“සේරම කලබල අස්සේ කෞෂිත් මැරි කරනව.” කාර්යාලීය හිතවතියක එසේ කියද්දී කාව්‍යා පුදුමයෙන් නෙතු අයා ගත්තා ය.නංගිගේ විවාහය ගැන දුලාරි ගැන කතාබහ කරමින් සිටියදී කෞෂිගේ විවාහය ගැනද දැන ගන්නට ලැබීම ඇයට පුදුමයක් විය.
“අපි දන්නෙත් නෑනෙ..”
දුලාරි කියන්නේ පුදුමයෙනි.නමුත් එහි පුදුමයකට කාරණාවක් ද නොවේ.
අතීතයේ නෑ හිත මිතුරන් සිය ගණනක් හා එක්ව කළ විවාහ මංගල්‍යයන් දැන් අතිශය සමීපතමයන් කිහිපයකට සීමා වී ඇත.දින ගණනක් පුරා සමු දෙන්නට ඉඩකඩ ලැබූ අවමංගල්‍යයන් දැන් ජීවිතයේ තනිකම ද අනිත්‍ය ද මනාව වටහා දෙන අවස්ථාවන් ය.ලෝකය දැන් වඩාත් කුඩා වෙමින් ඇති බව දුලාරි සිතී ය.සමීපතමයන් පවා ඈත් කර දමන වෛරසයක අවසානයක කොතැනදැයි සිතමින් ඇය කාව්‍යා දෙස බැලුවා ය.
“ඔෆිස් එකේ නම් හැමෝටම කිව්වා.කෞෂිට ලොකු නෑයො ගොඩකුත් නෑලුනෙ.”
එසේ කී ලක්ෂිකා දුලාරි දෙස බලමින් මොහොතක් කල් මැරුවා ය.කියන්නට වටිනා ඕපාදූපයක් තිබේ.නමුත් එය හෙළි කළ යුතු වන්නේ කාව්‍යා නොමැති තැනකදී ය.
“කෞෂි කාව්‍යාට වෙඩින් එක කියන්නෙ නෑ දුලා.ඒකයි ඔයාටත් කියන්න නැතුව ඇත්තේ..”
ඒ කතාව පිටුපස ඇති අමානුෂික පුරෝකථනය දුලාරිට නොදැනුණා නොවේ.නමුත් ඈ දෑස් හකුළුවා ලක්ෂිකා දෙස බැලුවා ය.
“ඇයි ඒ? කාව්‍යා කා එක්කවත් තරහ ළමයෙක් නෙවේනෙ..”
ලක්ෂිකා දුලාරිට වඩා සමීප වූයේ කතාව රහ කරන්නට ය.ලක්ෂිකා වැනි අය මොනතරම් හොඳ අධ්‍යාපනයක් ලැබූව ද මෙවැනි තැන්වල අමුතුම පන්නයේ ගැහැනු ගති ඉස්මතු වීම ගැන දුලාරිට දැනුණේ අප්‍රසන්න බවකි.
“නෑ එහෙම එකක් නෙවේ දුලා.”
ලක්ෂිකා එසේ කියද්දී කෞෂි ද එතැනින් තමන්ගේ කාර්යයකට යන්නට පැමිණියා ය.දුලාරි ඇය දෙස බැලුවේ අප්‍රසන්න බැල්මකි.
“ඔයා මැරි කරනවලු නේද? සුබ පැතුම්..”
කෞෂි සහ ලක්ෂිකා අතර ක්ෂණික බැල්මක් හුවමාරු වූයේ දුලාරිගේ ඒ හඬට ය.නමුත් කෞෂි තමන් වෙනුවෙන් කතා කරන්නට සිත එකඟ කර ගත්තා ය. ඒ ඇගේ දවස ය.තමන්ගේ දවස ගැන තීරණ ගත යුත්තේ තමන් බව ඇය සිතුවා ය.
“අම්මලා කැමති නෑ දුලා එදාට කාව්‍යා එනවට.ඒකයි මං ඔයාටත් නොකියන්න හිතුවේ..”
තරුණ වයසදීම වැන්දඹු වූ ගැහැනියක විවාහ මංගල්‍යයට කැඳවීම අසුබ ලකුණක් බව තමන්ගේ අම්මා තරයේ විශ්වාස කරන බව කෞෂි කියද්දී දුලාරි ඇය දෙස අප්‍රසන්න දෑසකින් බැලුවා ය.
“ඒ මනුස්සයා මංකොල්ල කන්න ගිහින් වෙඩි කාලා මැරුන් නෑ කෞෂි..ඔයාගෙ අම්මත් කොවිඩ් හැදිලා හිටිය නේද? ඩොක්ටස්ලා මහන්සි වුණු හැටි අම්මලට අමතකද? සෙනුර නැතිවුණෙත් මිනිස්සුන්ගේ ජීවිතේ බේරන අතරමඟ.සුව විරුවො ගගා සින්දු ලියන්න ඕන නෑ කෞෂි.ඒ මිනිස්සු මේ වසංගතේට නැහිලා නැහිලා නැති වුණාම එයාලගෙ පවුලෙ මිනිස්සුන්ටවත් සැනසීමෙන් ඉන්න දෙනවනම්..”
දුලාරි එපමණකින් කතාව අවසන් කළා ය.මේවා කාව්‍යා දැන ගන්නවාට ඇගේ කැමැත්තක් නොවේ.නමුත් එවැනි කතාන්දර තටු සහිතව කාර්යාලයක් පුරා පැතිර යන්නේ ඊයක වේගයෙනි.
“ඔයා මේ වගේ කතා හිතන්න එපා ළමයො.ඔයා කොහෙද අවාසනාවන්ත.කවදහරි ඔහොම කියන මිනිස්සුන්ටත් පේන්න ලස්සනට ඉන්න ඕන ඔයා..”
උමේෂ් වහා තැනේ හැටියට ඇණය ගසන්නට සූදානම් වූයේ ය.මෙවැනි රිදවුම් ලබද්දී තනි වූ ගැහැනියකට දුක බෙදා ගන්නට කෙනෙකු උවමනා වග ඔහු දනියි.
“මං අවාසනාවන්ත නෑ උමේෂ්.අවාසනාවන්ත උනානං මට සෙනුරව ලැබෙන් නෑ..”
උමේෂ්ට එසේ පැවසූ මුත් කාව්‍යා හුන්නේ කම්පිතව ය.ඇය ඒ කතාව සකුණ සමඟ බෙදා ගත්තා ය.
“ඕවා ඉතිං විකාරමත කාව්‍යා.ඉපදුණු දවසෙම අම්මා නැති වුණ සිද්ධාර්ථ කුමාරයා බුදු බව ලැබුවේ.මිනිස්සුන්ගේ වාසනාවන්ත අවාසනාවන්තකම් ඕවයින් තීරණේ කරන්න පුලුවන් ද? අපි කවුරුත් දවසක මැරෙනව.දැන් මිනිස්සු කොහොමත් මරණේ අතේ තියන් ඉන්නෙ.මේ තියන තත්ව එක්ක තවත් දුක් විඳින ලෝකෙක ජීවත් නොවී යන්න ගිය සෙනුරයා වාසනාවන්තයි.එච්චරයි..”
සකුණ කාව්‍යාට පැවසුවේ හිත හදන්නටම නොවේ.ඔහු විශ්වාස කරන සැබෑ සත්‍යය ය.
“අර උමේෂ් කියන මිනිහට නම් ඔයාට ළං වෙන්න චාන්ස් එකක් දෙන්නම එපා.දුක අහගෙන එන උං නැතුවට ඔයාට ඔයාව බලා ගන්න පුලුවන්..”
සකුණ බොහෝ දවසක් කියන්නට සිටි කාරණාව පැවසුවේ ඉනික්බිති ව ය.කාව්‍යා තනිකම දරා ගන්නට නොහැකිව උමේෂ් වැනි මිනිසෙකුගේ ගැටයක පැටලේ යැයි ඔහුට බියක් විණ