කළමනාකරණය

කෝසලා ගුරු විවේකාගාරයට ඇවිත් වාඩි උනේ අතේ තිබුන පොත් කන්ද මේසේ උඩට අතාරින ගමන්.

” දැන් ඉතිං මේ ඔක්කොම බලන්න එපැයි “

ඇගේ හිත කිව්වා.අපිළිවෙල සාරි පොටින් මූනේ තැවරුණ දාඩිය බිඳු පිස ගත්ත කෝසලා කාලසටහන දිහා බැලුවා. සාමාන්‍ය පෙළ පන්තියක කාලච්ඡේද දෙකක් ඊළඟට ඇයට වෙන්වෙලා තිබුණා.

” කෝසලා ඔයා අසනීපෙන්ද ?”

ඉගැන්වීම් කටයුත්තක් ඉවර කරලා ඒ මොහොතේ ගුරු විවේකාගාරයට ආව කුමාරි ඇහුවා.

” මට මහන්සියි කුමාරි. ඊළගට ඕලෙවල් ක්ලාස් එකේ ඩබල් පීරියඩ් තියෙනවා.මම මේ යනවද නැද්ද කියල හිත හිත ඉන්නේ “

” ඕ ලෙවල් වලට තියෙන්නෙ තම මාස තුනක් නිසා ඒකට නොගිහින් බෑ නේද ?”

” ඒක තමයි.සිලබස් එකෙත් කවර් කරන්න තව ගොඩාක් තියෙනවා.අනේ මන්දා මේ ළමයින්ව කොහොම ගොඩ දාන්නද කියලා මට තේරෙන්නේ නැහැ “

එහෙම කියපු කෝසලා සාමාන්‍ය පෙළ පන්තියට නියමිත පොතකුත් අරගෙන පුටුවෙන් නැගිටලා යන්න ගියා.

කෝසලා විද්‍යා ගුරුවරියක් ලෙස නගරයේ පාසලකට පත්වීම ලැබුවේ මීට අවුරුදු කීපයකට කලින්.විවාහ වෙලා දරු දෙන්නෙක් ඉන්න කෝසලා ,සැමියාගේ වැටුපත් ඇගේ වැටුපත් ගෙදර වියදම් වලට ප්‍රමාණවත් නොවන නිසා අමතර පන්ති පවත්වන්න පටන් ගත්තේ මීට අවුරුද්දකට විතර කලින්.හිතුවටත් වඩා ඇගේ පන්ති වලට ළමයි සහභාගී වෙන්න ගත්ත නිසා ඕනාවට වඩා කාර්යබහුල වෙන්න කෝසලාට සිද්ධ වුණා

” කෝසලා. ලොකු දුවගේ පන්තියේ අද විභාගයක් තිබිලා “

කෝසලා දවල් ගෙදර ආපු වෙලාවෙ ඇගේ අම්මා ඇවිත් කිව්වේ කෝසලා අමතර පන්තියට යන්න ලෑස්ති වෙන අතරේ

” මේ ළමයගෙ ලකුණු හොදටම අඩුයි. ඔයාවත් බැලුවොත් හොඳයි “

” එයාලා දැනගන්න එපැයි අපි මෙච්චර මහන්සි වෙන එකේ හොඳට ඉගෙන ගන්න .මට මේ කන්නවත් වෙලාවක් නැතිව ඉන්න වෙලාවේ අම්මා විකාර කියවනවා මෙතන ඇවිල්ලා “

කෝසලාගේ සැමියා බැංකු නිලධාරියෙක් නිසා හවස පහ විතර වෙද්දි ඔහු ගෙදර එනවා.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන යම් තරමක් හරි හොයලා බලන්න වෙලාවක් තියෙන්නේ සමන්තට විතරයි

” අපේ ළමයා ඉස්පාසුවක් නැතුව එහා ටයි මෙහාටයි දුවනවා සමන්ත. ඔය හැටි සල්ලි හොයල මොකටද හිතේ සන්තෝසයක් නැත්තං “

” මෙයා එන එන class එක බාර ගන්නව නේ අම්මේ.මම කිව්වට අහන එකක්යැ “

සමන්ත කිව්වේ තේ එකක් බොන අතරේ

” සමහර දවසට කෝසලගේ මූනවත් මං හරියට දකින්නේ නැහැ . එයාට අපිත් එක්ක නිදහසේ වාඩි වෙලා තේ එකක් බොන්න ,කතා කරන්නවත් වෙලාවක් දැන් නැති තරම් “

හවස් වරුවේ අමතර පන්ති දෙක තුනක්ම කරන කෝසලා ගෙදර එන්නේ රෑ අටත් පහුවෙලා. පුනරීක්ෂණ පන්ති පැවැත්වෙන දවසට කෝසලා ගෙදර එන්න ඊටත් වඩා රෑ වෙනවා

” ඔයාට තේ එකක් ගේන්නද කෝසලා? “

රාත්‍රී 12ත් පහු වෙලා විභාග ප්‍රශ්න පත්තර පරීක්ෂා කරන කෝසලා දිහා සමන්ත බැලුවේ කම්පාවෙන්

” දැන් එපා මම ටිකකින් නිදාගන්නවා. උදේ ඉස්කෝලේ යන්න ඇහැරෙන්න ඕනෙ නේ “

කෝසලා කතා කළේ ප්‍රශ්න පත්‍රය පරික්ෂා කරන ගමන්මයි.ඊට පස්සේ පැය දෙක තුනක් නිදාගත්ත කෝසලා ආපහු අලුයම ඇහැරලා ගෙදර රාජකාරි සේරම නිමා කරලා තමයි ඉස්කෝලෙට ගියේ.

ගුරු වෘත්තියට එළඹුන මුල් කාලේ ගොඩක් පිළිවෙලට තිබුණු කෝසලගේ සාරිපොට පවා දැන් ගොඩක් අපිලිවෙලයි කියලා දකින ඕනම කෙනෙකුට හිතුනා.

” ඔයා දවස් කීපයක් නිවාඩු ගත්තොත් මොකද කෝසලා ? ඔයාට මහන්සි පාටයි ? “

දවල් කෑම වෙලාවේ ඉතා ඉක්මනින් බත් පත ඉවර කරන්න වෙහෙසෙන කෝසලා ලඟින් කුමාරි වාඩි උනා

” හවස පන්ති ටිකක් වත් දාලා මේ ළමයින්ගේ සිලබස් එක කවර් කරගන්නයි කුමාරි මං බලන්නේ. මම නිවාඩු අරගෙන බැහැ “

” එහෙනම් ඔයාගේ schedule එක ටිකක් වෙනස් කරන්න කියලා අපි ප්‍රින්සිපල් එක්ක කතා කරමුද ?”

” එහෙම කරලා හරියන්නේ නැහැ අනේ.මේ පළාතේ ඉන්න හොඳම science teacher මම .මගෙන් ඉගෙනගන්න ළමයි කීදෙනෙක් නං එනවද සල්ලි ගෙවලාත් ? එහෙම එකේ මම කොහොමද ප්‍රින්සිපල් ට කියන්නේ මගේ ෂෙඩුල් එක වෙනස් කරලා දෙන්න කියලා ? “

” ඔයාට පොඩි නිදහසක් වත් තිබුනොත් හොඳයි කියලා මටනම් හිතෙන්නේ කෝසලා.ඒකයි මම ඔයාට එහෙම දෙයක් කිව්වේ. අනිත් එක සිලබස් එක කවර් කරන හදිස්සියෙන් ළමයින්ට උගන්වලා වැඩක් නැහැ එයාලගේ ඔලුවට පාඩම් යන්නේ නැත්තං “

කුමාරි පුටුවෙන් නැගිටලා යන දිහා කෝසලා බලාගෙන හිටියේ නොරිස්සුමෙන්.

” එයාගෙ schedule එක බලා ගන්නේ නැතුව එනවා මෙතන මගේ schedule එක ගැන හොයන්න “

කෝසලා හිතුවේ එහෙම.

” කොච්චර මහන්සි වෙලා වුණත් ගෙදරට සල්ලි හොයල දුන්නට වැඩක් නෑ කෝසලා ,ගෙදර මිනිස්සුන්ට ඔයාව නැති වෙලා නං “

” ඔයාට තරම් වැඩ තියෙන ටීචර් කෙනෙක් මේ අහල ගම් හතක වත් නැතුව ඇති “

කෝසලාගේ අම්මා කතා කලේ තරමක කලකිරීමෙන්.දරුවන්ගේ පාසල් වල රැස්වීම් වලට පවා හැමදාම සහභාගි වුණේ සමන්ත

” ළමයි දෙන්නගෙම ලකුණු අඩුයි කෝසලා. හැම ගුරුවරයෙක්ම කිව්වේ ඒ දෙන්නා ගැන මීට වැඩිය අවධානය යොමු කරන්න කියලා “

පාසලේ රැස්වීමට සහභාගි වෙලා ආව දවසෙ රෑ සමන්ත කතා කළේ දැඩි හඬකින්

” ඔයා කොච්චර මහන්සිවෙලා රටේ ලෝකේ ළමයින්ට ඉගැන්නුවත් වැඩක් තියෙනවද අපි දෙන්නගෙ ළමයි දෙන්නම ඉගෙන ගන්නෙ නැතිව ? “

” ඉතින් ඒකට මම පලිද සමන්ත ? අපි මෙච්චර නැහීගෙන කරනවා මුන් දෙන්නට බැරිද ඉගෙන ගන්න ? “

” කොච්චර නැහීගෙන කරත් වැඩක් තියෙනවද කෝසලා ඔයා ඒ ළමයි දෙන්නා දිහා ඇහැක් ඇරලා බලන්නේ නැත්තං ? ඔයා වැඩ සේරම පටලගෙන ඉන්නේ .හැමදේම කරන්න පුළුවන් කියලා බදා ගත්තම එක වැඩක් වත් හරියට කෙරෙන්නේ නැහැ කියන එක ඔයා කවද්ද තේරුම් ගන්නේ ? “

සමන්ත කියන කතාවේ ඇත්තක් තියෙනවා කියලා කෝසලාට තේරුනත් ඒ ඇත්ත පිළිගන්න ඇය මැලි වුණා. කාලයක් පුරාම දැඩි මානසික පීඩාවකින් යුතුව හරිහැටි නින්දක් වත් නොලබා වැඩ කිරීමෙන් තමන් ලබාගත්තේ මොනවද කියලා කෝසලා කල්පනා කරන්න පටන් ගත්තා

” කුමාරී ,ඔයා කියපු වැඩේ ගැන මම ප්‍රින්සිපල් එක්ක කතා කලා. ඒ ලෙවල් ක්ලාස් එකේ tight schedule එකක් නැති science teacher කෙනෙකුට මගේ classes දෙකක් භාරදෙන්න ප්‍රින්සිපල් කැමති වුණා “

විවේක වෙලාවක කෝසලා, කුමාරි ලඟින් වාඩි වුණේ එහෙම කියාගෙන.වෙනදා තියෙන නොරිස්සුම් සහගත මුහුණ වෙනුවට සතුටු හිනාවකින් පිරුනු මුහුනක් කෝසලා ගෙන් ඒ වෙලාවේ දකින්න තිබුණා

” අනේ හොඳයි.දැන්වත් ඔයාගේ වැඩ ටිකක් අඩු වෙයි “

කුමාරි කතා කළේ සතුටෙන්.පාසල ඇරුණු ගමන්ම ගෙදර ගිය කෝසලා දියණියන් දෙන්නාව ලඟට ගෙන්න ගත්තා

” මම අද හවස ටිකක් කලින් එනවා.මාත් එක්ක පාඩම් කරන්න ලෑස්ති වෙලා ඉන්න දෙන්නම “

අමතර පන්ති පැවැත්වෙන ආයතනයට ගිය කෝසලා , තමන්ට පහසු විදිහට පන්ති පවත්වන්න ආයතනයත් එක්ක කතා කරල වේලාවන් වෙනස් කරගත්තා.එදිනට නියමිත පන්තිය පවත්වපු කෝසලා අඳුර වැටෙන්න කළින් ගෙදර ගියා.පොරොන්දු උන විදිහටම දරුවන් දෙන්නාගේ පාඩම් වැඩ වලට සහාය දෙන්න ආව කෝසලා ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙලා තියෙන හැටි දැක්කම ඔවුන් දෙන්නා ගැන දැනුනේ දුකක්

” මට මේ දෙන්නාව ගොඩක් මග ඇරිලා”

කෝසලා තනිවම හිතුවා.වෙනදාට කලබලෙන් කරපු වැඩ කෝසලා හරිම සතුටින් කළමනාකරණය කරගන්නවා දැක්කහම සමන්තට ඇති වුණේ සතුටක්.දින කිහිපයක් තිස්සේම දකින කෝලාගේ වෙනස වෙනදාටත් වඩා ඇයව ප්‍රියමනාප කාන්තාවක් බවට පත් කරලා කියලයි සමන්තට හිතුණේ

” මං හිතන්නේ පරණ කෝසලාට ආපහු පණ ඇවිල්ලා “

දියණියන් දෙන්නත් එක්ක පාසලේ ගෙදර වැඩ කරන කෝසලා ගාවින් සමන්ත වාඩිවුනේ සතුටින්

More Stories

Don't Miss


Latest Articles