ගෙදරදීම කොත්තු රොටි හදමු

ලංකාවේ ලොකු කුඩා කා අතරත් ඉතාමත් ජනප්‍රිය කොත්තු රොටි සමබල ආහාරයක්. රසකාරක නොමැතිව ගෙදරදීම පිරිසිදුවට රසවත් කොත්තු හදල බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ගෝදම්බ රොටි 6
  • පිසගත් මස් හෝ මාළු
  • බිත්තර 02
  • කැරට් ගෙඩියක්
  • ලීක්ස් කොලයක්
  • ගෝවා කොලයක්
  • තක්කලි ගෙඩියක්
  • බී ළූණු ගෙඩියක්
  • මිරිස් කරල් දෙකක්
  • සුදුළූණු බික් දෙකක්
  • මාජරින්
  • ඉඟුරු
  • රම්පෙ සහ කරපිංචා
  • සැර අනුව මිරිස් කුඩු හෝ කෑලි මිරිස්
  • සෝයා සෝස්/ Fish/ඔයිස්ටර් සෝස්
  • තක්කාලි සෝස්
  • රස අනුව ලුණු කුඩු

සාදන අයුරු:

පළමුවෙන්ම ගෝදම්බ රොටි, එළවළු සහ මස්/මාලු කුඩා කැබලි වලට කපාගන්න. පැතලි අඩිය ඇති භාජනයක් මද ගින්දරේ ලිප තබන්න. රත්වේගන එද්දි මුලින්ම මාජරින් මේස හැඳි තුනක් තැටියට දාලා ඒකත් හොඳ රත්වෙන්න පොඩි වෙලාවක් තියන්න. හොඳ රත්වුනාම මුලින්ම ඒකට ඉඟුරු  සුදුළූනු එක්කර දුඹුරු පාට වන විට එයට කපාගත් එළවළු සහ මස්/ මාළු ආදී අනෙක් ද්‍රව්‍ය එකතු කරගන්න. ගින්දර අවශ්‍ය පමණට තියාගන්න මතක තබාගන්න.  එළවළු  හොඳින් තැම්බීගෙන එන විට බිත්තර එක් කර හොඳින් කලවම් කරගන්න. මිශ්‍රණය හොඳින් කලවම් කිරීම අනිවාර්යයෙන්ම නොනවත්වා කල යුතුයි. දැන් ගෝදම්බ රොටි කෑලි ටික ක්‍රම ක්‍රමයෙන් එකතු කරමින් හොඳින් කලවම් කරන්න. ලුණු කුඩු  රස අනුව එකතු කර හොඳින් කලවම් කරගත් පසු සෝස් මේස හැඳි දෙකක්, මස් හෝ මාළු කරියෙන් මේස හැඳි තුන හතරක් එකතු කර කලවම් කරගන්න. උණු උණුවේම මස්/ මාළු හොදි සමග සංග්‍රහ කරන්න.

ගෝදම්බ රොටිත් ගෙදරම හදාගන්න පුළුවන් එහෙම නැතිනම් ඒ වෙනුවට spring roll sheet හෝ tortilla wraps වුණත් භාවිතා කල හැකියි. මෙයට චීස්, හතු, සෝයා, සොසේජස්, මාළු මිරිස් ආදී ඕනෑම දෙයක් එකතු කරගත හැකියි.

රසට ගුණවත් වූවත් මෙය දිනපතා ගතයුතු ආහාරයක්‌ නම් නොවෙයි. ගෙදර අය පුදුම කරවන්නත් එක්ක කඩෙන් ගෙනාවාට වැඩිය රසවත් කොත්තු ගෙදරදී අනිවාර්යයෙන්ම හදලා බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles