රිදුණු තටු පිරිමදිමි – 09

තරුවක් දෙකක් අහසේ තැන් තැන් වල පායා දිළිසෙමින් තිබිණ. තරු පිරි අහස ඝණ වලා වියනකින් වැසීම නිසා ඒවායේ එළිය පොළාව මත සිටින මිනිස් ඇස් කරා ළඟා වීම වැළකෙන්නට ඇත. පරිසර උෂ්ණත්වය මඳකින් වැඩි වී තිබි නිසා ම නොව, හරියට ම කුමක් දැයි කියන්නට නො දන්නා හේතුවක් හින්දා සන්තුෂී සඳැල්ලට විත් මඳක් පමා වෙමින් සිටියා ය. ගස් වැල් වුව සෙලවෙන්නේ නැති තරමට වායු ගෝලය නිසල ව තිබිණි. ගෙවත්තේ අඩඳුරු විදුලි පහන් එළි වලට ඈත් මෑත් වෙමින් කණමැදිරි එළි කිහිපයක් පා වෙන්නට විය. සන්තුෂී ගේ දෑස් මඳ දුරක් ඔවුන් පස්සේ දිව ගියේ ය.

 හදවතේ ඇති ව තිබූ මහා රික්තයක් පුරවමින් සිතිවිලි සේනාවක් ඒ වෙත හමා එමින් තිබිණ. කාලයක් ඇය ඒ හිස් තැනට බෙහෙවින් බිය වූවා ය. හදවතේ හිස් තැන් වලට යකුන් පෙර්තයන් රිංගනවායි කතාවක් තප්ති විසින් නිතර ම කියන්නට යෙදුණු නිසා ය. එබැවින් ඕ සිය හද දොරටු වසා අගුළු ලා ඉන්නට පුරුදු ව සිටියා ය. නමුත් එය දනවන්නේ හුස්ම හිර කරන්නා වූ පීඩනයකි. හද දොරටු හැර දමනා එක පහසු බව කාලයත් සමග සන්තුෂී තේරුම් ගත්තා ය. යකුන්ට පෙරේතයන්ට කෙසේ වතුදු මල් සුවඳට, සඳ එළියට, පොද වැස්සට හෝ මඳ පවනට වුව එතකොට හද තුළට රිංගා එන්න පහසු ය. හිස් තැන් පුරවන්නට යකුන් පෙරේතයන් හෝ මිනිසුන් ම උවමනා නැත. සොබා දහමේ නීතිය නම් වැඩි තැනක සිට අඩු තැන කරා දේවල් ගමන් කරන්නට සැලැස්වීමයි. වැඩි තැනින් අඩු තැන වෙත සොබා දහම විසින් එවන්නේ අපට අවැසි දේවල් ය. අප බලාපොරොත්තු වන දේවල් ය. ආදරය ඕනේ නම් යකුන් පෙරේතයන් ළඟ ආදරය නොවන බව දැන හැඳින ඉන්නට තරම් අප බුද්ධිමත් විය යුතු ය. ඇයට ඕනේ සතුට යයි සන්තුෂී නිරන්තර සිතුවා ය. ඒ සතුට ළඟා කර ගත හැකි මාර්ග ගැන ඇය සවිඥානක වූවා ය. ඇතැම් විට එන තුරු මග බලා සිටිය නො හැකි නම් ඇය පෙර ගමන් ගොස් ඇයට අවැසි දේ පිළිගත්තා ය. රූපලාවන්‍යාගාරයයක් ගැන අදහස ද එසේ ය. 

විශ්වයේ හැම තැනක ම සතුට ඉහිරී තියේ. ඇහිඳ ගැනීම තම තම නැණ පමණින් සිදු විය යුත්තකි.

“ඔයා එයාලට කතා කරන්න යන්න එපා. ඒකෙන් ඔයාට ලැබෙන්නෙ චෝදනාවකුයි නරක නමකුයි විතරයි”

ඇය වින්දි ට හෝ සදෙව්මා ට කතා කරන්න ද කියා රූපලාවන්‍යාගාරයේ දී අංජන ගෙන් විමසූ වෙලේ ඔහු කල්පනාකාරීව කීවේ ය. අංජන ට තියෙන්නේ පෞරුෂවත් පිරිමි හඬකැයි සන්තුෂී ට සිතුණේ ඒ වෙලාවේ ය. 

කල්ප තවමත් පැමිණ නැත. සන්තුෂී උඩු මහලේ කාමරයට ආවේ මේසය ට ඔහු ගේ රෑ කෑම බෙදා තබා ය. දැන් නම් ඔහු එන්නේ රෑ කෑම පිටතින් ගෙන යයි සිතන්නට හේතු සාධක තිබේ. එය වූ කලී කාලයක් තිස්සේ ලද අත්දැකීම් මත ජීවිතයකට ලැබෙන්නා වූ ඉවකි. ඉස්සර නම් කෑම ඉවත දැමීම ගැන සන්තුෂී විස්සෝප වූවා ය. දැන් ඇයට එහි ගාණක් නැත. ජීවත් වීම කියන්නේ පුරුදු වීමකි. හැඩ ගැසීමකි. අනුවර්තනයකි.

සඳැල්ලේ වේවැල් පුටුවක හිඳ දෙපා හකුලා පුටුව මතට ගෙන ගුලි වූ ඕ, කුඩා වේවැල් ස්ටූල් එක මත වූ ජංගම දුරකතනය නිකමට අතට ගත්තා ය. ගැලරිය විවර කර ඡායාරූප අතරේ නෙතු දිවවූ ඕ සදෙව්මා නීලවතුර ගේ රුව මත දෑස් නතර වෙන්නට හැරියා ය. අවාසනාවන්ත දැරිය! තාත්තා ගේ ආදරය ඔහු ජීවත් ව සිටියදීත් අහිමි කර ගන්නට තරම් අවාසනාවන්ත වූ දැරිය!

අංජන මේ මොහොතේත් ඒ දරුණු ශෝක සාගරයේ චණ්ඩ සිතිවිලි රළ සමග පොරබදමින් සිටිනවා ඇතැයි සිතෙත්දී සන්තුෂී ඔහු ගේ දුරකතනය අංකනය කොට හමාර ය. 

“ද නම්බර් යූ ඩයල්ඩ් ඉස් බිසී රයිට් නව්…”

ඇය යටි තොල සපා ගෙන දුරකතනය පසෙකින් තැබුවේ මඳහස ඇගෙන් ම සඟවා ලමිනි.

අංජන ඒ මොහොතේ හිටියේ දුරකතනයෙන් සන්තුෂී ව සම්බන්ධ කර ගන්නට උත්සාහයක් ගනිමිනි. ඔහු ට  ලද හැකි වූයේ ද දුරකතන සේවා සපයන්නා වෙතින් සන්තුෂී ට ලැබුණ පණිවිඩය ම ය. 

අංජන ගේ මුහුණට ද මඳහසක් ආවේ ය. ඔහු ඒ මඳහසින් ම ගෙදොරින් මිදුලට බසිනා පඩියක් මතින් හිඳ ගත්තේ ය. සන්තුෂී දුටු තරු කිහිපය මේ අහසේත් පායා තිබේ.

සන්තුෂී සඳැල්ලට පිවිසෙන දොර වසා ගෙන විත් යහනට වැටුණා ය. ඊළගට තප්ති ට ඇමතුමක් ගෙන සදෙව්මා හා වින්දි ගැන විස්තර කීවා ය.

“පිස්සුද තො ට…ඒ ගෑනි තමුසෙව අච්චාරු දාන්න ගනී. අනුංගෙ මගුල් වලට අත දාන්න නොයා ඉන්නව. තමන්ගෙ මිනිහට දරුවව බලන්න දෙන්නෙ නෑ කියන්නෙ…ඒ මනුස්සයගෙ හිතේ මොන වගේ දෙයක්ද ඇත්තෙ…හරි තමන්ගෙ මිනිහ මොන වැරැද්ද හරි කළා කියමුකො…ඒ වුණත් අම්ම කෙනෙක් තමංගෙ දරුව තාත්ත එක්ක සම්බන්ධකං තියා ගන්න එක වලක්කනවද…එහෙම කෙනෙක්ට තමුසෙ වගේ සමාජ සේවයට ලෑස්ති වෙන අයව පේන විදිහ මට හිතා ගන්න පුළුවන්. අහගන්න පුළුවන් වෙයි ජීවිතේට අමතක කරන්න බැරි වෙන කතා ටිකක්”

තප්ති සිනහ වූවා ය. සන්තුෂී දෙතොල් උල් කොට සිය නොමනාපය පළ කළා ය.

“මනුස්සයෙක්ට උදව්වක් කරන්න බැරි රටක්නෙ මේක”

“අයිලන්ඩ් මෙන්ටලිටි කියන එක එහෙම තමයිනෙ. වැඩිය ඕන්නෑ ගේ ඇතුළෙන්ම පටන් අරං හිතනවකො..අංජන එක්ක සෙට් වෙලා ඔයා ඔහොම ප්‍රොජෙක්ට් එකකට අත ගහලයි කියල දැන ගත්ත දවසට තමයි කල්ප මේ ලෝකෙ ඉන්න ශුද්දවන්තම මිනිහ වෙන්නෙ. ඒ වගේම ඔයා ලෝකෙ ඉන්න නරකම ගෑනි වෙන්නෙ. කිසි මනුස්සයෙක් අපේ පපුව දිග ඇරල බලන්නෙ නෑ සන්තු. පිටින් පේන දේට ජරා අර්ථකතන ටිකක් දීල තමුන්ට ඕන හැටියට ඒ ගැන හිතනව කතා කරනව මිසක්”

“මං දැන් ලෝකෙ මිනිස්සුන්ටනං බය නෑ”

“මං ඔයාව දන්නව. ඕන දෙයක් කරන්න සන්තු…ඔයා සේෆ් කියල හිතන්න පුළුවන් සීමාවක් ඇතුළෙ. අවුරුදු ගාණක්ම ඔයා වින්ද දුක අපි දෙන්නම හොඳට දන්නවනෙ. හැබැයි ඒ දුක් දීපු මිනිස්සුන්ව ලෝකෙ ඉස්සරහ සුදනො කරන්න ඕන නෑ අපි. අනිත් එක කිරි කළයක් දොවල දොවල එක ගොම බින්දුවක් දාන්න ඕන නෑනෙ. නිකං බොරුවට පදයක් හදා ගන්න එපා”

ඒ කතා බහ නිමා වූයේ සැලකිය යුතු වෙලාවකට පස්සේ ය. කොයි වෙලාවේ කොතැනකදී කතා කළත් දෙමිතුරියන්ට පැය ගණනක් කියවන්නට මාතෘකා නිර්මාණය වේ. දියණියගෙන් ඇමතුමක් නො ආවේ වී නම් සන්තුෂී තවත් මිතුරිය සමග සංවාදයේ යෙදී ඉන්නට තිබිණි. 

“තාත්තිටත් කෝල් එකක් ගන්න පුතේ”

ඒ සුව දුක් විමසීමේ කතා බහ අවසන සන්තුෂී දියණිය වෙත සිහිපත් කළා ය. ඒ වෙලාවේ ඇගේ හිතේ හිටියේ අංජන ය.

ඔහු ඒ රැයේ කිහිප විටක් සන්තුෂී ට කතා කිරීමේ උත්සාහයක් ගත්තේ ය. නමුත් ඇගේ දුරකතනය එහැම විටෙක ම කාර්ය බහුල වූයේ ය.

ඒ තරම් උනන්දුවෙන් ගැහැනියක හා කතා කිරීමේ සිතිවිල්ලක් මතක කාලයක අංජන ට දැනී ම නැත. වින්දි ගේ හැසිරීම් ඔහු ට කාන්තාවන් එපා කොට තිබිණ. අඩු තරමින් සදෙව්මා හෝ සංවේදී ගෑනු ළමයෙකු ලෙස නො හැදෙන්නේ මන්ද යන පැනය ද ඇතැම් අවස්ථා වල ඔහු ගේ හිතේ හිස එසෙව්වේ ය. නමුත් සදෙව්මා කෙරේ වන දාරක ස්නේහය තුනී කරන්නට ඒ කිසිදු සිතිවිල්ලක් සමත් වූයේ නැත. සන්තුෂී ඔහු ට විශේෂ වන්නේත් සදෙව්මා නිසාම ය. ඔහු ට අහිමි වෙන්නට යන දියණිය ගේ ලෝකය යළි ඔහු වෙත සමීප කරවීමේ අවංක හැඟීමක් ඇති ගැහැනියක ලෙස අංජන ට ඇය දැනිණ. 

කොයි තරම් වාර ගණනක් අංජන නීලවතුර සිය දුරකතනයට අමතා ඇත්ද යන පණිවිඩය සන්තුෂී දුටුවේ උදයේ ය. රියට නැගෙනා ගමන් ඇමතුම ගෙන ඇය හෑන්ඩ්ස් ෆ්‍රී ක්‍රියාත්මක කළා ය. 

“ගුඩ් මෝනිං”

කාර්යාල මේසය ළඟ වාඩි වී උන් තරුණයා වහා නැගිටිමින් ඇමතුමට සම්බන්ධ වූයේ ය. ඔහු හිඳ උන් පුටුව ඒ නැගිට ගත් රිද්මයේ වූ වේගයට කැරකී ගිය අතර, අංජන එක අතක් කලිසම් සාක්කුවක ඔබා ගන්නා ගමන් වාං දමන්නට අවසර නැති මඳහස් වතකින් විසල් වීදුරු ජනේලය ළඟට ගියේ ය.

“ගුඩ් මෝනිං අංජන. අනේ ඔයා ඊයෙ කීප සැරයක්ම කතා කරන්න ට්‍රයි කරල තියෙනව. මොකක් හරි ගුඩ් නිවුස් එකක්ද…”

ඇගේ හඬේ උද්‍යෝගීමත් බවක් විය. ඔවුන් දෙදෙනා එක්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට යන සැටියක් ඒ උණුහුම තුළ වන සෙයක් දෙදෙනාට ම දැනිණ.

“අනේ නෑ. එහෙම දෙයක් නෙවේ. ඔයාට තෑන්ක් කරන්න ඕන කියල හිතුන නිසයි කතා කළේ”

“මං දිග කෝල්ස් කීපෙකම හිටිය. මං හිතන්නෙ ඒ වෙලාවෙ ඔයා ගන්න ඇත්තෙ. තෑන්ක් කරන්න කිව්වෙ…”

“ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙන්නයි බලන්නෙ. දුව එක්ක කතා කරන්න මට චාන්ස් එකක් අරං දෙන්න ඔයා අවංකවම දෙයක් කරන්න හදනව කියල දැනුණ එකම…මට මාර දෙයක්. තෑන්ක් යූ සන්තුෂී”

“ඩෝන්ට් මෙන්ශන්. තාත්ත නැති වෙච්ච දවසෙ දැනුණ ශොක් එක තාමත් වෙනස් නොවී මගෙ හිතේ තියෙනව. තාත්ත හිටියනං මට මෙහෙම වෙන එකක් නෑ නේද කියල හිතෙන සමහර වෙලා වල කාමරේ දොර ලොක් කරගෙන ඉකි ගගහ මං අඬනව. ඇයි මට තාත්ත නැති වුණේ කියල හිතෙද්දි…ඇයි මට තාත්තව බේර ගන්න බැරි වුණේ කියල හිතෙද්දි…මේ වෙනකල් හිටියනං තාත්තට මට කළාට වැඩි දෙයක් කරන්න තිබුණා නේද කියල මතක් වෙද්දි…මැරෙන්න හිතෙනව අංජන. ඒ දුක වෙන කිසි දුකකට සමාන කරන්න බෑ. තාත්ත කියන ෆීලින් එක…ගෑනු ළමයෙක්ට වෙන කිසි දේකට සම කරන්න බෑ. තාත්ත කියන කෙනා…සමාන කරන්න තියා වෙන කිසි කෙනෙක් එක්ක කම්පෙයා කරන්නවත් බෑ. තාත්ත  කියන්නෙ කවදාවත් ලියන්න බැරි කවියක්…තාත්ත කියන්නෙ ලියල ඉවර කරන්න බැරි පොතක්. තාත්ත කියන්නෙ තාත්තට මිස වෙන කිසි කෙනෙක්ට නෙවේ. තාත්ත නැති අඩුව දැනෙන එක… මැරෙන මොහොත වෙනකල්ම ඒක එහෙමම තියෙයි. ඒත් කවදාවත් තාත්ත මැරුන්නෑ අංජන…එයා මගෙ හිත ඇතුළෙ ඉන්නව. ජීවත් වෙනව. හුස්ම ගන්නව..එයා නැති වෙලා අවුරුදු කීයක් ගත වෙලා තිබුණත්…වයසට නොයා ඒ විදිහටම එයා මං ළඟ ඉන්නව”

සන්තුෂී නාසය උඩට ඇද්දා ය. මුළු උගුර ම රිදෙමින් ද ශ්වසන පද්ධතිය අවහිර වී  ද තිබිණ. කම්මුල් තෙතබරිත වී ඇති බවක් ඇයට දැනුණේ හෝ නැත. ඩෑශ් බෝඩ් එක මත වූ ටිශූ බොක්ස් එකෙන් ටිශූ එකක් ඇද ගත් ඕ නාසයත් මුහුණත් පිස ගත්තා ය. ඇස් දෙක ලා රත් පැහැයකට හැරී ඇති සැටියක් එක මොහොතකට ඇය රියේ ඉදිරි කැඩපතින් දුටුවා ය. 

“සන්..තුෂී…”

ඔහු සවන ළඟ සෙත් පිරිතක් වාගේ ඒ නම මිමිණු බවක් ඇය ට දැනිණ.

“දුවෙක් ඉස්සෙල්ලම පැරදෙන්නෙ තාත්ත නැති වෙන වෙලාවෙ. ඔයාගෙ දුව තාම ඒක දන්නෑ. එයා පොඩියිනෙ. එයාල තනියම හිතන්නෑ…ලොකු අය ඔළු වලට දාන දේවල් වලින් තමයි හිතන්නෙ. ඒකයි මට එයාට කියන්න ඕන වුණේ…එයාගෙ ජීවිතේ ලොකුම ආරක්ෂාවක් දැනෙන දවස් ටික බොරුවට අඩු කර ගන්න එපා කියල”

ඇය යටි තොල සපා ගත්තා ය. හිත අස්සේ හැමදාමත් හිර වෙමින් ද දුක් දෙමින් ද තිබි කතාවක් වචන බවට පෙරලා ගන්නට අංජන නීලවතුර කියන නන්නාඳුනන මිනිසාව ම තෝරා ගත්තේ ඇයි කියා සන්තුෂී දැන සිටියේ නැත. වක්කඩ කැඩුවා සේ හිත මුළුමනින් ගලා ගිය බව පමණක් ඇය දැන සිටියා ය. 

“මං ඔයාට පස්සෙ රිං කරන්නං”

කියමින් ඇය එතැනින් ම ඒ දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. ඊට පස්සේ තිබුණේ ශ්වසන මාර්ගයේ වූ ශ්ලේශ්මල අවහිරය ඉවත් කොට එය  යථාවත් කිරීමේ වාරයයි. කඳුළු ටිකක් වැටීම නිසා මුහුණේ තැවරූ ආලේපන වලට යම් හානියක් සිදු ව ඇති බව සන්තුෂී ට දැනිණ. 

“ඇත්තටම මං ඒ දුක වහං ඉන්නෙ මේක් අප් වලින් තාත්තෙ. මේ ජීවිතේ මොන තරං හිස් ද කියල ඔයා දන්නව තාත්තෙ”

නැවතත් ඇගේ දෙතොල් ඇද වී හැඬුමකට ඇස් බොඳ විය. සන්තුෂී වේගවත් ඇස් පිය ගසා කඳුළු පළවා හැරියේ අනතුරකට ඉඩ නො තැබිය යුතු බව හදිසියේ ම සිහි වූ නිසාවෙනි. අංජන වාගේ පිටස්තරයෙකු ඉදිරියේ ඒ තරම් හැඟීම්බර නොවී ඉන්නට තිබුණා නේදැයි ඊළඟ මොහොතේ ඕ තැවුණා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles