ඔබේ විශ්වාස කැඩූ සහකරුව නැවත වරක් විශ්වාස කළ හැකිද?

ආදරය සහ විශ්වාසය අතර දැඩි සම්බන්ධයක් පවතිනවා.ආදරයක පැවත්ම සදහා විශ්වාසය කොයිතරම් වැදගත්ද යන්න ඔබ අත්දැකීමෙන් ම දන්නවා ඇති.විශ්වාසය කඩ කරන සහකෘවෙකුට කළ නොහැකි වරදක් නැතැයි කියන්නේ ඒ නිසා.දෙදෙනෙකු අතර සම්බන්ධතාවයකදී එක පාර්ශවයකින් විශ්වාසය පළුදු වූවිට එය නැවත ඇති කර ගන්න අපහසු වන්නේ සම්බන්ධතාවක් රදා පවතින මුල් අඩිතාලමක් ලෙස විශ්වාස සැලකෙන නිසයි.

නමුත් එක්වරක් විශ්වාසය කඩ කළ සැමියාට හෝ පෙම්වතාට නැවත අවස්ථාවක් දෙන්න පුලුවන් ද? එය අතිශය පෞද්ගලික තීරණයක් , ඔබ දෙදෙනාට ඔබ දෙදෙනා කොයිතරම් දුරට අවශ්‍ය ද කියන කාරණය මතම පමණයි එය තීරණය වෙන්නෙ.ඔබේ සහකරුගේ අවශ්‍යතාව සැබෑවටම ඔබට දැනෙනවා නම් ඔහු සමග නැවත සබතාව ඉදිරියට රැගෙන යන ඔබට ඔහු සමග සතුටින් ජීවත්වීමේ හැකියාවක් ඇති බවට ඔබ විශ්වාස කරනවා නම් මේ ලිපිය ඔබටයි… නමුත් අපි නැවතවරක් ඔබට සිහිපත් කරනව කැඩුනු විශ්වාසයක් ගොඩනගා ගෙන ජීවිතේ ඔබ දෙදෙනා ඉදිරියට යනවාද කියන කාරණය තරමක් අභියෝගයක් වගේම ඒ අභියෝග බාර ගැනීම ඔබේ පුද්ගලික තීරණයක් විය යුතුමයි.

ඔබ තීරණය කරනවා නම් ඔබේ සහකරු සමග නැවත ජීවිතේ ගොඩ නගා ගෙන සබඳතාව ඉදිරියට රැගෙනයන්න මේ උපක්‍රම ඔබට උදව්වක් වේවි…

මුලින්ම ඔබේ ආවේග මුදා හරින්න.

ඔහු සමඟ ගැටුම් ඇති කර ගන්න එපා.නමුත් හැඬීම මඟින් වේදනාව සහ කෝපය පිට කරන්න.ගැටලු ඇති නොකරගෙන සහකරු සමඟ කතා කරන්න. ඔබේ ආවේග ඔබ තුළම රඳවා තබා ගැනීම ඔහුට සමාව ලබා දීම අසීරු කරනවා.

Helicopter patner කෙනෙක් වෙන්න එපා.

ඔහු අතින් වරදක් වුණා තමයි.නමුත් දිගින් දිගටම ඔහුව දැඩි ලෙස සෝදිසි කරන්නට යාම සුදුසු නෑ.ඔබ ඔබේ සහකරුගේ කෙටි පණිවුඩ සහ ඊමේල් පරීක්‍ෂා කිරීම,දුරකථනය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම හෝ ඔවුන් ගැන සමීපව අවධානය යොමු කරන වෙනත් හැසිරීම් වල යෙදෙනවා නම් ඉන් කියවෙන්නේ තවම ඔහු විශ්වාසය ගොඩ නගාගෙන නැති බවක්. ඇත්තෙන්ම ඔබ ඔහුව විශ්වාස නොකරන බව ඔහුටට නොකඩවා මතක් කර දීමෙන් ඔබටවත් ඔහුටවත් යහපතක් වෙන්නේ නෑ.

වර්තමානයටත් අනාගතයටත් අවධානය යොමු කරන්න

අතීතයේ ගිලී අතීත සිදුවීම් ගැන සිතමින් හිටියොත් ඔබට ඔහුව නැවත විශ්වාස කරන්න අපහසුයි.ඒ නිසා මේ මොහොතේ ජීවත් වෙන්න.අනාගතයේ ඔහු සමඟ කළ හැකි දෑ ගැන සිතන්න.සම්බන්ධතාවය ශක්තිමත් කර ගැනීමට දැන් සහ අනාගතයේදී ඔබට කළ හැකි දේ ගැන අවධානය යොමු කරන්න.

උපදේශනයට යොමු වෙන්න

ඉහත කාරණා වලින් ඔබට නැවත විශ්වාසය ඇති නොවන බවක් හිතෙනවාද?එසේ නම් අපක්ෂපාතී තුන්වන පාර්ශවයක් ඔබේ සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කර ගන්නේ කෙසේදැයි සොයා ගැනීමට ඔබට උපකාර ලෙස යොදා ගන්න පුලුවන්. මිතුරන් හෝ පවුලේ අය සමඟ කතා කිරීම ප්‍රයෝජනවත් විය හැකියි.නමුත් බොහෝ විට ඔවුන්ගෙන් සෘණාත්මක බලපෑමක් ඇති වෙන්න පුලුවන්. එයට හේතුව ඔවුන් ඔබට ආදරය කරන නිසා ඔබ වේදනාවෙන් සිටිනවා දැකීමට අකමැති වීමයි. ඔවුන්ට පෞද්ගලික පක්ෂග්‍රාහී බවක් තිබෙන්න පුලුවන්. එමඟින් තත්වය තවත් අවුල් වෙන්න පුලුවන්.ඒත් උපදේශනය තුළ අපක්ෂපාතීව ඔබ දෙදෙනා දෙසම බලන නිසා එය ඔබේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න ඔබට උදව් වෙනවා.මේ වගේ ගැටලුවක ඉන්නා විට අඳුරේ අතපත ගාන්නට නොගොස් උපදේශනයෙන් ගැටලුව විසඳා ගැනීම ඉතාම සුදුසුයි.

ඔබ ඔබව විශ්වාස කරන්න.

අප වෙනත් කෙනෙක් විශ්වාස කරන්න කලින් අපව විශ්වාස කරන්න ඕන.ඒ නිසා ඔබ ඔබේ ගැන විශ්වාස තබන්න.ඔහු වංචාවක් කළේ ඔබේ වරදක් නිසා කියමින් ඔබ ඔබව අවතක්සේරුවට ලක් කර ගන්න එපා.සිදුවූ දෙයට ඔබ වගකිව යිතු මට්ටම ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න . සබඳතාව තුල ඔබේ ගැටලුවක් ඇති එය වෙනස් කර ගන්න නිහතමානී වීම ගැටලුවක් නෙවෙයි නමුත් සියල්ල සිදුවුයේ ඔබේ වරදින් නිසා ඔහුට සමාව දිය යුතුයැයි සිතීම නම් වරදක්. ඔබේ ආත්මවිශ්වාස වැඩි කර ගන්න. එය ඔහුව නැවත විශ්වාස කරන්නටත් සබඳතාව ශක්තිමත් කර ගන්නටත් හේතුවක් වේවි.

6.සමාජයේ තීරණ ගැන හිතන්න එපා.

ඔබ ඔහුව නැවත විශ්වාස කරන්න තීරණය කළත් සමාජයේ සිටින්නන් එය ප්‍රශ්නයක් කර ගන්න පුලුවන්.ඔහු අතින් සිදු වූ වරද නැවත නැවත මතක් කරන්න පුලුවන්.ඒ සිදුවීමට සම්බන්ධ අනිත් පාර්ශවයන් ගැන ඔබට අලුත් විස්තර කියන අය, අතීතය නැවත සිහි ගන්වන අය ඔබේ කවයෙන් ඉවත් කරන්න.එය ඔබට ඔහු සමඟ විශ්වාසය අලුත් කරගන්න හේතුවක් වෙයි.

විශ්වාසය නැවත ඇති කිරීම පහසු නැති බව සැබෑවක්.නමුත් ඔබ නැවත උත්සාහයක් ගන්නට කැමති නම් අවංක උත්සාහයක් ගන්න.එයට ඉහත යෝජනාවන් උදව් වෙයි.

ඒත් නොකියාම බැරි කාරණාවක් තියෙනවා, ඔබ ඔහු ගැන විශ්වාස කරන්න අකමැති නම් අකමැත්තෙන් ඔහු සමඟ සිටිය යුතු නෑ.අතීතය සිහි කරමින් රිදවා ගත යුතු ද නෑ.දික්කසාදයකට යොමු වීම වැදගත්.රණ්ඩු කරමින් අතීත වැරදි සිහි කරනවාට වඩා වෙන්ව ගොස් ජීවිතය අලුතින් ඇරඹීම ඇත්තටම හොඳ දෙයක්.

නොරිදවා නොරිද්දාගෙන ජීවිතය ගෙවන්න.

Related Articles

Don't Miss


Latest Articles