මීදුම් මාරුත – 14

එතරම් වේගයකින් රිය ධාවනය කරන්නට තමාට හැකියාවක් ඇතැයි සකුණ සිහිනයකිනිදු සිතා තිබුණේ නැත.කාව්‍යා හිඳින්නේ අනතුරක බව සිතුණු ඔහු රිය ධාවනය කළේ වේගයෙනි.කාව්‍යාගේ නිවසට යන්නට ඔහුට එතරම් වෙලාවක් වැය නොවූයේ එනිසා ය.

“කවී,දොර අරින්න.මං ආවා.”

සකුණ ගෙමිදුල පරීක්ෂා කරන අතර දැන්වී ය.මිදුලේ අඩි සලකුණු කිහිපයකි.නමුත් සුළු ඉඩක් ඇති ගෙඋයනේ කිසිවෙකු නොසිටියේ ය.

“කාව්‍යා..මං ඇවිත් ඉන්නෙ..”

දෙවැනි ප්‍රතිචාරයට විවර වූ දොරෙන් පිටතට ආවේ හැඬීමෙන් හෙම්බත් වූ කාව්‍යා කෙනෙකි.ඇය ගැහෙමින් හිඳින බව දුටු සකුණ ඇගේ දෙවුර මත දෑත තැබී ය.

“කවුරුත් නෑ.ඒත් කවුරුමහරි එළියේ ඇවිදල තියනව..”

කාව්‍යා ඒ අසා තිගැස්සුණා ය.හොරෙකුට රැගෙන යා හැකි දේ නිවසේ බොහෝ ය.නමුත් සොරකමට පැමිණියානම් මේ වසා දමා ඇති නිවසට පනින්නට ඕනෑම මොහොතක නොහැකියාවක් නැත.

“මං ආපු ත්‍රීවිල් එකේ මනුස්සය හරිම අමුතුයි සකුණ.ගේ කලුවර හින්ද මං විතරද ඉන්නෙ කියල කීපපාරක්ම ඇහුව.මාස්ක් දාලා හිටියත් ඇස් දෙක එළියෙනෙ.හරි අප්පිරියා බැල්මක් තිබ්බෙ..”

කාව්‍යා තවමත් ගැහෙන බව සකුණ තේරුම් ගත්තේ ය.ඇය කැටුව නිවස තුළට ගිය ඔහු වතුර වීදුරුවක් ඈ අත තැබුවේ ය.

“කොහොමත් මං ඉස්සරත් තනියමනෙ හිටියෙ.සෙනුරට නයිට් වැටෙන හැම වෙලාවකම මං තනියම ලියෝ එක්ක හිටියනෙ.ඔහොම කරදර තිබුණේ නෑ.”

වතුර වීදුරුව එක් හුස්මට හිස් කළ කාව්‍යා පැවසුවේ ළතැවුලෙනි.එකල සෙනුර හිඳින්නට හැකි බව ඕනෑ කෙනෙකු සිතන්නට ඇත.නමුත් දැන් ඔහු නැති බව නොරහසකි.දන්නා මිනිසුන් ද නොදන්නා මිනිසුන් ද වෘකයන් මෙන් කාව්‍යා ලුහුබැඳීම ගැන සකුණට ඇති වූයේ වේදනාවකි.නමුත් ඔහු කිසිවක්ම නොකියා හුන්නේ ය.

“තනියම ඉන්නකොට ඔහොම තමයි කියල ඔයත් නංගි ගෙනාව ප්‍රපෝසල් එක ගැන නම් කියන්න එපා සකුණ..”

භාවනාගේ හඬ බැගෑපත් ය.එවැනි විවාහ යෝජනාවක් ගැන අබමල් රේණුවක් නොදන්නා සකුණ පුදුමයට පත් විණ.

“භාවනා කාවද ඔයාට ප්‍රපෝස් කරේ?”

ඔහු විමතියෙන් විමසූයේ එනිසා ය.භාවනා එවැනි කාරණා තමන් සමඟ කතාබහ නොකිරීම ගැන ද ඔහුට ඇති වූයේ නොරුස්නා හැඟීමකි.

“අර එයාලගෙ ඔෆිස් එකේ භාතිය..”

ගැහැනුන් කියන්නේ සෙල්ලම් බඩු බව සිතන භාතිය සබඳතා සම්බන්ධයෙන් සිතන්නේ ද ඉතා සිල්ලර අන්දමින් වග සකුණ දැන සිටියේ ය.නමුත් භාතිය තමන්ගේ කපටි අදහස්වල සාහිත්‍යය තවරා ගැහැනුන්ව රවටන්නට හපනෙකු බව ද ඔහු නොදැන සිටියා නොවේ.

“ලියවිලියි එක එක කොන්ත්‍රාතුත් වැඩක් නෑ අනේ ආදරේට.සරලවම කිව්වොත් හෙට ගැන හිතන් නැතුව මේ මොහොත විඳින්න ඕන.”

විවාහය ඉක්මන් කරමින් හිඳින අතරම භාවනා එසේ කියද්දී සකුණට සිනා පහළ වූ හැටි ඔහු සිහි කළේ ය.

“ඇත්ත.ඒක ඇත්තක්.ඔයාටත් ලස්සන දේවල් හිතෙනවනෙ..”

ඔහු එසේ කියද්දී භාවනා දෙවුර සලා සිලිසිලියේ හිනැහුණා ය.

“මං නෙවෙයි අනේ එහෙම කියන්නෙ.ඕෂෝ.මට ඕක කියාදුන්නෙ භාතිය අයියා..”

ලියවිල්ලකින් තවත් කෙනෙකුට බැඳී සිටිය ද වෙන කෙනෙකු වෙනුවෙන් ආදරයක් හට ගන්නේ නම් නොවලහා ඒ ගැන හෙළි කළ යුතු බව ද ඒ ආදරය විඳිය යුතු බව ද භාතිය පැවසූ අන්දම භාවනා පැවසුවේ ඉතා ඕනෑකමිනි.

“මිනිස්සු නිදහස් වෙන්න ඕන.නිදහසේ ආදරේ කරන්න ඕන.නොගැළපෙන තැන් අතාරින්න ඕන.ඒ සේරම ඇත්ත.හැබැයි තව කෙනෙක් රවට්ටලා රිද්දලා නෙවෙයි.ඔය භාතිය ගෑනු රවට්ටන්න ඕෂෝව,පාවුලෝ කොයියොව එහෙමත් කඩේ යවන මිනිහෙක් හැබැයි.”

සකුණ එසේ කියද්දී නිර්මාණාත්මක මිනිසුන් සම්බන්ධයෙන් ඔහුට ඇති ඊර්ෂ්‍යාව ගැන භාවනා සරදම් කළා ය.නමුත් ඈ කිසිම මොහොතක භාතිය අක්කාට යෝජනා කළ බවක් නොපැවසුවා ය.

“සකුණ..මොනවද කල්පනා කරන්නෙ? ඔයා හිතන්නෙත් ඒ මනුස්සය මට ගැලපෙනව කියලද?”

ඉතා ප්‍රීතිමත් හඬක් තිබූ කාව්‍යාට දැන් ඇත්තේ පරාජිත හඬක් බව සිතමින් සකුණ කල්පනාවෙන් මෙපිටට ආවේ ය.අනතුරුව ඔහු හඬ අවදි කළේ භාවනා කෙරෙහි කෝපයෙනි.

“ඔයා මැරි කරන්න ඕන කියල තීරණේකට ආවම ඒ ගැන අපි හිතමු කවී.හැබැයි ඔය භාතිය ජාතියෙ මිනිස්සු නම් නෙවෙයි.ඔයා එහෙම මිනිහෙක් බඳින්න ඕන නෑ..”

ඒ හඬ ඉල්ලීමකට සරි වූයේ නැත.එහි වූයේ නියෝගාත්මක හඬකි.හාතිය ගැන අනියත බියකින් හිරි වැටී තිබූ කාව්‍යාගේ හදවත සැනසීමෙන් පුරවන්නට ඒ හඬ සමත් වූයේ ය.

“කාව්‍යා,අර අපේ පන්තියේ හිටිය උදාරා..එයාගෙ බබාට මාස හය හතකුත් උනානෙ.ඔයා ගියාද එයාව බලන්න.”

සකුණ හදිසියේ මාතෘකාව වෙනස් කළේ ය.පාසල් කාලයේ කිට්ටුවන්තම මිතුරිය වූ උදාරා සරසවි අධ්‍යාපනය ලබන කාලයේ තමන්ට මඟ හැරී ගිය අන්දම කාව්‍යා සිහි කළා ය.

“එයා ඉන්නෙ මේ ළඟ..අපි යංද ඒ පැත්තෙ”

සකුණ එසේ කියා නැගී සිටියේ අලුත්ම උද්‍යෝගයකිනි.

“අලුත් බබෙක්නෙ සකුණ.මොකුත් ගන්නවත් දෙයක් නෑ.”

කොහේවත් නොයා තමන්ගේ ලෝකයක සිර වී හිඳින්නට කැමති කාව්‍යා නිදහසට කාරණා සෙවූවා ය.

“ඒ යන පාරේ බේබි ෂොප් එකක් තියනව.අපි යං..”

එසේ කී සකුණ බිළිඳාට වඩා උදාරා දකින්නට යන්නට උවමනා බව පැවසී ය.උදාරා එකල කාව්‍යාට වඩාත්ම සමීප චරිතය වග ඔහු දනියි.සෙනුර කාව්‍යා ආදර අන්දරය ලත් තැනම ලොප් වන්නට තිබූ බොහෝ අවස්ථා මඟ හැරුණේ උදාරා හන්දා ය.සෙනුරගේ මතක වාන් දැමුවා සේ කාව්‍යාට සිහි වන්නට උදාරාගේ හමුවීමෙන් ඇති ඉඩ වැඩි බව ඔහු දනියි.

නමුත් හදවතේ රහස් තැනක නිදන් වූ සිතුවිල්ලකට ඇහැරෙන්නට ඉඩ දිය යුතු බව ඔහු සිතී ය.එයට උපකාර කරන්නට උදාරාට වඩා සුදුස්සියක සිටින්නට නොහැක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles