ඇඹිලිපිටිය සිට කොලොන්න හරහා සූරියකන්ද මාර්ගයේ කි.මී. 24 ක් පමණ දුරකින් රමණීය පරිසරයක මඩුවන්වෙල වලව්ව පිහිටා ඇත. වලව්ව පිහිටි ඉඩම අක්කර 20 ක පමණ විශාල අලංකාර භූමි භාගයකි.
මඩුවන්වෙල ප්‍රදේශයට ඒ නම ලැබිල තියෙන්නේ “කුළු මී හරකුන් බහුලව සිටින වෙල” කියන අදහසින්. දෙවැනි විමලධර්මසූරිය රජතුමා මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදලිවරයාට මෙම ඉඩම ඉඩම් සන්නසකින් භාරදීලා මුදලිවරයා ඒ ඉඩමේ මේ වලව්ව හදපු බවටයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.
මීට අවුරුදු 100කට විතර කලින් කාමර 121ක් සහ මැදමිදුල් 21ක් තිබුණු බවට සදහන් උනත් වර්තමානයේ දකින්න ලැබෙන්නේ කාමර 42ක් එක්ක මැදමිදුල් 7 ක් පමණයි. වලව්වට ඇතුලුවෙන තැන තියන ගල් අරුක්කුව යම් අයෙක් වලව්වට එනවා නම් අශ්වයාගේ පිටින් බැස හෝ ඔලුව පාත් කොට ඇතුල්විය යුතු ආකාරයට නිර්මාණය කර ඇත. ඇතුලත සවිකර ඇති උළුවහු වුවත් තරමක් මිටි පුද්ගලයෙකුට හැර සාමාන්‍ය කෙනෙකුට ඔලුව පහත් නොකර යන්න නොහැක. මේකට හේතුව මිටි පුද්ගලයෙකු වන මුදලිවරයාගේ උසේ ප්‍රමාණයට උළුවහු නිර්මාණය කරලා තිබීම බවයි ප්‍රදේශ වාසීන්ගේ අදහස.
ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වු පසුව මහ බංගලාව නම් ආලින්දයට පිවිසිය හැකිය. සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් කැටයම් සහිත රාමුවකින් සමන්විත වන ත්‍රිමානශිලී ස්වරූපයක් පෙන්වන මඩුවන්වෙල දිසාවේගේ ජීවමාන ස්වරූපයේ ඡායාරූපයක් එහි දක්නට ලැබේ. සතරවට ලී කැටයමින් යුතු කොරිඩෝව වලව්වේ අමුත්තන් පිළිගැනීමේ ශාලාව තුල වික්ටෝරියා රැජිනගේ පින්තූරය සහිත පිඟන් කටු බිමට අතුරා ඇත.
පවුරු තුනකින් අලංකාර වු මඩුවන්වෙල වලව්වේ පිටත පවුර ශක්තිමත් කළු ගලින් නිමවා ඇත. එහි ඇතුළුවන දොරටුව “ගල් උළුවස්ස” නම්වේ. වලව්වට ජල පහසුව සැපයු සිසිල් ජලය පිරි ළිඳද පිඟන් ගඩොල් අතුරා ඇති නාන ගෙයි නෂ්ටාවශේෂද, වසර සිය ගණනක් පැරණි කුඹුක් හා හික් ගස්ද වලව්වේ ජීවත් වු මහා රදළවරයාගේ පෞරුෂත්වය නොසඟවා හෙළි කරන්නේ අභිමානයෙනි.
අතීතයට පිය නගා විවේකීව සුන්දර දිනයක් ගතකරන්නට ඉතාමත් සුසුසු තැනක්.
– කල්හාරී –