දවසක් ඒවි!

“මේ සින්දුව අහලා හිත හදා ගන්න හසරැල්..”

හිතට දැනෙන මහා වේදනාව එක්ක යාළුවෝ ළඟට ආවම යාළු පොකුරේ වට්ස් ඇප් ගෘප් එකේ තිබුණේ ඒ පණිවිඩය විතරයි.හැමෝම තම තමන්ගේ දුක් වේදනා, සතුට,ප්‍රශ්න අමතක කරලා හසරැල්ට “හන්තානෙට පායන සඳ” අහන්න යෝජනා කරලා.

“දැන් ඉතින් හසරැල්‍ට කඳුලැල් වෙන්න තමයි ඉතුරු..”

ආමන්ත එහෙම එවලා තිබ්බේ හිනා ස්ටිකර් ගොඩක් එක්ක.ආමන්ත යාන්තන් සමත් ජීව විද්‍යාව විතරයි නේද කියලා අහන්න හිතුණට හසරැල් මොකුත්ම නොකියා ඉවසාගෙන හිටියා.

“මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න..” තව කෙනෙක් එහෙම එවලා.හසරැල් ඒ චැට් ගෘප් එකෙන් ලීව් වුණේ හිතේ වේදනාවෙන්.ඇත්තටම මෙහෙම කියන්න යාළුවන්ට පුලුවන්ද කියලා හසරැල් හිතන්න ගත්තා.

“ඔයා රෑට කෑවද හසරැල්..පාඩම් කරනවනම් මං ඇහැරල ඉන්නං.ඔයාට නොතේරෙන තැනකට උදව් කරන්නවත් බැරියැ..”

කේතකීගෙන් ඒ පණිවිඩය ආවේ ඒ වෙලාවේ.මතකය මහවැලියට දාන්න කියන්න වෙනවා නම් දැන්ම තියා හිත හදා ගන්න සිද්ධ වෙනවා.හසරැල් ඒ පණිවිඩය බලලා නොදුටුවා වගේ ඉන්න ගත්තා.ඒත් ඔහු එහෙම ඉන්නේ තමන්ට කැමති තීරණයක් ගන්න ඉඩ දීලා බව කේතකීට නොතේරුණා නෙවෙයි.ඇය උත්තර නොලියන හසරැල්ට තවත් පණිවිඩයක් එව්වෙ ඒ නිසා.මේ මොහොත අත නෑර දරා ගන්න ඇයට උවමනා වුණා.

“අපේ පන්තියෙන් දක්ෂම ඔයා හසරැල්.මේක වුණේ ඔයා හිතේ වේදනාවෙන් හිටිය නිසැ මිසක් වෙන දෙයක් හින්දා නෙවෙයි.ඔයාට හිත හදාගෙන පාඩම් කරන්න කාලය තියනව.අපි මහන්සි වෙමු..”

කේතකී ආයෙම ලියලා එවලා තිබුණා.

හසරැල්, කේතකීට ආදරේ බව කියන්නේ උසස් පෙළ පන්තියේ දී.ඒත් ආදරේ හිතුණේ ඊට බොහොම කාලයකට කලින් කියලා හසරැල්ට විශ්වාසයි.එක වසරට මුලින්ම ආපු දවසේ ඔන්චිල්ලාවෙන් වැටිලා අඬපු පොඩි බටු ඇටයකට කඳුළු පිහදාගන්න අම්මා සාක්කුවට දාපු ලේන්සුව දුන්නු පුංචි මනමාලප්පු කෙනෙක් තමයි හසරැල්.ඊට පස්සේ හොඳම යාළුවෝ අතරේ ඉහළින්ම හිටපු කේතකීට ආදරේ බව නොකියා ඉන්න උසස්පෙළ පන්තියේදී නම් හසරැල්ට බැරි වුණා.

“ඒකෙ කියන්න දෙයක් නෑ කියලයි මං හිතුවේ..”

කේතකී ආදරය බාර ගත්තා.තැන තැන රස්තියාදු නොවී ඉස්සරලම ඉගෙන ගමු කියන නීතිය ගෙනාපු කේතකී ඒ නීතිය අකුරටම පිළි පදින්න පටන් ගත්තා.
ඉගෙන ගන්න උපන් හපන්කමක් තියෙන හසරැල් පළමු වතාවෙන්ම සරසවි යන ඉඩකඩ වැඩි නිසා ඒ අත අත් නොහැර ගන්නයි කේතකීට උවමනා වුණේ.

ඒත් දෛවයේ සමහර තීරණ හරිම සැරයි!

උසස්පෙළට සතියක් තියලා හසරැල්ගේ තාත්තා හදිසි අනතුරකින් යන්න ගියා.
හසරැල් විබාගෙට ආවෙත් හීනෙන් ඇවිදගෙන වගේ.ඉතින් වෛද්‍ය සිහිනය අහලකවත් නැති සාමාන්‍ය සාමාර්ථ වලින් සෑහෙන්න හසරැල්ට සිද්ධ වුණා. කේතකී සරසවි වරම් හිමි කරගෙන අවසන්.දැන් හැම මිතුරෙකුම දරන පොදු අදහස ඇය කැම්පස් යන්නේ හසරැල්ගේ මතක අමතක කරලා කියලයි.

කාලය ගෙවුණේ එහෙම.

“හසරැල්..”

කේතකී ඒ පණිවිඩය එවන්න ඇත්තේ දේශනයක් අවසන් වුණු ගමන් කියලා හසරැල්ට හිතුණා.රොබරෝසියා මැදින් ඇවිදගෙන එන කේතකීව මවා ගන්න ගමන් ඔහු දුරකථනය එක්ක හිනා වුණේ ඒ නිසා.

“මේ සින්දුව අහන්න”

ඇය එවපු ගීතය අහගෙන ඉද්දී ආයේ ආයේ අතීතයට හිත දුවන එක හසරැල්ට නවත්තා ගන්න අමාරුයි.මොනතරම් මතක කන්දක්ද?

“ජීවිතයේ තැන් තිබුණා අපිටම අපිවම නැති වුණු
ඒ ගැන මං හිතනා විට කඳුලක් උනනවා මට නොදැනිම”

තමන්ට ආයෙත් රිවිෂන් වල පේපර් ක්ලාස්වල හිරවෙන්න සිද්ධ වුණාට කේතකී හිටියේ නිදහසේ බව හසරැල්ට මතකයි.ඇය මිතුරියන්ගේ ගෙවල්වල නිදහසේ යනකොට තමන් අහේතුකව කෝප ගත්තු හැටි ඔහු සිහි කළා.

“අනේ මාව බොරුවට සැක කරන්න එපා හසරැල්..”

කේතකී කියද්දී පවා තමන් කෝපයෙන් තරහ වුණු හැටි මතක් වෙනකොට හසරැල්ට ලැජ්ජයි.ඒත් කේතකී ඔහුව දරා ගත්තා.අහිමිවීම් දෙකකට මුහුණ දුන් නිසා පරණ හසරැල් අතුරුදහන් බව ඇය තේරුම් අරගෙනයි හිටියේ.

“කොහොමත් ඉතිං මාව අමතක කරන්න ඔයාට තහනමක් නෑ..”

කේතකී සරසවියට යන දවසට කලින් හසරැල් එහෙම කියද්දී කේතකී හිනා වුණේ අර එකේ පන්තියේ පුංචි බට්ටි වගේමයි.

“ඔයා ලබන අවුරුද්දේ එන එකේ මොකට අමතක කරනවද?”

කේතකීගේ අනුමානය හරි! ඇය දිරි දෙමින් තමන්ට අමතක වුණු තමන්ව හොයා දුන් හැටි හසරැල් සිහි කරන්නෙත් ආදරෙන්.හොඳම මිතුරෝ පවා “පට්ට මීටරයක්” වුණු හසරැල්ට සරසවිය දුර වීම විහිළුවකට ගත්තු හැටි ඔහු දන්නවා.

“ඔයාගෙ අදක්ෂකමකට එක්සෑම් එක හරියට කරගත්තෙ නෑ නෙවෙයිනෙ..විබාගෙට සතියක් තියලා තාත්තා නැති වුණාට පස්සේ මොන ළමයටද හිත හදාගෙන විබාගෙ ලියන්න පුලුවන්..”

කේතකී තිස්සෙම කිව්වේ එහෙම.

හසරැල්ට ඊළඟ වතාවේ ඉහළම ප්‍රතිඵලයක් අයිති වුණා.ඒ සතුටු ආරංචිය ඇවිත් තවම සුමානයක්වත් නෑ.

ඉයර් ෆෝනයෙන් ඇහෙන පියත් රාජපක්ෂගේ ළයාන්විත කටහඬ ඇතුළේ තියෙන්නේ තමන්ගෙත් කේතකීගෙත් කතාව කියලා හසරැල්ට හිතුණා.

“දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් ඇතී”

ඔන්චිල්ලාවෙන් වැටුණු පුංචි බටු ඇටයක් හොඳම යාළුවා කරගෙන ආපු දුර ගැන හසරැල්ට දැනෙන්නේ පුදුමාකාර සතුටක්.පන්තියේ වැඩිම ළකුණු ගන්න තරග කරපු හීන,තරගවලින් දිනන්න දැක්ක හීන,අලුත්ම පොත් ඉක්මනින් කියවන්න දැක්ක හීන අතරේ තිබුණු ලොකුම හීනය සරසවිය.ඒත් ජීවිතේ ඉස්සරහට තව මොනතරම් හීන මුණ ගැහේවිද?

“මං අඬන් නෑ”කියලා නැගිටපු පුංචි කේතකීව හසරැල්ට සිහි වෙන්නේ දරා ගන්න බැරි තරම් ආදරයක් එක්ක.ජීවිතේ තියන හැම අඩියක්ම ඇය එක්ක තියන්න ලැබීමම මොනතරම් සතුටක් ද?

ඔහු හිතුවේ සැනසීමෙන්.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content