“එතන ලෙඩ බලන්න දුවන්න කලින් ඔයා කියන්න මොකක්ද මේ වෙඩින් එක පරක්කු කරන කතාව?”
භාවනගේ හඬ සකුණට ඇසුණේ ආවේගශීලිව ය.
“අපි මේක ටිකක් පරක්කු කරමු භාවනා.මං කියන්නෙ කල් දාමු කියලනෙ.නොකර ඉමු කියල නෙවෙයි..”
සකුණගේ සන්සුන් කටහඬ දරන්නට තරම් භාවනා සෞම්‍ය නොවී ය.ඇය ඔහු දෙස ගිනි පුපුරු විසි කරමින් බලා සිටියා ය.
“මට පරක්කු කරන්න හේතුවක් නෑ..”
ඈ සෑම මොහොතකම ඈ ගැන පමණක් සිතීම සකුණට ඉහිලුම් නොදෙන කාරණාවකි.නමුත් ඔහු ඉවසීමෙන් මොහොතක් බලා සිටියේ ය.
“ඔයා මැරි කරන්න හදන්නෙ ඔයාගෙ එක්ස්ට රිද්දන්නනෙ භාවනා.ඒක ඇත්තටම මැරේජ් එකකට හේතුවක්ද?”
සකුණ එසේ අසද්දී ඔහු තමන්ට අවශ්‍ය තැනට පැමිණි බව භාවනා සිතුවා ය. ඇය උපරිම සමච්චල් සිනාවක් තොල් මත රඳවා ගත්තා ය.
“ඔයා එතකොට?අක්කගෙ වේදනාවයි අපේ කසාදෙයි අතර තියන සම්බන්දෙ මොකක්ද කියන්නකො මට..”
සකුණ ඉතා ඉවසීමෙන් මොහොතක් ගත කළේ ය.කාව්‍යා ඔහුගේ කුඩා කල පටන් මිතුරියක වීම හෝ ඔහුගේ රහස් ඒකපාර්ශ්වික ප්‍රේමය වීම මේ දැනෙන කෝපයට හේතුව නොවන බව ඔහු දනියි.හදවතක් ඇති ඕනෑම අයෙකුට භාවනාගේ මේ කතාව ඉතා අසාධාරණ බව නොහැඟෙන්නට හේතුවක් නැත.
“ඔයාට සම්බන්දයක් නැතුව ඇති.මට තියනව ඒත්…”
සකුණ එසේ කියා ඈ වෙත දැඩි බැල්මක් හෙළුවේ ය.
“ඔයාට සහෝදරකමක් දැනුණේ නැතුවට මට දැනෙනව භාවනා.පවුලෙ එකම ළමයා වෙච්ච මට ඉන්න සහෝදරයො මගෙ යාලුවො.අවුරුදු විසි ගාණක හොඳම යාලුවා නැති වෙලා.අනිත් එකී ඒ වේදනාවට උමතු වෙලා.මේක මේ වෙඩින් ගන්න වෙලාවක්ද?ඇයි අපට ටිකක් ඉවසන්න බැරි?”
සකුණ එසේ ඇසුව ද භාවනා ඔහු කියන දෑ සන්සුන්ව තෝරා ගන්නා මානසිකත්වයක නොසිටියා ය.ඇය කෝපයෙන් ඔහුට කඩා පැන්නා ය.ඇයට සකුණ ප්‍රේමයෙන් අයත් කරගන්නට අවශ්‍ය වූයේ නැත.ඇයට වඩා සුන්දර පවුල් ජීවිතයක් ඇති බව පැරණි පෙම්වතාට පෙන්වන්නටත් ඇගේ ආදරය සමාජ මාධ්‍යයන් තුළ වඩා උත්කර්ෂවත් කරන්නටත් භාවනාට ඕනෑ විය.නමුත් දැන් එය කල් දමන්නට සකුණ සැරසේ.
“ඔයාලා මහ කොන්ද පණ නැති මිනිස්සු සකුණ.මට ඇත්තටම හිතෙනව මේක කල් දාන්න නෙවේ නවත්තන්න.”
ඇය කළකිරීම මුසු හඬක් මවා ගත්තේ සකුණ බියපත් කරන්නට ය.නමුත් ඔහු නොසෙල්වෙන බැල්මකින් ඇය දෙස බැලුවේ ය.
“ඔයාට මාව නුසුදුසු බව හිතෙන ඕනම වෙලාවක අපිට වෙන් වෙන්න පුලුවන් භාවනා.බලහත්කාරෙන් හදා ගන්න බැඳීම් ඇත්තටම වේදනාවක්..”
ඔහු එතරම් සරලව තමන් අතැර දමතැයි භාවනා සිතා තිබුණේ නැත.නමුත් සකුණ සමාව අයදිමින් හෝ ඇය අවශ්‍ය බව කියමින් ආයාචනා නොකිරීමත් කාව්‍යා රැගෙන මාලිකා සමඟ වෛද්‍යවරිය වෙත නික්මීමත් තමන්ට තද පහරක් බව භාවනාට දැනිණ.ලෝකයේ මිනිසුන් ආසා කරන තරමට ඇගේ ආදරය වර්ණවත් නොවේ.එහි සංකාව ද අවිනිශ්චිතතාවය ද ඇති බව දන්නේ ඇය පමණකි.
“මට හිතෙනව පුතේ කාව්‍යා අරන් එයාගෙ ගෙදරට යන්න.”
වෛද්‍යවරිය වෙත කාව්‍යා යොමු කර ඇය පිටතට එනතුරු රැඳී හිඳින මොහොතේ මාලිකා සකුණට පැවසුවේ දුක්බර හඬකිනි.සකුණ සුසුමක් හෙළුවේ ය.
“භාවනා ගෙදර ඉන්නෙත් නෑ එතකොට.යාලුවෙක්ගෙ ගෙදර හරි කොහෙහරි යයි.ඒත් මට මේ දරුව ගැන බයයි.මෙච්චර පෑරෙන්න ගිහින් මානසික රෝහලේ නවත්තන්න වෙයි..”
කාව්‍යා ගොඩ නැගෙමින් හිඳියදි පවා ඇය බිඳ දමන්නට භාවනාට මොහොතකින් හැකි වීම ගැන සකුණට දැනෙන්නේ ද වේදනාවකි.එය කිසිවෙකුටත් නොකළ යුතු නිහීන ක්‍රියාවකි.නමුත් එවැන්නක් තම සහෝදරියට කරන්නට තරම් භාවනා හිත හදා ගන්නේ කෙසේදැයි සකුණ සිතුවේ ය.
“අක්කට තියෙන ආදරේ ගැනයි, අක්කා ආයේ ගොඩ නගන්න එයා කරන දේවලුයි ගැන භාවනා පිට මිනිස්සුන්ට කියන දේවල් එයාගේ හිතේ ඇත්තටම නැති එකනෙ අම්මා අවුල.ලෝකෙට එයා තරම් හොඳ දුවෙකුත් නෑ, අක්කෙකුත් නෑ,ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නෑ.නමුත් අපි අපි තමයි ඇත්ත දන්නෙ.”
නොකියා හිඳින්නට නොහැකි කතාවක් සකුණගේ මුවින් පිට විය.එය දරුණු කතාවක් බව ඔහු දනියි.නමුත් එය මාලිකා ද හොඳින් දන්නා බව ද ඔහුට සැකයක් නොවේ.
“කාව්‍යාට හැමදාම ඔහොම ඉන්න බෑ.සෙනුර අමතක කරා නොකළා ඒ වේදනාවෙන් එයා උඩට එන්න ඕන තමයි.ඒත් අම්මා ඒකට අපි එයාට උදව් කරන්න ඕනනෙ.එයා පොඩ්ඩක් උඩට එනකොටම ආපහු භාවනා එයාව අගාධෙට තල්ලු කරනව..”
කාව්‍යා ළමා කාලයේදී ද යොවුන් වියේදී ද භාවනාගේ නොපනත්කම් දරා ගත් බව සකුණ එසේ කියද්දී මාලිකාට සිහි විය.නමුත් දැන් ගැටළුව එකල සිටි සියල්ල සිනාවකින් දරා ගත් කාව්‍යා තවදුරටත් නොසිටීම ය.ඇය දැන් බිඳ වැටුණු ගැහැනියකි.නංගිගේ අකටයුතුකම් සිනාවකින් දරාගත් ප්‍රීතිමත් දැරිය ද ශක්තිමත් යෞවනිය ද අතීතයට එක්ව අවසන් බව මාලිකා සිතුවේ දෙකොපුල මත කඳුලක් රූරා යද්දී ය.හිතුවක්කාර දියණියක ද බිඳ වැටුණු දියණියක ද දරා හිඳින්නට තරම් තමන් සවිමත් නැතැයි මාලිකාට සිතිණ.මව්වත් ඔටුන්න බර වැඩ් බව සිතෙද්දී ඇගේ කඳුළේ වේගය ඉක්මන් වෙමින් තිබිණ.