“කෝ පුතේ අම්මා..”
මිදුලේ වැලි කෙලියක නිරතව හුන් නයනිගේ වැඩිමහල් දියණියගෙන් අමන්දී ඇසුවා ය.සෙල්ලමට වැටී හුන් ඇයට ඒ ගැන පිළිතුරු දෙන්නටවත් නිනව් වූයේ නැත.අනෙක් කාරණය ඈ තවම දෑවුරුද්දක්වත් නොපිරුණු සිඟිත්තකි.ඇයට අම්මා අවශ්‍ය වන්නේ බඩගිනි වූ විටත් ශරීර කෘත්‍යයන් කිරීමටත් ය.නයනි නිරන්තරයෙන් කෑගසා බනින හෙයින් ද අහේතුක කෝටු පාරවල් ලබා දෙන හෙයින් ද දැරිය එවැනි විටෙක පවා ශාන්තී හෝ අමන්දී සොයන්නට හුරුව සිටියා ය.
කොහේ කොතැනකවත් නයනි සිටියේ නැත.කලබලව හුන් ගෙදර අයට හිතට ආ දේ කියන්නට අමන්දී ධෛර්යය සෙවූවා ය.
“අපි..අපි ළිඳ පැත්තේ බලමුද?”
නයනි සිටියේ මහත් මානසික පීඩාවකින් බව අමන්දී නොදන්නවා නොවේ.එයට උදව් දෙන්නට උත්සාහ ගන්නා ඕනෑම විටක නයනි රණ්ඩුවට පැමිණීම නිසා ඇයට සමීප වන්නට අමන්දී සමත් නොවිණ.නමුත් යමක් සිදුව ඇති බව ඇයට නොසිතුණා නොවේ.
“අක්කා එහෙම දෙයක් කරගන් නෑ අමා අක්කෙ.එයා එච්චර මෝඩ නෑ..”
සඳුනි සැලෙන කටහඬකින් පැවසී ය.ඇයට මුල්ම වතාවට අමන්දීගේ අදහසකට විරුද්ධ වන්නට ඕනෑ විය.
“සුරංගලටයි කොලු කාණ්ඩෙටයි කතා කරන්ඩ පුතේ.ළිඳේ බලමු.”
අප්පච්චිගේ තෙදැති කටහඬ බිඳී සසැලෙන හඬ අමන්දීට වැටහිණ.ඇය සිටියේ ද වෙව්ලමිනි.අවිශ්ක අක්කාගේ කාමරයේ සිට හැඟීම් විරහිත මුහුණකින් පැමිණෙන අන්දම ඇය අනතුරුව බලා සිටියා ය.ඔහුගේ අතේ අභ්‍යාස පොතක පිටුවකි; ලිපියකි.එහි ඇති දෑ කියවා බලා මේ නිවස කැළඹෙන අන්දම ගැන අමන්දී ගැහෙමින් සිතන්නට ගත්තා ය.
“මම නාලක එක්ක යනව.එක්ක යන්න එන්න එපා.අර මිනිහගෙ ළමයි ඒ මිනිහට ගිහින් දෙනවල.නැත්නම් ඕන එකක් කරගන්නවල..”
එහි තිබුණේ එපමණකි.අමන්දීට සුසුමක් වැටිණ.අප්පච්චී රළු මුහුණකින් හාන්සි පුටුවට වැටුණු අතර අම්මාගේ පීඩනය විලාපයකින් පිට විණ.
“ළිඳේ පැනල කියල බය වුණු එකී දැන් ඉන්නවනෙ.තමුසෙ මොකටද අඬන්නෙ..”
අප්පච්චිගේ හඬට ඉකිය වාවාගන්නා අම්මා ගැන අමන්දීට සොවක් උපන්නා ය.මේ පළාත්වල ගැහැනු බහුතරය හැඬීමට පවා සැමියාගෙන් අවසර පතන්නියන් ය.
“නාලක කියන්නෙ අක්කා ඉස්සර යාලු වෙලා හිටිය මනුස්සයා අමා අක්කෙ..ඒ සම්බන්දෙ බලහත්කාරෙන් කඩලා තමයි අර මිනිහට බැන්දුවෙ..”
නාලක, සුරේකා, සුරංග..ඔවුන් සියල්ලන්ම ගමේ ධනවත් පවුලකට නොපෑහීම නිසා ඉවතට විසි වූවන් නොවේදැයි අමන්දි සිතුවා ය.සඳුනි ඇගේ සිතුවිලි කියවූවා ය.
“සුරංග ගැන මං ඉක්මනට තේරුම් ගත්තට අපේ අක්ක හරි මෝඩයි අමා අක්කේ.මමනම් සුරංග අතාරින්න හිතුවේ ආයේ ඉගෙන ගන්න එපා කියල නටන්න තියා ගත්තු හින්දයි රස්සාවක් නොකර ත්‍රීවිල් රස්සාවම කරන්න හිතන හින්දයි..නාලක කියන්නෙ මේ ගමේ කසිප්පු කාරයට.”
අමන්දීට වේදනාවක් දැනිණ.අයහපත් තරුණයෙකුගෙන් මුදවා නයනි දීග දුන්නේ ඇතිහැකි නිවසකට ය.එහි සිටියේ ආදරය නොදන්නා මිනිසෙකි.නයනි ඉන් පලා ආවේ ඉන්පසුව ය.ඇගේ ඊළඟ පලා යාම ඈ ආදරය කළ මිනිසා සමඟ ය.විවාහය නිසා ලැබූ දරුවන් පවා අතැර දමන්නට ඇය තීරණය කර ඇත.
“පොඩ්ඩිට මාස හයයි.අක්කා කොහොම හිත හදා ගත්තද නංගි..”
අමන්දී බෑගිරි ගසන සිඟිත්තිය පපුව මත තබා ගත්තා ය.හදිසි හේතුවක් නිසා නිවාඩුවක් අවශ්‍ය බව කියා විදුහල්පතිතුමාට ඇමතුමක් ගත යුතු ය.නමුත් මේ දැරිය හැරදමා හෙට සිට පාසල් යන්නේ කෙසේදැයි ඈ සිතුවා ය.
“අක්කා මේ බබාලටවත් ආදරේ නෑනෙ අක්කෙ.අනේ මන්ද..”
සඳුනි වැඩිමලිය උකුලට ගත්තා ය.
“අක්ක ඩිවෝස් වෙලානෙ හිටියෙ.ලස්සන නැතුවත් නෙවෙයි.ආයේ හොඳ කසාදයක් කරගන්න තිබ්බා..”
අමන්දී පැවසුවේ එතැනට ආ අවිශ්කට ය.ඔහු කිසිත් නොකියා ලදැරියගේ හිඅ අත ගෑවේ ය.
“පවට පිං දෙන්න බෑ අමා අක්කෙ.දැන් ඉතින් ගෝඩා බැරල් එක්ක ඔට්ටු වෙන්න වෙයි.අනික ඔය මිනිහා කැලෑසතෙක් වගේ දඩයම් කරන මිනිහෙක්.අතින් කටින් ළමයි උස්සන් ඉඳී ඉතින්.”
සඳුනිගේ හඬ තුළ කළකිරීම තැවරී ඇත.සුරංග හිඳින තැන්වල වඩවඩාත් ගැවසුණු ඔහු කෑවාද බීවාද සොයන්නට වෙහෙසුණු සඳුනි ගැන අවිශ්කට සිහි විණ.
“අක්කා කසිප්පු කාරයෙක් එක්ක ගියා.නංගි ගංජා කාරයෙක්ට අහු වෙන්න නොදී බේරා ගත්තෙ ඔයා තමයි ඉතිං..”
ඔහු පැවසුවේ හැඟීම්බරව ය.සඳුනි හිනැහිණ.
“අක්කා නොහිටියනම් මාත් ඉතිං ….”
සඳුනිව හෝ ගලවා ගැනීමට හැකි වීම ගැන අමන්දීට ඇත්තේ සැනසීමකි.
“අපි කෙල්ලො දෙන්නා හදා ගමු අවිශ්ක.අපිට බබාලා හම්බුණාට කමක් නෑ.ඒ ලැබෙන්නේ තුන්වැනි බබා කියල හිතමු.මට පුලුවං කෙල්ලො දෙන්නට අම්මා වෙන්න.කොහොමත් පොඩි එකී ඔයාට අප්පච්චි කියලත් කියන එකනෙ.”
අමන්දී අවිශ්කගේ බාහුවකට අත තබා කීවා ය.ශාන්‍ති එතැනට පැමිණ කුඩා දැරිය වඩා ගත්තා ය.
“දුව මේ පව් ගෙවන්න ඕන්නෑ දුවේ.මුං බලා ගන්න මට පුලුහං..අර ගෙට යන්ඩ ඉක්මන්ට..”
ඇගේ හඬෙහි වූයේ ලතැවුලකි.