මතක දිගහැරුම 63 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැට තුන්වන දිගහැරුම ,

ධනවත් පන්තියේ අය නිතරම ගැවසෙන ලාස් වේගාස් ප්‍රදේශය වෙතද අප ගියෙමු.සුපිරි පන්තියේ හෝටල් වලින් සමන්විත එම ප්‍රදේශයට බොහෝ අය පැමිණෙන්නේ සූදු කෙළීම සඳහා ය.බොහෝ ස්ථානවල සූදු කෙළින යන්ත්‍ර දක්නට ඇති අතර ඇතැමුන් උදේ සිට හවස් වරුව දක්වාම එම ස්ථානවල මුදල් යොදවමින් සූදු කෙළිමින් කාලය ගත කරති.ඊට අමතරව එහි විවිධ කලාකරුවන් පැමිණ සජීව ප්‍රසංග පවත්වන අතර ඒවා නැරඹීමටද මිනිසුන්ට අවස්ථාව හිමිවේ.අප එහි ගිය දිනයේ Engle Bird Humperdink ගේ සජීව ප්‍රසංගයක් පැවැත්වුන අතර ඔහු මගේ ප්‍රියතම ගායකයෙක් වූ නිසා මම සහ හෂාන් එම ප්‍රසංගය නැරඹීමට ගියෙමු.ඔහු ඔහුගේ දියණිය සමග ගීත ගායනා කළ අතර එය අපට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් විය.

ඉන්පසුව අප ගියේ Universal studio එක නැරඹීමටය.එය නැරඹීමට මා ගිය ප්‍රථම වතාව එය විය.අප ඉතා ආසාවෙන් නැරඹූ jurassic world ,king kong වැනි චිත්‍රපට රූපගත කල ස්ථාන නැරඹීමට අපට හැකි වූ අතර එය අප හැමදෙනාටම අලුත්ම ආකාරයේ අත්දැකීමක් විය.අක්කර ගණනාවක් විශාල භූමියක පිහිටා තිබුනු universal studio එක නැරඹීමට ,කුඩා දුම්රියක වැනි රථයක නැගී අප ගිය අතර සමහර ස්ථාන ඇතුළට ගොස් නැරඹීමට ද අපට අවස්ථාව හිමිවුනි.සමහර චිත්‍රපට වල ගොඩනැගිලි කඩා ගෙන වැටෙන දර්ශන රූපගත කරන ආකාරය ද අප දුටුවෙමු.

හෂාන් සහ මම Universal studio එක නරඹමින් ඇවිදගෙන යන අතරතුර දී පිටුපසින් පැමිණි අයකු ” තිලී ” යනුවෙන් අමතන්නට විය.එසේ අප අමතන්නේ කවුදැයි මා හැරී බැලුවෙමි.කඩවසම් පිරිමි පුද්ගලයෙකු, ලෙදර් කබායකින් සහ කලිසමකින් සැරසී, ඉතා වටිනා සපත්තු දෙකක් පැළඳ අප ඉදිරියේ පෙනී සිටි අතර එක වරම මට සිතුනේ ඔහු නළුවෙක් කියාය. එබැවින් මා හෂාන්ගේ අතට තට්ටු කරමින් ” ඔයාට නළුවෙක් කතා කරනවා ” යැයි කීවෙමි .එකවරම හෂාන් හැරී බලා ” මේ ශේන් වෝන් නේ ” කීය.ඉන්පසු හෂාන් ඔහු අසලට ගොස් ඔහු සමඟ කතා බහ කළේය.ඔහු ද ඔහුගේ බිරිඳ සමග නිවාඩුව ගතකිරීම සඳහා පැමිණි අවස්ථාවක Universal studio එක නැරඹීම සඳහා පැමිණ තිබුණි.

Universal studio හි එක් ස්ථානයක ඩක්කු ආකාරයේ කෝච්චි තිබූ අතර අප එයට නැග අසුන් ගත්තෙමු.අප අසුන් ගත් පසුව අපව ලොක් වේ.එසේ වන්නේ අපගේ ආරක්ෂාව සඳහාය.එයට නැගීමට පෙර ස්ථානයක ගැබිණි මව්වරුන්, හෘදයාබාධ සහිත අය,කුඩා දෙයටත් බියට පත්වන අය සහ වයස්ගත පුද්ගලයන් එහි ගමන් නොගත යුතු බවට දැන්වීම් පුවරුවක සඳහන් කර තිබුණ ද මා එය දුටුවේ නැත.එම කෝච්චිය විවිධ චිත්‍රපට රූපගත කළ ස්ථාන පෙන්වමින් යන එකක් වූ අතර එක් ස්ථානයකට ගොස් එම කෝච්චිය නතර විය.ඒ අවස්ථාවේදී අප භූමිකම්පාවක් වැනි දෙයක් අත්දකින බවට නිවේදනයක් නිකුත් කෙරුණි.එකවරම අප අසුන්ගෙන සිටි කෝච්චිය සෙලවෙන්නට පටන් ගත්තේය.එයින් මා ඉතා බියට පත්වූ අතර මා එක් අතකින් හෂාන්ගේ අත ද අල්ලාගෙන අනෙක් අතින් කෝච්චියද තදින් අල්ලා ගෙන සිටියෙමි.වේගයෙන් හෙළවුනු කෝච්චිය අඩි පහක් පහක් හයක් වැනි ප්‍රමාණයක් පහතට ඇද වැටුණි.එයින් පසුව නැවතත් කෝච්චිය හෙමින් සීරුවේ ගමන් කිරීමට පටන් ගත්තේය.නමුත් ඉන්පසුවත් මා සිටියේ අතිශය බියට පත් වීය.එයින් පිටතට ආ පසුව රීටා ආන්ටි කෝච්චියට නගින ස්ථානයේ ගසා තිබූ , මා නොදුටු දැන්වීම් පුවරුව පිළිබඳව මට පැවසුවාය.

ඇමරිකාවේ ගත කල දිනයකදී මා ඉතා ලස්සන සිහිනයක් දුටුවෙමි.අදටත් එම සිහිනය චිත්‍රපටියක් සේ මට මැවී පෙනේ.එම සිහිනයේ දුටු ආකාරයට මා ඉතා පැරණි පන්සලක සිටි අතර එහි පැරැණි බෝධියක් ද තිබුණි.උළු වලින් සමන්විත පැරණි බුදු ගෙයක්ද එහි පිහිටා තිබුණි.කලු ගල් වලින් වටවූ එය නටඹුන් වූ පන්සලක් විය.මට මතක ආකාරයට මා ඒ අවස්ථාවේ දී සිටියේ සුදු ඇඳුමක් හැඳගෙන ය.එකවරම විශාල සුළඟක් පැමිණ බෝධිය තිබු බෝ කොළ පාවෙමින් ගියේය.ඉන්පසුව සිවුරු හැඳගත් එකම ආකාරයේ මුහුණු ඇති කුඩා ස්වාමීන් වහන්සේලා දෙනමක් මා දුටු පැරණි බුදු ගෙය තුළ සිට වේගයෙන් මා දෙසට දිව ආහ.එසේ ආ ඔවුන් දෙදෙනා සිවුරු දෙක ගලවා දැමූ අතර එම සිවුරු සුළඟට පාවී ගියේය.ඉන්පසුව ඔවුන් දෙදෙනා මාව වැළඳ ගත්හ.එම සිහිනය දුටු පසු මා අවදි වූ අතර මට දැනුනේ දැනුණේ විශාල අමුත්තකි.නමුත් ඒ පිළිබඳව කිසිවකුටත් පැවසීමට මට සිතුනේ නැත.

දින දහයක සංචාරය නිමා කර අප නැවතත් ලංකාවට පැමිණියෙමු.එය ඉතා දීර්ඝ ගමනක් වූ නිසා අප සිටියේ ඉතා වෙහෙසට පත් වීය.පසුදින උදෑසන වන විට මගේ උදරයේ එක් පැත්තකින් අධික කැක්කුමක් මට දැනුණි.මා ඒ පිළිබඳව ඉතා ඉක්මනින් මගේ අම්මාට පැවසුවෙමි.ඔවුන් ඒ වන විට පදිංචිව සිටියේ හෝමාගම රෝහල අසලමය.අම්මාගෙ හොඳම මිතුරියක වූ ප්‍රේමචන්ද්‍ර ආන්ටි සේවය කළේ හෝමාගම රෝහලේය.ඒ නිසා අම්මා රෝහලට ගොස් ප්‍රේමචන්ද්‍ර ආන්ටි සමඟ මා පිලිබඳව විස්තර පවසා ඇත.එවිට ඇය පවසා තිබුණේ ඒ අවස්ථාවේදී වෛද්‍යවරයකු සිටින බවත් ඔහුට ඉතා ඉක්මනින් මා පෙන්විය යුතු බවත්ය.ඉන්පසුව මහ රෝහල කරා කැටුව එන ලෙස ප්‍රේමචන්ද්‍ර ආන්ටි විසින් අම්මාට පවසා තිබුණි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles