සුළි සුළඟක සුසුමක් – 20 වන කොටස

මම හදිසි තීරණයක් ගත්තෙමි. ඒ යළි ගුවන් විදුලි නාලිකාවේ වැඩට යන්නට ය. අම්මා මේ ගැන අතිශය ප්‍රීතියට පත් බවක් පෙනිණ.

“මොනා වුණත් උත්තරා මෝඩ ළමයෙක් නෙවෙයි කියල මං දන්නව”

ඕ තොමෝ ආඩම්බරයෙන් කීවා ය. නමුත් මා ගත් තීරණය ගැන අයියා ගේ බිරිඳ ප්‍රියංවදා අසහනයට පත් බවක් පෙනිණ.

“විකාර. බලාගෙන යනකොට ඔක්කොම සංදර්ශන නෙ. ටික කාලෙකට නාඩගමක් නටන්නෙ නැතුව අප්පච්චි ගෙ හත් දවසෙ දානෙං පස්සෙම උත්තරා වැඩට ගියා නං ඉවරනෙ”

ඇය කතා කළේ හිත් පිත් නැත්තියක සේ ය. සාමාන්‍යයෙන් මා මුල සිට ම ඇගේ කතා ගණන් ගත්තේ නැත. ඇගේ පිළිවෙත් කෙරේ අපැහැදීමක් මා තුළ වුණත් මම ඒ බවක් පෙන්වන්නට නො ගියෙමි. ඒ අයියා ගැන හිතා ය. අපේ සහෝදරකම් ගැන සිතා ය.

“මොන කෙහෙම්මල් සහෝදර කමක් ද…එයා ගෑනි කරන ඕන දෙයක් දිහා ගොනා වගේ බලං ඉන්නවනං”

අක්කා ප්‍රියංවදා හා අයියා යන දෙදෙනාව ම විවේචනය කළා ය.

“මං එහෙම මේ ගෙදර හිටියනං බලා ගන්න තිබුණා වෙන දේ”

කොහොමටත් මම අක්කා වාගේ ද නො වුණෙමි. මට නො ගැලපෙන කෙනෙකු වී නම් මා කළේ මුළුමනින් ම පසෙකට වෙන එක ය. සමීප ඇසුරකට නොයා ඉන්නා එක ය. නමුත් අක්කා අරගලයට සූදානම් ව උන් තැනැත්තියක් වූවා ය.

අක්කා හා අම්මා සේ ම අයියා ගේ වෙනසත් ප්‍රියංවදා ගේ අරමුණුත් මම ද හොඳින් දැන සිටියෙමි. නමුත් මා හැසිරුණේ එවන් කිසිත් නො දන්නා ගාණට ය. එක වහලක් යට හිඳ දබර කර ගැනීමක් ගැන සිතන්නට හෝ මට හැකි නොවිණි. ඒ නිසා මා උත්සාහ කළේ හැකි තාක් ප්‍රියංවදා ගෙන් දුරස් වී හිඳින්නට ය. නමුත් පවුලේ වැඩිමහල් පිරිමියා වශයෙන් අයියා ට වන බලය පාවිච්චි කරන්නට ඇය හැකි හැම විට ම උත්සාහ කළා ය. අප්පච්චි මිය ගිය පසුව ඒ තත්වය වඩාත් කැපී පෙනෙන්නට ගත්තේ ය.

කෙසේ වෙතත් මේ වෙලාවේ වෙනදා සේ මුණිවත රකින්නට මට නො සිතුණේ මොන හේතුවක් නිසා ද කියා මම නො දනිමි.

“මං ජොබ් එකට යන නොයන එක ඇයි මේ වෙන කවුරුවත් ප්‍රශ්නයක් කර ගන්නෙ…”

කිසි දාක මුහුණට මා එසේ ප්‍රශ්න කොට නැති නිසා ද මන්දා ප්‍රියංවදා ක්ෂණික ගැස්මකට ලක් බවක් පෙනිණි.

“මං ගෙදර හිටියට චැනල් එකට ප්‍රශ්නයක් නැත්තං…මං ආපහු වැඩ කරන එකත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙවෙයි නං…අපේ ගෙදර අය ඒක ප්‍රශ්නයක් කර ගන්නෙ මොකටද…”

මුලදී තරමක කේන්තිය මුසු ස්වරයකින් කතා කිරීම ඇරඹුවත්, එසේ නො කළ යතු යයි එසැනෙන් කල්පනා වූයෙන් මා ඒ ටික කියා නිම කළේ මඳ සිනහවකිනි. මා ඒ ටික කීවේ කෝපයකින් නොව අදහසක් ලෙස පමණක් ය කියා ඒත්තු ගැන්වීම මගේ අරමුණ වන්නට ඇත.

“නෑ නංගි මං කිව්වෙ ඉතිං…නිකං අපරාදෙ චැනල් එකට වුණත් ඔයා විහිළුවක් වෙනවනෙ…ඒකයි..”

එකට එක කියනවා නම් කියන්න ට දේවල් ඕනෑ තරම් මුව ළඟ ම පෙළ ගැසී තිබුණේ ය. නමුත් මම එතෙකින් නතර වීමි. හිත නිස්සාර කර ගන්නට බැරි බවක් මට දැනුණේ ය. රත්නපුරයේ දී සේ හැම හුස්මක් ම නැවුම් හැඟීමකින් ගන්නට මට ඕන වුණේ ය. රත්නපුරේ මගේ කාමරයේ කවුළුවෙන් පෙනෙන චිත්‍රයක් වාගේ මනහර දර්ශනයක් මෙහි නො වන බව ඇත්ත ය. නමුත් මේ වතාවේ කොළම ආ පසු මා මවා ගෙන සිටියේ රත්නපුරයේ පරිසරයයි. ඒ සැහැල්ලුවයි. ඒ සතුටයි.

ඒ සියල්ල අතරේ ඉසියුම් ලෙස සංකල්ප ඔබ මොබ සරනා බවක් මට නො දැනුණා නොවේ. කෙසේ වතුදු මම ඒ ගැන ගැඹුරෙන් සිතන්නට නො ගියෙමි. ප්‍රේමයක් කියන්නේ මතුපිටින් පෙනෙනා තරම් සිල්ලර හැඟීමක් නොවන බව විශ්වාස කරන්න ට මට ඕන වුණේ මීට ටික කලකට පෙර සිට ය. මගෙන් ප්‍රේමය විමසූ තරුණයින් තිදෙනෙකු සමගම ඇති කර ගත්තා වූ සම්බන්ධතා මසක් දෙකක් වැනි කෙටි කාලයක් තුළ බිඳී යන්නට හේතු වූයේ ද ප්‍රේමය කියා මා සිතා උන් දේ ඒ සබඳතා තුළ දී  හමු නො වීම ය. මා පැතූ ගැඹුර, මට ප්‍රේමය තිලිණ දෙන්නට ආ අයවලුන් දුන් දේ තුළ නො විණ. ඉක්මන් වී ප්‍රේමය කියා හිතනා දේ සංකල්ප වෙතත් නො වනවා දකින්නට මට ඕනෑ වූයේ නැත. පෙර කී, මා හා පෙම් සබඳතා වලට යොමු වී තරුණයන් තිදෙනා ගේ ම හිත මිතුරු කම් ද අවසානයේ මට අහිමි වී ගියේ ය. සංකල්ප නැති කර ගන්නට මට ඕනෑ නැති බවක් හදවත මුර ගා කියනු ඇසිණ. සියුම් චමත්කාරයක් ව ඔහු මගේ හදවතෙහි සිටිය යුතු යයි මම විශ්වාස කරමි.

ඉතා ආසන්න දිනෙක ඔහු මල්ෂා ගේ පෙම්වතා විය හැකි යයි හිතේ එක පැත්තක් හෙමිහිට කෙඳිරුවේ ය. එසේ වූවා කියා මේ චමත්කාරය නැති ව යන්නේ නැතැයි හිතේ අනිත් පැත්ත මට දිව්රා කීවේ ය.

නැවතත් ගුවන් විදුලි නාලිකාවේ වැඩ ඇරඹීම තුළ හිතා මතා ම මම තව දුරටත් සැහැල්ලු වීමේ තැතක් දැරුවෙමි. එය එක්තරා ආකාරයක මවා පෙන්වීමක් වන්නට ඇත. සංකල්ප ගෙන් සැඟවී ගෙන ඉන්නට මට උවමනා වුණා ද කියා නො දනිමි.

 ගුවන් ගත ව සිටින මොහොතක නොවන්නේ නම් මැදිරියේ දී ත් මගේ මුවග සිනහවක් වූයේ ය.

“මීදුම් දුමාරයේ…සීත හැන්දෑ යාමේ…”

“කොළ පාට හැළුණ ඈත නිම්නයේ…කොළ පාට හැළුණ ඈත නිම්නයේ…”

“රත්නපුරේ මීදුමයි කොළ පාටයි මෙයා ස්ටූඩියෝ එකටත් ගෙනෙයි වගේ”

මගේ මිමුණුම් අසා ඉන්නා අයෙක් විහළු කළහ. මා කළේ මඳහසින් කර බා ගන්නා එක පමණ ය.

“ආශා නැති ද මාත් එක්ක තනිව ඉන්න….කොළ පාට හැළුණ ඈත නිම්නයේ…කොළ පාට හැළුණ ඈත නිම්නයේ….”

“රත්නපුරේදි කසුන්ව වැහිලද මන්දා මේකිට…”

එවර නම් මට සිනා ගියේ ය. සංකල්ප ගේ සිහින් ඇස් සහිත සිනහව සිතේ ඇඳෙමින් මැවෙමින් පෙනිණ.

මට නිරන්තර සංකල්ප සිහි වූ බව ඇත්ත ය. නමුත් මා ඔහු ට තව දුරටත් දුරකතන ඇමතුම් දෙන්නට ගියේ නැත. මගේ ඉරණම කවරාකාරයෙන් විසඳෙන්නට නියමිත ද කියා මම නො දැන සිටියෙමි. එහෙව් එකේ මල්ෂා හෝ වෙනත් යුවතියක සමග ඔහු ට අනාගතය තීරණය කර ගත හැකි ව තිබෙනවා නම්, මා කතා කරන්නට යාම ඊට බලපෑමක් වන්නට පුළුවන් කියා මට සිතිණ.

ඔහු ත් වැඩිපුර කතා නො කළා විය යුතු ය. සංකල්ප ඉඳ හිට මට කතා කළේ ය. රෑ වැඩ වැටෙන දිනෙක, මම බොහෝ විට ඔහු ගැයූ ගීතයක් ගුවනේ මුහු කරමි. සංකල්ප මේ රාත්‍රියේ මා සමගින් ගුවනේ සරණවා කියා මට දැනෙන්නේ ඇයි කියා වුව මම නො දැන සිටියෙමි.

හිතේ තියෙන හැම දේ ම කියන්නට මට කවුරුන්වත් හිටියේ නැත. කවදාවත් හොඳ ම යහළුවෙකු කියා කෙනෙක් නො සිටි නිසා, කවදටත් බොහෝ දේ දරා ගන්නට සිදු වූයේ තනිව ය. සංකල්ප ගැන මතකය හා අතොරක් නැතිව සිතට උනනා සිතිවිලි ද විසින් මගේ හදවත් කුටීර පිරී තිබිණි. ඉඳහිට මා සුසුමක් කොට හිත් බරින් නිදහස් වූයේ නාලිකාවේ ඉතා ඉහළ මහළක පිහිටි ගොඩනැගිල්ලේ කවුළුවක් ළඟට වී ය. මුහුදු සුළඟේ ලවණ මුසු සුවඳ එතැනට හොඳට දැනේ. ඉඳහිට වැටෙනා කඳුළක තිබී ත් මම ඒ රස සුවඳ විඳ ඇත්තෙමි.

