මීදුම් මාරුත – 8 වන කොටස

“පුතේ,මට ටිකක් කතා කරන්න ඕන..ඇවිත් යනවද?”

මාලිකාගේ ඉල්ලීම මත සන්ධ්‍යාවක සකුණ කාව්‍යාගේ නිවසට පැමිණියේ ය.කාව්‍යාගේ රෝගී තත්ත්වය ගැන හෝ ඇගේ ඉදිරි අනාගතය ගැන මාලිකාට පවසන්නට දේ ඇතැයි සකුණට සිතිණ.

“මං පුතා එක්ක මේ ගැන ටිකක් නිදහසේ කතා කරන්නමයි හිටියෙ..”

මාලිකා පැවසුවේ සකුණට කිරි කෝපි කෝප්පයක් පිළි ගන්වන අතර ය.සකුණ නැන්දණිය දෙස බැලුවේ කුහුලෙනි.

“පුතයි භාවනායි ආස්සරේ කරන්නෙ මැරි කරන්න හිතාගෙන නේද?”

සකුණ මොහොතක් නිහඬව හුන්නේ ය.භාවනාගේ හිතුවක්කාර ගති සිරිත් සහ තමන්ව නොසලකන තැන් තිබුණ ද සකුණ ඇයට ආදරය කළේ ය. භාවනා ෆේස්බුක් පිටුවේ ලියන තරමට ඇය සකුණට ප්‍රේමයෙන් නොසිටියා ය.නමුත් ඈ ඇගේ සහ සකුණගේ ආදරයත් සකුණ ඇයට ඇගේ සිහින කරා යන්නට දෙන නිදහසත් රස කරමින් ලියන නිසා ඒ ආදර කතාව බොහෝ දෙනෙකුගේ සිහින ආදර කතාවක් වී තිබිණ.

” ජැක් රෝස් වගේ ලව් ස්ටෝරියක් තමා සකුණ භාවනා ස්ටෝරියත්.ලෝකෙම දන්නවා..”

සකුණට මිතුරන් සරදම් කරන්නේ එසේ ය.

“මටත් සැකයි, ජැක්ට වගේ ගිලෙන්න වෙයිද කියලත්.”

එහෙව් විටෙක සකුණ හිතට එන සැබෑ හැඟීම් ද පවසයි.එහෙත් ඔහුගේ ආදර කතාව අස්ථිර එකක් බව මිතුරන් සිතන්නේ ද නැත.

“පුතාගෙන් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් ද මං ඇහුවෙ?”

මාලිකාගේ හඬට සකුණ යළි පියවි සිහියට ආවේ ය.

“මං හිතන් ඉන්නෙ භාවනාව මැරි කරන්න තමා අම්මා.”

ඔහු එපමණක් පැවසී ය.

“ලොකුවට වෙඩින් ගන්න පුලුවන් කාලයක් නම් නෙවෙයි තමා.ඒත් අපි පුලුවන් නම් වෙඩින් එකක් පුලුවන් විදියකට අර ගමුද? සෙනුරගේ මරණෙන් පස්සෙ මට බයයි පුතා.තාත්තවත් හිටියනම් මට බයක් නෑ..”

මාලිකා කියවාගෙන යන්නේ ශෝකයෙනි.අම්මා කෙනෙකුගේ දෑසේ ඇති අවිනිශ්චිත ශෝකය සකුණට නොතේරුණා නොවේ.

“අම්ම,අපේ බැච් එකේ හැමදාම මුලින් හිටියෙ සෙනුර.අපිට එයාට කිට්ටු කරන්නවත් බැරි උනා.මට කවදාවත් සෙනුර තරම් නම් හොඳ පුතෙක් වෙන්න බැරි වෙයි..”

එය එසේ බව ද සකුණ සිතී ය.සෙනුර තරමට හොඳ මිනිසෙකු වීම පහසු නොවේ.

“භාවනා කැමති වෙයි නම් මම ලෑස්ති අම්මා වෙඩින් එකක් ගන්න.”

සකුණ අනතුරුව පැවසී ය.භාවනා සමඟ ජීවිතය සැබෑවටම පහසු වේදැයි ඔහු දන්නේ නැත.එහෙත් අම්මා කෙනෙකුගේ බලාපොරොත්තු තමන් වටා ගොඩ නැගෙමින් ඇති බව ඔහු තේරුම් ගත්තේ ය.ඉන් මඟ හැරීම පහසු නොවේ.

“භාවනා හරිම කැමතියි පුතේ.මැරේජ් එකට ලෑස්ති කියන්නේ..”

සකුණට ඒ පුදුමයකි.විවාහ වී එක්ව අත අත නෑර ගමනක් යන තරමට සෙනෙහසක් භාවනා ඔහුට නොදක්වන තරම් ය.

“මං භාවනා එක්ක කතා කරන්නම් අම්මා..”

ඔහු එසේ පැවසුවේ දෙගිඩියාවෙනි.සැබෑවටම ඇය විවාහයකට එකඟ වූ කාරණාව පවා ඔහුට නොපැහැදිලි ය.ඇය ඔහු ගැන පිටත සමාජයේ කතා කරන තරමට ආදරය කළානම් විවාහය හෙට උදෑසන වුව ද ගැටලුවක් නැත.නමුත් තමන්ට නොපෙන්වා ඇය ආදරය යැයි කරන රඟපෑමට සකුණගේ ඇත්තේ දැඩි අකමැත්තකි.

“කවී, අපි ඔයාටත් හෙමින් කාවහරි හොයමු හොඳේ..”

සකුණ සිතට ආ නොපැහැදිලි හැඟීම් සඟවා ගන්නට කාව්‍යාට එසේ පැවසුවේ ය.අම්මා සහ සකුණගේ කතාබහ කිසිත් නොකියා අසා සිටි කාව්‍යා හදිසියේ ඉකිලන්නට වූවා ය.

“මං ඔයාලට බරක් වෙන්නෙ නෑ.මට අපේ ගෙදර යන්නත් පුලුවන්..”

ඇය කියන්නේ ඒ හැඬීම අතරිනි.සකුණ කලබලයට පත් වූයේ ඒ ඉකි ගැසීම නිසා කාව්‍යාට තනිකමක් දැනේදැයි සැකයෙන් පැවසූ දෙයින් ඇය ශෝකයට පත් වීම ගැන ය.

“කාව්‍යා ඔයා අපිට බරක් කියල ඔයා කොහොමද හිතන්නේ?”

සකුණ අසුනින් නැගිට කාව්‍යා අසලට ගොස් ඇගේ දෙවුර මත අත තැබුවේ දයාවෙනි.ඔහු බොහෝ කාලයක් දැන හුන් මිතුරිය මෙසේ සෑම විටකම හඬා වැළපි කෙල්ලක නොවේ. ආත්මානුකම්පාවෙන් පීඩීත වී ගිය එකියක ද නොවේ.නමුත් සෙනුර යන්නට ගියේ ඒ ශක්තිමත් දඟකාර යුවතිය අතුරුදහන් කරගෙන බව සකුණ තේරුම් ගත්තේ ය.අතීතයේ මෙන් නොව කාව්‍යා සමඟ ගනුදෙනු කළ යුත්තේ සීරුවෙන් යැයි ඔහු සිතුවේ ඒ නිසා ය.

“මං නිකං කතාවට කීවේ කවි.අපී මෙහෙම ඉමුකො
මැරි කරන්න ඕන කියල එකක් නෑනෙ.”

සකුණට වචන සොයා ගන්නට අපහසු ය.නමුත් ඔහු ඈ සනසන්නට සිතුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles