සැබෑ වෙනසක් සඳහා අභීත පියවරක් තබමු

අද ලෝක කාන්තා දිනයයි. සෑම වසරකම මාර්තු 08 වෙනි දින කාන්තා දිනය සමරනු ලැබෙනවා. ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ විවිධ පීඩා , ඇනුම් බැනුම්, නින්දා අපහාස විඳිමින් ලොව සතර දිසාවෙහි පීඩාවටපත් වූ කාන්තාවන් ඒ පීඩනයෙන් මිදෙන්නට ඉතිහාසයේ වරින් වර දැරූ උත්සහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට ‍එරෙහි සියලු ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමේ අරමුණින් සෑම වසරකම International Women’s Day සමරනු ලබනවා. මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ ද එවැනි පසුබිමක් යටතේය.‍ 1908 මාර්තු 8 වැනිදා අමෙරිකාවේ ඇඟළුම් කම්හලක තරුණ සේවිකාවන් පිරිසක් එතෙක් පැවති පැය 16ක වැඩමුරය වෙනුවට පැය10ක වැඩමුරයක් ඉල්ලා කළ ධෛර්යසම්පන්න සටනක් තමා ඊට මුල්වේ. නමුත් මාර්තු 8 ලෝක කාන්තා දිනය හැටියට නම් වෙන්නේ 1910දි කෝපන්හේගන් නුවර පැවැත්වුණු ජාත්‍යන්තර සමුළුවකදීයි.

ලංකාවේ සමස්‌ත ජනගහනයෙන් වැඩි පාර්ශවය බවට ද වැඩි කාලයක්‌ ජීවත් වන ජන කොටස බවටද කාන්තාවන් පත්වෙමින් සිටින මෙම අවධියේ, සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට පාසල් අධ්‍යාපනය ලබන, සරසවි අධ්‍යාපනය ලබා රැකියාවන්ට ඇතුළු වන මෙන්ම ඉහළ වෘත්තිය දක්‌ෂතා හා පරිපාලන හා පරිපාලන ක්‌ෂේත්‍රයේ ඉහළ නිලතල දරණ වැඩි ප්‍රමාණයක්‌ කාන්තා පාර්ශවය විසින් අත්පත් කර ගනිමින් සිටිති. විදේශ රැකියාවල නිරත වීම නිසා ගෘහ සේවය මගින් මෙරටට විශාලතම ධන සම්පතක්‌ සපයන්නේද කාන්තාවන්ය. දකුණු ආසියාවේ අනෙක්‌ රටවලට සාපේක්‌ෂව ලංකාවේ කාන්තාවෝ බොහෝ අංශවලින් පෙරමුණේ සිටිති.

නමුත් කාන්තාවට තවමත් ජයගත යුතු අභියෝග රැසකි. රටේ ආර්ථිකය තුළ කාන්තාවන් දැඩි මානසික පීඩාවකට ලක්ව සිටිති. කාන්තාවන් වූ නිසාම කාන්තාවන්ට විවිධ කතාවලට මුහුණදීමට සිදුවේ. ශ්‍රී ලංකාවේ වතුකරය, ඇඟළුම් ක්ෂේත්‍රය, මැද පෙරදිග ගෘහ සේවය ඇතුළු පීඩිත කාන්තා නියෝජනයක් සහිත අංශ ගණනාවක්ම තවමත් කාන්තා හිංසනය අරක්ගෙන ඇත. සංවර්ධන ක්‍රියාවලිය සඳහා කාන්තා දායකත්වය වැඩි දියුණු කිරීමට දැනට පවතින ක්‌ෂේත්‍ර ප්‍රතිසංවිධානය කළ යුතුව ඇත. ශ්‍රම වෙළෙඳපොළ තුළ කාන්තාවන් සඳහා ඇති ස්‌ථාන ප්‍රමාණය සහ ක්‍රියාත්මක වීමට ඇති අවස්‌ථා ගණන වැඩිකර දිය යුතුය. මහජන ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන අපයෝජනයන් වැළැක්වීමට තවදුරටත් කටයුතුකලයුතුව ඇත.

1931දී ශ්‍රී ලාංකීය කාන්තාවට සර්වජන ඡන්දබලය හිමි වූ නමුත් තවමත් දේශපාලනය තුළ කාන්තා නියෝජනය පවතින්නේ ඉතාමත් අඩු මට්ටමකයි. පාර්ලිමේන්තුව තුළ පවතින්නේ 6.9% වැනි කාන්තා නියෝජන ප්‍රතිශතයක්. පළාත් සභා තුළ 5%ක් වන විට ප්‍රාදේශීය සභා තුළ 2.03%ක් වැනි ප්‍රමාණයක් තමයි පවතියි. දේශපාලන ක්‍රියාවලිය සඳහා ප්‍රාදේශීය මට්‌ටමේ සිට කාන්තා නියෝජනය වැඩි කළ යුතුව ඇත. Susan B. Anthony නම් කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය දක්වන ආකාරයට නීති සම්පාදන ක්‍රියාවලිය තුළ කාන්තාවන් සක්‍රිය ලෙස නියැලෙන තුරු කාන්තාවන් ඡන්ද බලයෙන් ජනතා නියෝජිතවරියන් ලෙස පත්වන තුරු කාන්තාවන් සඳහා පූර්ණ සමානාත්මතාවයක් දැකිය නොහැකිය. මන්ද කාන්තාවන්ගේ ප්‍රශ්න නිසි ලෙසම ආමන්ත්‍රණය කිරීමට සුදුසුම තැනැත්තා තවත් කාන්තාවක් බැවිනි. ලොව ප්‍රථම අගමැතිනිය බිහි වූ අපේ රටේ දේශපාලනය තුළ කාන්තාවට හිමි තත්ත්වය ලබාගැනීම කාන්තාව විසින්ම කළ යුතු දෙයකි.

අදට වඩා හොඳ හෙට දවසක් උදා කර දීම ලෝක කාන්තා දින පොරොන්දු පත්‍රවලට පමණක් සීමා වී තිබීම කණගාටුවට කරුණක්. මෙයට පිළිතුරක් ලෙස මෙවර International Women’s Day සඳහා තෝරාගෙන ඇත්තේ වෙනසක් සඳහා නිර්භීතවන්න(Be Bold for Change For) යන්නයි. වෙනසක්වන තුරු බලා නොසිට ඔබට, කාන්තාවට ඇති සැබෑ ගැටළු මොනවාදැයි හඳුනාගෙන එ් සඳහා අවශ්‍ය කුඩා ක්‍රියාමාර්ගයක් හෝ ගැනීමේ තීරණය ඔබ සතුයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles