කඩෙන් ගන්න සෝස් වර්ග ගෙදරදීම හදමු

හැමදාම කන බත් සහ ව්‍යංජන වර්ග වලට වඩා වෙනස් වූ විශේෂිත කෑම වර්ග හදන කොට ඒවාට යොදන්න ඕන විශේෂ අමුද්‍රව්‍ය තියෙනවා.ඒ අමුද්‍රව්‍ය අතරින් සෝස් වර්ග ප්‍රධාන තැනක් ගන්නවා.ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නෙ මේ සෝස් වර්ග වෙළෙඳ පොළෙන් මිලදී ගන්න.නමුත් සෞඛ්‍යාරක්ෂිත විදිහට රසකාරක වලින් තොරව නිවසේදීම මේ සෝස් වර්ග හදා ගත්තොත් සෞඛ්‍ය ගැන අපිට බයවෙන්න දෙයක් නැහැ.ඒ නිසාම රස ආහාර වට්ටෝරු වලට අවශ්‍ය වෙන ,නිවසේදීම හදාගන්න පුළුවන් සෝස් වර්ග හදන ක්‍රම ගැන ඔබට කියන්න අපි හිතුවා

White sauce

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • පාන්පිටි 100g
  • බටර් 100g
  • ක්‍රීම්චීස් 100g
  • චීස් වෙජස් 2 හෝ 3ක්
  • කිරි ලීටර් 1.5
  • ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  • ඔරිගානෝ ස්වල්පයක්
  • ලුණු රස අනුව

හදන්නේ මෙහෙමයි

මුලින්ම බටර් ටික පෑන් එකකට දමා දිය වෙන්නට හරින්න

බටර් දිය වී ගෙන එන විට පාන්පිටි ටික එකතු කර මිශ්‍ර කරගන්න.අඩිය අල්ලන්නට ඉඩ නොතබා දිගින් දිගටම මිශ්‍ර කරන්න

ඉන්පසුව කිරි ටික ටික කලවම් කරමින් පිටි කැටි නොහිටින සේ මිශ්‍ර කරගන්න

දැන් එම මිශ්‍රණයට චීස් සහ ඔරිගානෝ එකතු කරන්න.

අවසානයට ලුණු සහ ගම්මිරිස්කුඩු අවශ්‍ය පමණට එකතු කර මිශ්‍ර කරමින් සෝස් එක සකස් කර ගන්න

Garlic Sauce

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • සුදුළූණු බික් කෝප්ප එකහමාරක්
  • ලෙමන් යුෂ කෝප්ප බාගයක්
  • ලුණු රස අනුව
  • සන්ෆ්ලවර් තෙල් කෝප්ප 1/2

හදන්නෙ මෙහෙමයි

මුලින්ම සුදුළූණු බික් දෙකට කපා මැද නාරටිය ඉවත් කරගන්න.

ඉන්පසුව කපාගත් සුදුළූණු සහ ලුණු ග්‍රයින්ඩර් එකක් ආධාරයෙන් හොඳින් ග්‍රයින්ඩ් කරගන්න.

දැන් එයට ලෙමන් යුෂ එකතු කර නැවතත් බ්ලෙන්ඩ් කරගන්න

ඉන් පසුව තෙල් ටික ටික එකතු කරමින් බ්ලෙන්ඩ් කරගන්න.

සෝස් එක ගබඩා කිරීම සඳහා වීදුරු බෝතලයක් භාවිතා කරනවානම් ඉතා සුදුසුයි.සකස් කර ගත් සෝස් එක වීදුරු බෝතලයකට එකතු කර ටිෂු කඩදාසියකින් එය හොඳින් ආවරණය කර එක රැයක් ශීතකරණයේ තබන්න

පසුදින එම ටිෂු කඩදාසිය ඉවත් කර බෝතලයේ මූඩියෙන් හොඳින් වසා ශීතකරණයේ තබා ගෙන පාවිච්චි කරන්න

Tomato Sauce

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි 6 හෝ 7
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • සීනි මේස හැඳි 3
  • විනාකිරි මේස හැඳි 3
  • රස අනුව ලුණු

හදන්නේ මෙහෙමයි

මුලින්ම තක්කාලි ගෙඩි වල යටින් කැපුම් දෙකක් දමා විනාඩි 3ක් උණු වතුරෙ බහා තබන්න

ඉන්පසුව තක්කාලි වල පොතු ටික ඉවත්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

බ්ලෙන්ඩ් කරගත් තක්කාලි මිශ්‍රණය පෙරා ගන්න

පෙරාගත් තක්කලි මිශ්‍රණය පිරිසිදු භාජනයකට එකතු කර ලිප තබාගෙන, විනාකිරි හැර අනෙක් අමුද්‍රව්‍ය සියල්ල එකතු කර හොඳින් හැඳිගාමින් පිසගන්න

මිශ්‍රණය තරමක් උකු වේගෙන එනවිට විනාකිරි ටික එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

අවශ්‍ය ප්‍රමාණයට සෝස් එක උකු වූ විට ලිපෙන් ඉවත් කර නිවෙන්නට හැර බෝතලයකට දමා ශීතකරණයේ තබමින් භාවිතයට ගන්න.

Related Articles

Don't Miss


Latest Articles