“හෙලෝ ආන්ටි..කොහොමද?”
දොරකඩ සිටියේ භාතිය ය.ඔහුගේ පැමිණීම ගැන කාව්‍යාගේ අම්මාට ඇති වූයේ කෝපයකි.භාවනාගේ මිතුරෙකු වුවත් ඔහු මෙහි පැමිණීම ඇයට නුරුස්නා හැඟීමක් ගෙන ආයේ ය.
“භාවනා ගෙදර නෑනෙ.”
දරුවන්ගේ මිතුරන්ට කටපුරා දුව පුතා කියන අම්මා භාතිය ඇමතූයේ ආමන්ත්‍රණයක් රහිතව ය.භාතිය ඇගේ අවසරයකින් තොරවම බරාඳයේ අසුන් ගත්තේ ය.
“මං ආවේ ආන්ටිව මුණ ගැහෙන්න..”
ඔහු එසේ කියා මාලිකාගේ මුහුණ දෙස බැලී ය.මාලිකා ඔහු දෙස බැලුවේ කුතුහලයෙනි.
“මං පණිවිඩයක් එව්වා ආන්ටි, භාවනා කිව්වද?” ඔහු අසයි.නොදන්නා මිනිසුන්ගේ පණිවිඩ වලින් තමන්ට ඇති කාරියක් නැතැයි නොකියා මාලිකා ඉවසීමෙන් අසා සිටියා ය.
“ආන්ටිටයි භාවනාටයි දැන් කාව්‍යාව කරදරයක් වෙලා නේද තියෙන්නෙ? මං කැමතියි එයාව මැරි කරන්න..”
භාතිය එසේ කියද්දී ඔහුට බැන පන්නා ගන්නා තරමේ කෝපයකින් මාලිකා දැවෙන්නට පටන් ගත් අතර ඇය නිවස තුළට එබී බැලුවා ය.මේවා කාව්‍යාට ඇසෙන්නේ නම් ඈ නැවත රෝගී වීම සහතික ය.
“භාවනා ගැන නම් මම දන්නේ නෑ.අම්මා කෙනෙකුට දුවෙක් කරදරයක් වෙන් නෑනෙ..”
මාලිකා එසේ කියද්දී භාතිය උස් හඬින් හිනැහී ය.මේ හිනා හඬේ අයිතිකරු කවුදැයි බලන්නට කාව්‍යා පැමිණේදැයි සිතූ මාලිකා කරදර හැඟීමකින් ඔබ මොබ බැලුවා ය.ඇයට අවශ්‍ය මේ මිනිසාව පිටත් කර හරින්නට ය.
“කාව්‍යාගෙ හස්බන් නැති වෙලා කියන්නෙම එයා ආන්ටිට බරක් කියන එකනෙ ආන්ටි..හස්බන් මැරුණු ඩිවෝස් වුණු කෙල්ලො ගෙවල්වලට බරක් තමයි..”
මාලිකා භාතියගේ මුහුණ දෙස මඳ වෙලාවක් බලා සිටියා ය.ඇගේ මුව මත අපහාසාත්මක සිනාවක් ඇඳෙන අන්දම භාතියට පෙනිණ.
“භාතිය, ඔයා දික්කසාදෙක විත්තිය වෙලා නේද වයිෆ්ගෙන් අයින් උනේ.ඒ ළමයා ගෙදරට බරක් නම් ගෙදරට බරක් කළේ ඔයානෙ.එක ගෑනු දරුවෙක් ගෙදරට බරක් කරලා ඔයා මෙතන මට තියන කාව්‍යාගේ බර නැති කරන්න හදනව නම් ඒක විහිලුවක්නෙ.අනිත් එක පුතා, ජීවිතේ මොනමොන කඩා වැටිලි වුණත් දරුවන්ව දෙමව්පියන්ට බර නෑ.ඒ වගේමයි පිරිමියෙක් නැති උනා කියලා කෙල්ලෙක් කවදාවත් අසරණ වෙන්නෙත් නෑ.මොනම හේතුවකට හරි තනි වුණු ගෑනියෙක් අසරණයි කියල හිතන්න එපා.මලක් වගේ හැදුණු කෙල්ලන්ට පවා හරි හයිය එන්නේ ඊට පස්සේ..”
භාතිය වචන සොයා ගන්නට උත්සාහ කළේ ය.නමුත් ඔහුට කිසිම වචනයක් හමු නොවී ය.
“කාව්‍යා කසාද බඳියිද හැමදාම තනියම ඉඳියිද කියන්න මම දන්නේ නෑ.ඒත් එයා හයියට ජීවත් වෙන්න දන්නවා.භාතිය ආයේ එයා ගැන අහගෙන එයාට පිහිට වෙන්න එන්න ඕන නෑ..”
ඔහුට පිට වෙන්නැයි නොකියා මාලිකා පලා බෙදුවේ ය.භාතියට තවදුරටත් ඉවසීම අපහසු විණ.
“මට ගෑනු ළමයෙක් යාලු කරගන්න එක අමාරු වැඩක් නම් නෙවෙයි ආන්ටි.සමහරවිට හෙට අනිද්දට මාව බඳින්න කාව්‍යාම ඔයාගෙන් අවසර ඉල්ලන්න පුලුවන්…”
ඒ තර්ජනයකි.නමුත් ඉතා ඈත දවසක පාසල් සිසුවියකව හිඳියදීම සෙනුර ගැන කාව්‍යා තමන්ට පැවසූ අන්දම මාලිකා සිහි කළා ය.ඇයට ඇත්තේ එවැනි තේරීම් ය.සෙනුර වැනිම තරුණයෙකුට මිස භාතිය වැනි විච්චූරණකාරයෙකුට කාව්‍යා දිනා ගන්නට නොහැකි බව සිතමින් මාලිකා නිවසට තුළට ගියේ කෝපයෙනි.භාතිය පිටව ගියේ ඊට වඩා කෝපයකිනි.
“කවුද අම්මා?”
ආහාර ගනිමින් සිටි කාව්‍යා ඇසුවා ය.සැබෑව හෙළි කරන්නට අම්මාට සිතිණ.
“අර නංගිගෙ ඔෆිස් එකේ බාතිය..” එසේ කී මාලිකා මඳ වෙලාවකින් ඌණපූර්ණය එක් කළා ය.
“මඟුල් අහන්න ඇවිල්ලා..මං බැනල පැන්නුවා..”
කාව්‍යා අම්මා දෙස කුතුහලයෙන් බලා සිටියා ය.ඔහු තමන් ගැන අසන බව නංගී ද පැවසූ අන්දම කාව්‍යාට අමතක නොවේ.
“මං බැනල පන්න ගත්තා පුතේ..මොන විකාරයක් ද ඒ.”
මාලිකා එසේ කියද්දී සකුණ උස් හඬින් හිනැහෙන්නට ගත්තේ ය.
“එහෙම කරපු එකනම් වැරදි අම්මා.මනමාලි කැමති නම් එහෙම..”
සකුණගේ සිනාවට මාලිකා ද එක්වද්දී කාව්‍යා සකුණ දෙස බැලුවේ රැවීමකිනි.ඒ රැවීම සකුණගේ සිනාවේ වේගය වැඩි කළේ ය
“ඔව්.ඔය කියල ගියේ.මෙයාම තව සතියකින් දෙකකින් ඒකා ගැන මගෙන් අහයි කියල..”
මාලිකා එසේ කියද්දී කාව්‍යාට ද සිනාවක් උපන්නේ ය.
“අන්න එදාට තමයි මගෙන් කන්නෙ..මොන මෝඩයෙක්ද අම්මා ඒ..”
සකුණ හිනැහෙන හඬ පරයා කාව්‍යා අම්මාට පැවසී ය.
“අනිත් එක ඒ වගේ නරියෙක් නෙවේ..මං මොනතරම් හොඳ මනුස්සයෙක් ලැබුණත් ආයේ බඳින්නෑ අම්මා..”
කාව්‍යා ඉඳුල් පිඟාන ද රැගෙන නැගී සිටියේ එසේ කියමිනි.සකුණගේ සිනාව ක්ෂණයකින් නැවතී ගියේ ඇයිදැයි සිතමින් ඈ ඉඳුල් භාජන සෝදන්නට වූවා ය.
එයට හේතුව යැයි හදවත පවසන හේතුව පිළිගන්නට ඇගේ කැමැත්තක් වූයේ නැත.
“මට කාටවත් ආදරේ කරන්න හිත හදා ගන්න බෑ සකුණ.ආදරේ නැතුව ඔයාට ළං වෙලා ඔයාට රිද්දන්න මට කොහොමටවත් බෑ..”
ඇය එසේ සිතුවේ සේදෙන ඉඳුල් දෙස බලමිනි.තෙල් ඉඳුල් තරමට හදවතේ වේදනා සේදී නොයයි.ඒවා මැකී ගිය ද කැලැල් පහව යන්නේ නැත.කැළැල් සහිත හදවතක ආදරය නොවූවාට සකුණට යහපත් අනාගතයක් අයත් විය යුතු බව කාව්‍යා සිතුවා ය.