උදිත ලන්ච් රූම් එකට ආවේ කෑම පාර්සල් දෙකක් අරගෙන.ගෙදරින් ගෙනාව බව පෙනෙන පාර්සලේ කසල බඳුනට දාලා එයා ඉඳගන්න හැටි වාසනා බලාගෙන හිටියා.
“අදත් ගෙදර බත් එක ඩස්ට්බින් ද?”
යුවනි අහන්නේ නැළවිල්ලේ.
“ඔව්, අදත් ඩස්ට්බින්.මම කරි හට් එකෙන් කෑම එකක් ඕඩර් කරා..”
උදිත එහෙම කියලා කෑම පාර්සලේ දිග ඇර ගත්තා.යුවනි හිනා වෙන්නේ කිංකිණි හඬින්.
“ඔයාගෙ වයිෆ්ට උයන්න බැරි වුණාට අපිට පුලුවන්නෙ.දෙන්නද බැදුම් ටිකක්?”
යුවනි එහෙම කියාගෙන උදිතට ව්‍යාංජන කීපයක්ම දුන්නා.අලුත ගෙනා මනමාලිගේ ඉවීම් කුසලතාවයන් උදිත යාළුවන්ට කියන්නේ අතිනුත් දේවල් එකතු කර කර..
“දැන් දවල්ට නම් කරි හට් එකෙන් කනව..රෑට?”
ජීවන්ත අතුරු ප්‍රශ්නයක් නගනවා.උදිත මහ හයියෙන් හිනා වෙනවා.
“අනේ ඔයාට මහන්සිනෙ සුදූ කියල මම රෑට එළියෙන් කෑම අරන් යනවා..”
ඔක්කොම හිනා වෙන්නේ එක පොදියට.විවාහ වෙලා ඇවිත් පරිප්පුවලටත් ගොරකා දැම්ම තරුණියක් තමන්ගේ ඇතුළේ ඉඳගෙන උදිතට දෙකක් කියන්න කියලා කියන හඬ වාසනාට ඇහෙන්න ගත්තා.ඒත් කනිෂ්ක මෙහෙම ලන්ච් රූම් ගාණේ හිනා නොවුණු බව ඇය දන්නවා.කනිෂ්ක කළේ වාසනා එක්ක ඇත්ත කතා කරපු එක.
“වාසනා,ඔයා උයන ඒව ඇත්තටම අවුල්.අපි හෙමින් හරියට පුරුදු වෙමුද? දෙන්නත් එක්ක..”
ඒ වාක්‍යය කියලා දැන් අවුරුදු පහළොවක් විතර.දැන් වාසනා කියන්නේ ඉවීම විනෝදාංශය කරගත් ගැහැනියක්.
“ඔයාගේ කිරිබත් එකයි ලුණු මිරිස් එකයි අපේ කට්ටිය කෑවේ පිස්සු හැදිලා..”
කනිෂ්ක එහෙම කියනවා.
“අම්මි,කරවිල සම්බෝල ඉතුරුයිද?මං දවල් ස්කූල් අරන් ගිය ටික යාළුවෝ කෑවනෙ.”
දූ එහෙම පැමිණිලි අරගෙන එනවා.ඥාති යුවතියක්, කාර්යාලයේ මිතුරියක් ගර්භනී වුණාම මුල්ම දොළදුක “වාසනාස් කිචන්” එකට ගොඩ වෙන්න.ඒත් ඒ රහට උයන වාසනාට උයන උයන කෑම වැරදුණු අලුත බැඳපු මනමාලි අමතක නෑ.
“රවින්දිට උයන්න බැරිද උදිත මල්ලි?”
වාසනා උදිත ඉන්න මේසයෙන් ඉඳගත්තේ එහෙම අහගෙන.උදිත ඔලුව වැනුවේ බෑ කියන්න.
“ඔයාට පුලුවන්ද?”
ඒ ප්‍රශ්නෙට වාසනාට රවන්න හිතුණේ යුවනිට.වාසනා අක්කත් මොනවා අහනවද මන්දා.පිරිමි මොකටද උයන්නේ?
“මට ඉතින් බෑ..මම මොකටද උයන්නෙ.මම උයන්න ඕන නම් ගෑනියෙක් ගන් නෑනෙ..”
ඒ කතාවට හිනා වුණේ හැම ඕපාදූපෙටම හවුල් නොවෙන චමල්. ඔහු උදිත දිහා බැලුවේ සමච්චල් බැල්මකින්.
“රවින්දිව එයාලගෙ ඔෆිස් එක ගාව දැක්ක දවසේ ඉඳන් උඹ මොන කට්ටක් කෑවද බං..ඊට පස්සෙ ඒ ඔෆිස් එකට මල් යව යව රවින්දිට ෆේස්බුක් චැට් කර කර මොන කට්ටක් කෑවද උඹ..”
හැමෝම හිනා වෙන්න ගත්තේ ඒ අතීතය මතක් වෙලා.ඇත්තටම ඒ කාලේ උදිත හිටියේ ‘ආදරෙන් පිස්සු වැටිලා.’
“ඒ ඔක්කොම සාමාන්‍යයයි තමා මචං..මං අපේ ශනූ යාලු කරගන්න ඊට වඩා විකාර කරා.ඒත් මට කියපං උඹ ඒ ඔක්කොම කරේ උයලා දෙන්න ගෑනියක් හොයා ගන්නද? උඹට තිබ්බේ මාසෙට විස්සක් තිහක් දීලා සර්වන්ට් කෙනෙක් ගන්න..”
මේ කතාව තමන් නොකියා අලුත බැන්ද තවත් තරුණයෙක්ගෙන් පැමිණීම ගැන වාසනාට දැනුණේ සතුටක්.
“උයන එක ගෑනු වැඩක් නෙවෙයි මල්ලි.ඒක සාමාන්‍ය ජීවන කුසලතාවයක්. රවින්දිට විතරක් නෙවෙයි ඔයාටත් ඒක බැරි එක අවුලක්..”
වාසනා එහෙම කියනකොට උදිත ඇය දිහා බැලුවේ හැඟීම් කිහිපයක සම්මිශ්‍රණයක් මුහුණට අරගෙන.
“රවින්දි ඇයි උයන්න උත්සාහ කරලම නැත්තේ?”
වාසනාගේ ඒ ප්‍රශ්නෙට උදිත ළඟ පිළිතුරක් තිබුණා.රවින්දිගේ අම්මා අතිශය කාර්යබහුල වෛද්‍යවරියක්.ඒ නිසා ඔවුන්ගේ නිවසේ අත් උදව්කාරියන් කිහිප දෙනෙක්ම ඉඳලා තියනවා.රවින්දි පුච්චා ගනියි අත කපා ගනියි කියලා ඇය මුළුතැන්ගෙයට යනවට තාත්තා කැමති වෙලා නෑ.
“ඔයාට බැරි ඇයි?”
වාසනා අක්කාත් උසාවිය වගේ.උදිත එහෙම හිතමින්ම උත්තරයක් දුන්නා.
“අපේ අම්මා අපෙන් කිසිම වැඩක් අරන් නෑ අක්කෙ.පොල් ටිකක්වත් ගාවගන්නෙ නෑ..”
වාසනා හිනා වුණේ ගැටලුව විසඳන හරිම මාර්ගය පෙනුණු නිසා.
“ඉතින් ඒ අභ්‍යාසයක් නැතිකමනෙ.මම ඔයාට කිව්වේ උයන එකත් මිනිස්සු ළඟ තියෙන්නේ ඕන සාමාන්‍ය ලයිෆ් ස්කිල් එකක්.ඒක බැරිවීම මහ චාටර් නෑ මල්ලි. උයන්න පුලුවන් වුණා කියලා ඒක ගෑනියෙක්ගෙ මාර සුදුසුකමකුත් නෙවෙයි. සාමාන්‍යයෙන් විය යුතු දෙයක්.ගරහන්න ඕන නෑ.බැරි නම් පුරුදු වෙන්න ඕන. ඉගෙන ගන්න අදක්ෂයි වගේ පේන ළමයෙකුට බැන බැන ඉන්නකම් ඒ ළමයට ඉගෙන ගන්න බෑනෙ.ඒත් දක්ෂ විෂයන් හොයලා දෙන එක, එයාට ඉගෙන ගන්න පහසු ක්‍රම හොයලා දෙන එක දෙමව්පියෝ, ගුරුවරු කරනවනෙ.මේකත් ඒ වගේ.”
වාසනා කියාගෙන යද්දී යුවනිට නම් එන්නේ තරහක්.උයන්න බැරි ගෑනුන්ට ෆේස්බුක් එකේ කාන්තා සමූහවලට වෙලා බනිනවා තරම් සතුටක් එයාට නෑ.මේක විශේෂයෙන් නොපිහිටන හැකියාවක්,දේවාශිර්වාදයක් කියන්නයි යුවනිගේ කැමැත්ත.
“අභ්‍යාස කරනව වගේ තමයි උදිත.යූ ටියුබ් එකේ රෙසිපීස් බලාගෙන දෙන්නා එක්ක උයන්න පටන් ගන්න.ඔයාලට ඔයාලගෙ ස්ටයිල් එක මුණ ගැහෙයි.ටික ටික රසට උයන්න පුලුවන් වෙනකොට රවින්දිත් උයන්න ආස වෙයි..”
වාසනා එහෙම කියද්දී ඒ කතාව හරි කියලා උදිතට හිතෙනවා.
“මම ලයිසන් එක ගත්තේ මේ ළඟදි.රවින්දි තමා අපේ කාර් එක වැඩියෙන්ම ඩ්‍රයිව් කරන්නේ..මටත් ජීවන කුසලතා හිඟකමක් තියනවා..”
උදිත හයියෙන් හිනාවෙමින් නැගිට්ටේ එහෙම කියාගෙන.
“සමහර ගෑනු ළමයින්ට සෙක්ස් කරන්න බෑ.කොච්චර ට්‍රයි කරත් ෆේල් වෙනව.ලිවින් ටුගෙදර් වගේ කන්සෙප්ට් ලංකාවේ බහුලව නෑනෙ.එතකොට ඕක ගැන දැන ගන්න වෙන්නෙ බැන්දම.ඊට පස්සෙ ට්‍රීට්මන්ට්ස් කරලා තමයි ප්‍රශ්නෙ විසඳා ගන්න වෙන්නෙ.ඒ ප්‍රශ්නෙ එහෙම විසඳා ගන්නව මිසක් බලෙන් ඇඟට එන අයව ඇඟේ දාගෙන වයිෆ්ව කොන් කරල වැඩක් නෑනෙ..කෝකත් අන්න ඒ වගෙ..”
චමල්ගේ ඒ ඇනුම්පදය හිස්තැනකින් රිංගන්න උත්සාහ ගත්තු යුවනිට බව කාටත් තේරුම් ගියා.යුවනිත් ගස්සාගෙන නැගිට්ටේ ඒ හින්දා.
ලයිෆ් ස්කිල්ස් කියන්නේ හදා ගන්න දියුණු කරගන්න පුලුවන් දේවල් මල්ලි. ඒවාගෙ පොඩි පොඩි අඩුපාඩුකම් හින්දා ආදරේ ගැන ගැටලු ඇති කරගන්න නරකයි..”
වාසනා නැගිට්ටේ උදිතට එහෙම අවවාදයක් දෙන ගමන්.