ඉඳුදුන්න -46

“ස්ටාර් කෙනෙක් වුණාට පස්සේ අපේ ජීවිතේ අපේ පාලනයෙන් එහාට යනවා අමා.මිනිස්සු අපිව පාලනය කරන්න ගන්නව.මිනිස්සු අපි හැරුණත් හේතුවක් හොයා ගන්නව.අපි නොකරපු දේවල් කරා වෙනවා.නොකියපු දේවල් කිව්ව වෙනවා.අපිට මඩ ගහන්න එයාලට මොනතරම් අයිතිය තිබුණත් අපි එයාලට විරුද්ධව වචනයක් කිව්ව හැටියේ ඒක වැරදි වෙනවා..මං ඒකයි හිතන්නෙ.දුලනි වගේ අහිංසක දරුවෙක් ඒ ගොහොරුවේ තියන්න ඕන නෑ.”

ඉඳුවරගේ ඒ කතාවට අමන්දීට සැබෑ දුකක් ඇති විණි.ඔහු මේ මාවත තෝරා ගත්තේ ආසාවෙනි.කැමැත්තෙනි.නමුත් එය පහසු මාවතක් නොවන බව වැටහීමම මොනතරම් වේදනාවක්ව ඔහුට දැනෙනවා ඇතිදැයි අමන්දී සිතුවා ය.

ඉඳුවරගේ අනාවැකිය වැරදී ගියේ නැත.දුලනිගේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූ දා පටන් ඈ වෙනුවෙන් දේ කිරීම උදෙසා නාලිකාවට නොනවත්වාම ඇමතුම් ගලා එන්නට පටන් ගත්තේ ය.දුලනි වෙනුවෙන් නිවසක් තැනෙන්නට ගත්තේ ද ඒ අනුව ය.

“දුලනිට ගෙයක් දුන්නට දුලනිට හොඳ ඉස්කෝලයක් හොයල දුන්නට ඔය ප්‍රශ්නෙ ඔතනින් නවතින්නෙ නෑ මිසිස් අමන්දි.අපිට පුලුවන් නේද ගමේ ඉස්කෝලේ හොඳට හදන්න.ඊටපස්සෙ ගමේ දරුවන්ට හොඳට අධ්‍යාපනයක් දෙන්න..”

අධ්‍යාපනය ගැන උනන්දුවක් නැති දරුවන් වාසය කරන පාසලක ගුරුවරියක වීම ගැන විස්සෝප සහගත වූ අමන්දීට ඒ ඇමතුම මහමෙරක් විණි.එය පැමිණියේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික සරසවි ආචාර්යවරියකගෙනි.ඇය දුලනි ගැන කතාව අන්තර්ජාලයේ දුටු තැනැත්තියකි.

“ඇත්තටම කරන්න පුලුවන් නම් සෑහෙන්න වටින වැඩක්.මං ඔයා දිහා බලනකොට මට හිතෙනව හරි පාරක් පෙන්නුව නම් ඔයත් අධ්‍යාපනයෙන් ලොකු දුරක්‍ යන්න තිබ්බ කෙනෙක් කියලා..”

අමන්දී අවිශ්ක සමඟ පැවසුවේ ය.

“මේ ගමේ යමක් කමක් තියන පවුලේ ළමයි ඔයාලා.ඒත් ඔයාලත් ඉස්කෝලෙ ගියේ චාරිත්‍රෙටනෙ.නංගි පුදුම දක්ෂ ළමයෙක්.ඒත් එයා දක්ෂයි කියල එයාට තේරෙන්නෙත් මේ ආපහු ඉගෙන ගන්න පටන්ගත්තම..”

අමන්දී එසේ කියා මඳ වෙලාවක් හුන්නා ය.ළාබාල වියේදීම විවාහ වී ඉතා ඉක්මනින් වයසට යන ගැහැනුන් ගැන ඇයට ඇත්තේ ශෝකයකි.ලංකාව තවම හැකි පමණට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නට වෙර දරන රටකි.එහෙත් කොළඹ පාසල් වලත් පළාතක ඉහළම පාසල්වලත් ඇති පහසුකම් වලින් දශමයක දෙයක් ගමට රැගෙන යන්නේ නම් මේ ගම්වල දරුදැරියන් ඉගෙනීමට පෙළඹවීම උගහට නොවන බව ඇයට සිතිණ.

“මේ දරුවෝ මේ ගමෙන් එහා ලෝකයක් දකින් නෑ.දුලනි නිසාවත් අපිට ඒක වෙනස් කරගන්න පුලුවන් නම්..”

අමන්දී එසේ කියද්දී අවිශ්කට තිබුණේ වෙනත් අදහසකි.

“සමහරවිට මේ ගමේ මිනිස්සු සැනසිල්ලෙ ඉන්නෙත් ඕනවට වඩා අරමුණු පස්සෙ දුවන් නැති නිසා වෙන්න බැරිද අමා.මට එහෙම හිතෙනව.මට වුණත් මෙතැනින් එහාට ගිහින් කොළඹ රස්සාවක් කරන්න, ඔෆිස් එකක වැඩ කරන්න වගේ හීන තිබිල නෑ.ඒත් මට වැරැද්දක් වෙලත් නෑ..”

අමන්දී අවිශ්ක දෙස තද බැල්මක් හෙළී ය.

“ඒක අර ඉඳුවරගෙ කතාවෙන් ඔයා ගත්තු වැරදි අදහසක්.ඉගෙන ගන්න මිනිස්සු තරු වෙන් නෑ අවිශ්ක.එයාලා අහසක් වෙනවා මිසක් තරුවක් වෙන් නෑ.දරුවන්ට ඉගෙන ගන්න පාරක් හදල දෙමු.ඒකට අපිට මූලිකත්වෙ ගන්නම වෙනවා.”

අලුත් අරමුණු සමඟ අමන්දී සිටියේ සතුටිනි.දුලනිගේ වැඩකටයුතු සම්බන්ධයෙන් ඉඳුවර හා ළංවී කටයුතු කරන්නට සිදු වූව ද දැන් ඇගේ හදවත පෙළීමකින් රිදුම් දෙන්නේ ද නැත.ඇය ඇගේ ලෝකය බාරගන්නට හිත හදා ගෙන අහවර ය.

බොහෝ සැලසුම් ඇතිව සිටියේ අමන්දී පමණක් නොවේ.එවැනි සැලසුම් ගැන සිතමින් වෙහෙසෙමින් සිටි ඉඳුවරට නාලිකා ප්‍රධානියාගෙන් කැඳවීමක් ලැබිණ.

“ඉඳුවර..මේ ගමන කැපෙන්නෙ කවුද?”

දුලනි ඉවත් කරන බව නොකියා හිඳින්නට ඉඳුවර සිතා ගත්තේ ය.

“අදහසක් නෑ සර්.එදා දවසෙ පර්ෆෝමන්ස් තමයි..”

වික්‍රමබාහු මහතා පැමිණ ඔහුගේ අසලින් අසුන් ගත්තේ ය.

“දුලනිව යවමු අපි..දුලනිව අපේ ජනක සෙනෙවිරත්න ඉල්ලනව.දුලනිට ඒ ගමන යන්න අරිමු.පොඩි එකීට සංගීතෙ එපා නොවෙන්න එළියට දාන්න.”

රියැලිටි ඇතුළත ඇති සැලසුම් ද නොකී කතාන්දර ද ගැන සිතමින් ඉඳුවර ලා හිනාවක් පා කළේ ය.මේ වෙද්දී ද තමන් මේ වටයෙන් ඉවතට යන බව දුලනි දැන සිටියි.එයට හේතුව ද ඉන්පසු විවර වන ලෝකය ද ගැන ඇයට අමන්දී කියා දී අවසන් ය.

“මටත් හරි මහන්සි ටීච.උදේ පාන්දර රෙකෝඩින් තියනකොට මහන්සිම මහන්සි.මට දිනන්න ඕන නෑ.”

කුඩා දැරිය ඇගේ අවංක හැඟීම් මුදා හැරියා ය.

“තරගෙන් කොහොමත් දිනන්නෙ ස්ටාර් නෙවේනෙ ඉඳුවර..”

වික්‍රමබාහු කියන්නේ කපටි සිනාවකිනි.වසර කිහිපයකට ඉහත දී අත රැඳෙන්නට ආ කිරුළ ගිලිහී යද්දී පුදුමයෙන් ද ශෝකයෙන් ද රිදුම් දුන් හදවතට තරු සංකල්පය ගැන සැබෑ අදහස ආ අන්දම ගැන ඉඳුවරට සිහි විය.

බොහෝ දෑ සිදුවන්නේ සූක්ෂම සැලසුම් අනුව ය.මෙවැනි උගුල් ද සැලසුම් ද මඩ සහ කුණු ද අතැර දමා පිටව යන්නට ඉඳුවරට ඕනෑ විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles