මාලිකාගේ කල්පනාවට බාධා වූයේ දොර සීනුව වැදෙන හඬ ය.සකුණ හිනැහෙමින් දොරකඩ හුන්නේ ය.ඔහු හදිසියේ දැකීමම හදවතට සහනයක් වීම ගැන සිතමින් මාලිකා ඔහුව පිළි ගත්තා ය.
“අම්මා තාම උදේට උයල නෑ නේද? මං මොනවහරි ගේන්නම්..”
සකුණ අසයි.මාලිකා ඔහු දෙස බැලුවේ සෙනෙහසිනි.සෙනුර ද තමන් ගැන ඒ තරමට විමසිලිමත් වූ අන්දම ඇයට මතක ය.
“මං ඉව්ව පුතේ.කාව්‍යා නැගිටිනකම් කන්නෙ නැතුව බලන් හිටියෙ..”
මාලිකා දැන් ඇදී ගොස් ඇති බව සකුණ සිතුවේ ය.ඈ ඉතා ලස්සන අම්මා කෙනෙකි.ඔසරියකින් සැරසී කොන්ඩා කරලක් ගොතා මාලිකා පාසල් රැස්වීම්වලට ආ අතීතය සකුණ සිහි කළේ ය.
“කාව්‍යාගෙ අම්මා හරීම ලස්සනයි.මීනා කුමාරි වගේ.”
කෙල්ලන් කාව්‍යාට කියන්නේ ඊර්ෂ්‍යාව මුසු හඬකිනි.කාව්‍යා සන්තෝසයෙන් දෙකම්මුල් රතු කරගන්නා අන්දම සකුණට තවම අමතකව නොයයි.”ඒකනෙ ඉතිං අපේ කාව්‍යාත් ලස්සන.” එසේ කියන්නට සිතූ නමුත් නොකියා සිටි දවස් ඔහු සිහි කළේ ය.ඒ සැහැල්ලු අතීතය හිමි වන්නේ නම් යැයි සිතුණු දවස් අප්‍රමාණ ය.වයසින් වැඩීම කියන්නේ නිමක් නැති ගැටළු හිසෙහි පිරී යාම නොවේදැයි සකුණ සිතුවේ ය.
“පුතේ, කාලා ඉමු..”
මාලිකා වහවහා කෑම මේසය සූදානම් කළා ය.සකුණ අද නිවාඩු ගත් බවත් කාව්‍යාට හවස් යාමයේ වෛද්‍යවරිය මුණ ගැසෙන්නට ඇති නිසා එයට පැමිණීමට හැකි බවත් ඔහු පැවසුවේ ආහාර ගන්නා අතර ය.
“තව කී කාලයක් ඔහොම බෙහෙත් බොන්න වෙයිද කියලයි මං හිතුවෙ පුතේ..”
ජීවිතයේ අරමුණු ද සිහින ද වෙත ගැටලුවකින් තොරව ඇවිද ආ කාව්‍යා සෑම මොහොතක්ම ගෙවූයේ සතුටිනි.ඇගේ ජීවිතය එක්තරා මොහොතක හදිසියේ පුපුරා යන තුරුම ඈට වූ එකම කඩා වැටීම තාත්තාගේ වියෝව පමණි.ඒ වියෝව දරා ගන්නට කාව්‍යාට හැකි වූයේ ඇය ඒ වනවිටත් තාත්තා ඈ ගැන මැවූ සිහින බොහොමයක් ඉටු කළ නිසා ය.සෙනුර යන්නට ගියේ හදිසියේ ය.එය කාව්‍යාගේ බලාපොරොත්තු විරහිත කළ ඈ ඇය තුළම අතරමං කළ නික්මීමකි.ඒ වේදනාවෙන් ඇයට විනිර්මුක්ත වන්නට ඉඩ හැරීම කාලය විසින් සිදු කළ යුතුම ය.
“සේරම හරියයි අම්මේ.අපි එයාව එතකන් බලා ගමුකො..”
සකුණ එසේ කියා මාලිකාගේ මුහුණ දෙස මොහොතක් බලා සිටියේ ය.ඊයේ සෙනුරගේ අම්මා සමඟ කතා කළ තරම් පහසුවෙන් කාව්‍යා සම්බන්ධ අදහස මාලිකාට හෙළි කරන්නට ඔහුට නොහැකි ය.
“මට ඊයේ සෙනුරලගෙ අම්මා කතා කරා පුතෙ..”
අම්මලාට දරුවන්ව ඉවෙන් මෙන් දැනේ.සකුණ කියන්නට සූදානම් වන දෙය වටහා ගත් මාලිකා කතා කළේ නැවතිල්ලේ ය.සකුණ ඈ දෙස බැලුවේ තිගැස්මෙනි.
“පද්මිනි අක්කට නම් සතුටුයි.මට ඒ යෝජනාවට එහෙම එකපාර සතුටු වෙන්න බෑ පුතේ..”
මාලිකා එසේ කියද්දී සෙනුර වඩවඩාත් තිගැස්සී ගියේ ය.
“ඔව්.මට තේරෙනව අම්මෙ.මට භාවනා එක්ක සම්බන්දයක් තිබ්බ.මං කාව්‍යා ගැන අම්මගෙන් අහන එක ඒ නිසා හරි වැරදියි.ඒත් අම්මෙ මේ වෙලාවෙ මට මගෙ හිතට අවංක වෙන්නෝනෙ.”
සකුණ සෘජුව අදහස් ප්‍රකාශ කිරීම ගැන මාලිකාට දැනුණේ සතුටකි.කොහොමටත් ඈ සකුණව දන්නේ කුඩා දරුවෙකු කාලයේ සිට ය.ආටෝප නැති ඔහු වංක ලෙස කතා නොකරන තරුණයෙකු බව ඇය දන්නී ය.
“භාවනා කසාද බැන්දත් එයාගෙ සම්බන්දකම් ගැන මං ලොකුවට ඔලුවට ගන් නෑ පුතේ.එයා මං ගැන තාත්තා ගැන උනත් එළියේ කියන දේවල් එයාගෙ හිතේ ඇත්තටම නෑ.අනික පුතේ ඔයා ඔයාට ගැලපෙනම කෙනා හිතට අවංකව තෝරා ගත්තෙ භාවනාව කසාද බැන්දට පස්සෙ නෙවෙයිනෙ.අක්කයි නංගියි දෙන්නම රැවැට්ටුවත් නෙවෙයි.කොහොමටත් භාවනා මැරේජ් එක හදිසි කරාට ඔයාලා කසාද බඳින්න තරම් කාලයක් ආස්සරේ කරෙත් නෑනෙ .”
කාව්‍යාගේ අම්මා එසේ පවසද්දී සකුණ සැනසිලිදායක සුසුමක් හෙළී ය.අක්කා ද නංගී ද රැවටීමට තැත් දරන්නෙකු ලෙස ඈ ඔහු දෙස නොබලන්නේනම් සකුණට අනෙත් කාරණා ගැටලු නොවේ.
“පුතාගෙ ගෙදර අය මේකට විරුද්ධ වෙනවමයි.කාව්‍යා ඔයාගෙ වයස උනාට එයා කසාද බැඳලා මහත්තයා නැති උනු ගෑනියෙක්.පුතා බැඳපු මනුස්සයෙක් නෙවෙයිනෙ.අනිත් එක කාව්‍යා ඩිවෝස් වුණත් නෙවෙයි පුතේ.සෙනුර නැති වුණා..”
මාලිකාගේ හඬ සෝකයෙන් පිරී ඇත.සකුණ ඇය දෙස සෙනෙහසින් බලා සිටියේ ය.
“කාව්‍යා දික්කසාද නඩුවක විත්තිකාරි වෙලා අයින් උනානම් තමයි අම්මෙ අපේ අම්මල එයාට අකමැති වෙන්න ඕන.මගෙ අනාගතේට බය වෙන්න ඕන.ඒත් අම්මේ කාව්‍යා කියන්නේ අහිමිවීමකට ලක් වෙච්ච කෙනෙක් විතරයි.එයා ආදරේ කරන්න දන්න කෙනෙක්,ආදරෙන් ඉන්න දන්න කෙනෙක්.මට එයා එක්ක හොඳින් ඉන්න පුලුවන් අම්මේ,කාව්‍යා මාත් එක්ක ජීවිතේ බෙදා ගන්න කැමති නම්..”
එසේ කී සකුණ මොහොතක් නිහඬව හුන්නේ ය.ඔහුට මේ සම්බන්ධයෙන් ඇත්තේ එකම ගැටලුවකි.
“අම්මේ,මට මෙතන තියෙන්නේ ඒ ප්‍රශ්නෙ නෙවෙයි.මට තියන එකම ප්‍රශ්නෙ කාව්‍යා.එයා මේකට කැමති වෙයිද කියන එක..එයාට කැමති වෙන්න ඕනෑම කාලයක් දෙන්න මට පුලුවන්.ඒත් මට අවිශ්වාස එයා කිසිම දවසක කැමති නොවෙයිද කියලා..”
කතාව එතැනින් එහා දිගු කරන්නට නොහැකි වූයේ කාව්‍යා පහත මාලයට ආ නිසා ය.කාව්‍යා කෑම මේසයෙන් හිඳ ගනිද්දී ඈ මේ කතාව අසා සිටියාදැයි සැකයක් අම්මාට ඇති විය.නමුත් කාව්‍යා එවැන්නියක නොවේ.භාවනා නම් එවැනි දෑ කරන්නට හපනියකි.කාව්‍යාට මේ කතාබහ ඇසුණානම් ඈ සෘජුව ඒ ගැන විමසන බව අම්මා,මාලිකා සිතුවා ය.
“බඩගිනී අම්මා..”
කාව්‍යා එසේ කියද්දී අම්මා ඇයට තේ හදන්නට නැගිට්ටා ය.
“උදේ දහයයි.පොඩි එකා වගේ කිරි නොබී බත් කන්න.අම්මා උදේම උයලා.”
සකුණ එසේ කියමින් පිඟානකට බත් බෙදන්නට පටන් ගත්තේ ය.බෙහෙත් වර්ග කිහිපයක්ම ඇඟට වැටෙන හන්දා ඇය හොඳින් ආහාර ගත යුතු බව සකුණ දැන සිටියේ ය.
වාහනයක හඬ ඇසුණේ ඒ මොහොතේ ය.
“කවුද මේ වෙලාවෙ? තේ හදන්නට ගිය අම්මා සාලය හරහා ඇවිදගෙන බරාඳයට ගියේ කුතුහලයෙනි.