එක එක විදිහට හාල්මැස්සන් හදමුද ?

හාල්මැස්සො කියන්නෙ ශ්‍රී ලාංකීය අපි අතර බොහොම ජනප්‍රිය මාළු වර්ගයක්නෙ.

අපේ නිවෙස් වල නිතරම පිළියෙල වන හාල්මැස්සන් වල කිසිසේත්ම අවතක්සේරු කරන්න බැරි තරම් ගුණාත්මකභාවයක් තියෙනව කියන එක අපි පුංචි කාලෙ ඉඳන් ඉගෙනගෙන තියෙනව. 

හාල්මැස්සො කියන්නෙ Omega 3 (ඔමෙග 3) මේද අම්ල වලින් සංතෘප්ත ආහාරයක්. 

එමඟින් ඔබේ හෘදයේ සහ මොළයේ නිරෝගීබව ඇති කරන්න උදව් වෙනව. 

හාල්මැස්සන් වල අඩංගු සෙලෙනියම් (selenium) පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනව. 

මීට අමතරව ඔබේ ඇස්වල පෙනීම වැඩි දියුණු කරන්නත්, අස්ථි හා මාංශපේෂී වල නීරෝගීබව ඇති කරන්නත්, ඇල්සයිමර් වැනි රෝගී තත්වයන් ඇති වීම වළක්වන්නත් නිතරම හාල්මැස්සන් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනව. 

අපේ නිතරම හාල්මැස්සන් තෙම්පරාදුව එහෙමත් නැත්නම් හාල්මැස්සන් හොද්දනෙ පිළියෙල කරන්නෙ. 

අද අපි ඔබට කියල දෙන්නෙ වෙනස් විදිහට හාල්මැස්සන් පිළියෙල කරන්න පුළුවන් ක්‍රම කීපයක් ගැනයි.

අපි බලමු ඒ මොනවද කියල 

හොට් බැටර් හාල්මැස්සන් (Hot butter anchovies)

අවශ්‍ය ද්‍රව්‍ය

  • අමු හාල්මැස්සන් 100 g ක් 
  • (කහ, ගම්මිරිස්, ලුණු, අඹරාගත් සුදුළූනු සහ මිරිස් යොදා අතගා ටික වේලාවක් තබා ගන්න)
  • තැවරුම සඳහා
  • බිත්තර ගෙඩි 01 ක්
  • කෝන් පිටි මේස හැඳි 02 ක්
  • බටර් මේස හැඳි 02 ක්
  • දිගට කපාගත් ලූණු කොළ ගස් තුන හතරක්
  • ඉඟුරු තේ හැඳි 01 ක්
  • සුදුලූණූ තේ හැඳි 01 ක්
  • චිලි පේස්ට් මේස හැඳි 1 ½ ක් හෝ කෑලි මිරිස් මේස හැඳි 1 ½ ක්
  • රස අනුව ලුණු
  • ගම්මිරිස්
  • කරපිංචා
  • වියළි මිරිස් කරල් කීපයක් 
  • (තරමක් විශාල කැබලි වලට කාපගන්න)
  • රතුළූනු ගෙඩියක්
  • (රවුමට හෝ කොටු හැඩයට කපාගන්න)
  • සීනි ස්වල්පයක්
  • තෙල් 
  • සෝයා සෝස් මේස හැඳි 01 ක් (අත්‍යාවශ්‍යම නැත)
  • තක්කාලි සෝස් මේස හැඳි 1 ½ ක් (අත්‍යාවශ්‍යම නැත) 

සාදාගන්නා ආකාරය 

මුලින්ම පිළියෙල කරගත් හාල්මැස්සන් වලට බිත්තර ය දමා හාල්මැස්සන් නොකැඩෙන සේ හොඳින් කලවම් කරගන්න.

ඊළඟට හාල්මැස්සන් වලට කෝන්පිටි ස්වල්පය බැගින් එක්කර නැවත කලවම් කරගන්න.

හාල්මැස්සන් ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගෙන පසෙකින් තබාගන්න. 

දැන් තාච්චියක් ලිපතබා තෙල් මේස හැඳි එක්කර රත්වන තුරු තබන්න. 

දැන් එයට කපාගත් වියළි මිරිස්, සුදුළූනු සහ කරපිංච එක්කර මඳ වේලාවක් තබා බටර් ස්වල්පයක් එක්කරගන්න. 

ඉන්පසු කෑලි මිරිස් හෝ චිලි පේස්ට් එක්කරගන්න. 

ටික වේලාවක් තබා තිබෙනවා නම් සෝයා සෝස් සහ තක්කාලි සෝස් එක්කර හොඳින් කලවම් කරගන්න. 

දැන් රස අනුව ලුණු, ගම්මිරිස් සහ සීනි එක්කරගන්න. 

දැන් මේ මිශ්‍රණයට කපාගත් ලූණු සහ බැදගත් හාල්මැස්සන් එක්කර මිශ්‍රණය හොඳින් තැවරෙන සේ කලවම් කරගන්න. 

දැන් ලිපනිවා භාජනය ලිපෙන් ඉවත්කර කපාගත් ලූණු කොළ ටික එක්කර නැවත කලවම් කරගන්න.

මඳ රස්නයෙන් ආහාරයට ගන්න. 

හාල්මැස්සන් අච්චාරුව 

අවශ්‍ය ද්‍රව්‍ය

  • වියළි හාල්මැස්සන් 250 g
  • සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩියක්
  • මැදින් පලාගත් අමු මිරිස් කරල් 8 ක් 10 ක්
  • කරපිංච ඉත්තක්
  • රම්පා කැබැල්ලක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • අඹරාගත් සුදුළූනු සහ ඉඟුරු
  • සියඹලා ඉස්ම මේස හැඳි 06 ක් පමණ
  • ලුණු වතුරෙන් අඹරාගත් අබ මේස හැඳි 01 ක් පමණ
  • ගම්මිරිස් කුඩු මේස හැඳි 01 ක්
  • කෑලි මිරිස් මේස හැඳි 01 ක්
  • රස අනුව ලුණු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම ලූණු, අමුමිරිස් සහ හාල්මැස්සන් ගැඹුරු තෙලේ බැඳගන්න. 

(ලූණු රන්වන් පාට වනතුරුත් අමුමිරිස් කොළ පැහැවන තුරුත් බැදගත යුතුයි) 

ඊළඟට භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් එක්කර රත් වීමට තබන්න. 

එයට කරපිංච, රම්පා සහ කුරුඳුපොතු කැබැල්ල එක්කර මඳ වේලාවක් බැදගන්න.

දැන් අඹරාගත් ඉඟුරු, සුදුළූනු සහ අබ එක්කර හොඳින් කලවම් කරගන්න. 

කෑලි මිරිස්, ගම්මිරිස් සහ රස අනුව ලුණු එක්කරගෙන හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට බැදගත් හාල්මැස්සන්, අමුමිරිස් සහ ලූණු එක්කර හොඳින් කලවම් කරගන්න. 

නිමුණු පසු ආහාරයට ගන්න. 

ඉතිං මේ විදිහටත් හාල්මැස්සන් හදල බලමුද ? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles