දිදී අඬන සද්දේ නිසාමයි ලිහිණිලා ඒ පැත්තට ගියෙ.
“පොලිසියෙන් ආව මහත්තයො.අද ටවුමෙ හෝටල් කාමර පොලිසියෙන් සුද්ද කරලා.අපේ එකී අර අමන ත්‍රීවිල් කාරයා එක්ක ඒක අස්සෙ ඉඳලා..”
අමරපාල කිව්වේ පරාජිත ස්වරයකින්.කරදරයකින් ගොඩ ගන්න හැදුවට ආයේ කරදරේ වැටුණු පුංචි කෙල්ලට එහෙම වුණේ බොරු සදාචාරය පස්සෙ යන අම්මා නිසා.ඒත් දැන් ඕවා හිතලා මොකටද?
“අපේ එකීට තාම දාසයයි හින්දා පරිවාසෙට දානවලු..”
සුනීතා කිව්වේ විලාප ගහගහ.
“අපි පොලිසියට යං.”
විනාඩි පහ හයකින් ඇඳගත්තු පිරිස යොමාල්ගෙ කාර් එකේම පොලිසියට යන්න පිටත් වුණා.
“පොලිසියට එනවනම් ලෝයර් කෙනෙක් අරන් ඇවිල්ල කෙල්ල ගන්න කිව්වේ මහත්තයො”
අමරපාල බැගෑපත් ස්වරයෙන් කියෙව්වා.
“ලිහිණි ඉන්නෙ අංකල්..”
සුනීතා ඇස් නළලට ගත්තා.කොටට කොටේ ඇඳුං ඇඳන් ඉන්න මේ කෙල්ල නීතිඥවරියක්ද?
“කසාද ලියවිල්ලේ තියන වටිනාකමක් නොදන්න මෝඩ ගෑනු..”
තමන් ගෙවල් ගාණේ ගිහින් බැන්නේ නීතිය හොඳටම දන්න නෝනා කෙනෙකුට ද?
“අපිටත් චමෝදි ගැන හොයන්නම වුණේ නෑ පහුගිය ටිකෙ.අපේ වෙඩින් එක එන මාසේ අට.අපි හරිම බිසී වෙලා ඉන්නේ ආන්ටි..”
ලිහිණි ලතැවිලි හඬින් කිව්වා.
චමෝදිව ආපහු ගෙදර එක්කගෙන අතරේ ගෑනු ළමයින්ට ජීවිතේ තෝරා ගැනීම් වැරදෙන්න පුලුවන් බවත් ඒවා හදාගෙන ඉදිරියට යාම හොඳ බවත් ලිහිණි පැහැදිලි කරේ ආදරෙන්.
“ලිහිණි ලාබාල ළමයෙක් හින්දා සුදාරට නඩු දාන්න පුලුවන්.ඒත් ඉතින් ලිහිණි උසාවි ගාණේ යනවද නැත්නම් සුදාර ගැන මතකෙ අමතකම කරලා හොඳට ඉගෙන ගන්නවද කියල අපි හිතලා බලමුකො.ඕනනම් විබාගෙන් පස්සෙ අපේ කැන්ඩිවල මහ ගෙදර කාලයක් නැවතිලා ඉන්න.මෙහෙ මිනිස්සුන්ට ඕවා අමතක වෙයි..”
ලිහිණිගේ කටහඬ ඇහෙනකොට සුනීතාට තමන් ගැනම එන්නේ කේන්තියක්.
වැඩිහිටි තරුණියක් තමන්ගේ ජීවිතේ ගැන අවබෝධයෙන් ගත්තු තීරණයකට අපහාස කර කර ගම වටේ යනකොට තමන්ට මඟ ඇරිලා තියෙන්නේ තමන්ගෙම දූ.සුනීතා හිතුවේ හිත් වේදනාවෙන්.