“හොඳිං ඉන්නව නේද…”

ඉඳ හිට මට කතා කරන සංකල්ප අසයි.

“හ්ම්”

මම හිතේ නො වන සතුටක් හා සැහැල්ලුවක් කට හඬේ තවරන්නට වග බලා ගමි. විශේෂයෙන් ම එෆ් එම් නිවේදිකාවක ලෙස ලද පලපුරුද්ද නිසා මට පහසුවෙන් එසේ කළ හැකි ය.

“ඉතිං ඉතිං කොහොමද ඔයාට..මං කෝල් කරන්න තමයි හිටියෙ”

ඔහු කිසිත් නො කියා හිඳී. ඒ නිහඬ බව තුළ වන කතා මහා ඝෝෂාවක සරින් මට ඇහෙන්නට ගන්නේ ය. එතකොට ඔහු මහා ගලිවර ආත්මයක් වී මම කුරුමිට්ටෙකු වන්නෙමි. මහත් දුර්වල කමකින් මගේ වචන ගොනු වේ.

“ටිකක් බිසී වුණා…ඒකයි බැරි වුණේ…”

ඉතා ම කාර්ය බහුල නිමේශයන් හි පවා ඔහු හදවත මැද හිඳ ගෙන කුඩා කර ගත් දෑසින් සිනා සී බලා හිඳිනා බව මා ඔහු ට කිව යුතු නැත.

“ගොඩක් දවස් නිවාඩු ගත්තනෙ. ඒක නිසා මං මේ ටිකේ දිගටම වැඩ කරනව. හැබැයි මට අමතක නෑ පොරොන්දුව හොඳේ…”

“පොරොන්දුව…”

“ඔය…ඒ ටිකට අමතකයි…සිංහරාජෙ ගමන අනේ”

“ආ…”

“ඉතිං…කොහොමද මල්ෂා එහෙම…”

මා එහෙම අසන්නේ කවර අරමුණක් සපුරා ගනු වස් ද කියා මා දන්නේ නැත. ඉන් හිතේ කවර මුල්ලක් රිදෙනවා ද කවර කොනක් තෘප්ත වෙනවා ද කියා මා හොයන්නේත් නැත. කෙසේ වෙතත් රිදෙන තැන් පිරිමැද තව තවත් රිදවා ගැනීමේ ගුහා ගත රුචිකත්වයක් මිනිස් ආත්මයන් ගේ අඳුරු මුලු වල සැඟවී ගෙන ඇති බව අප පිළි ගත යුතු ය.

“ඉන්නව”

ඔහු කියන්නේ වඩාත් සාමාන්‍ය ලෙස ය. රිදවා ගන්නට මට ඕනෑ වූ සිත්හි සියුම් ම තැන වඩා තදින් රිදුණු බවක් දැනුණේ ය.

“ආව් එයා ගැන අහනකොට මෙයාගෙ වොයිස් එකේ තියන සතුට”

“හ්ම්”

මිනිස් සන්තානය වඩා ගැඹුරින් ස්පර්ශ කරමින් නවකතාවක් ලිවිය යුතු යයි එවන් අවස්ථා වල මා තුළ සිතිවිල්ලක් උපදී. නමුත් හිතට එන තරම් දේවල් නො කරන තරමට මා කවදත් උදාසීන ය.

“දැං ඉතිං ඔයා සාමාන්‍ය තත්වෙට පත් වෙලා නිසා…අයිය කියපු කටයුත්ත ගැන අපි බලමු නේද උත්තරා…”

එක දවසක් රාත්‍රියක මගේ කාමරයට ආ අම්මා කීවා ය. ඈ එත්දී මම ජංගම දුරකතනයෙහි, සංකල්ප සමගින් බලන්නට ගිය දිය ඇල්ලේ හා ඒ අවට දර්ශන සහිත ඡායාරූප නරඹමින් සිටියෙමි. ඔහු හදිසියේ මගේ කොපුලක තදින් තැවරූ දඩබ්බර හාදුවෙහි තිබී දැනුණ සීතල මේ මොහොතෙත්  මට සජීවී ව දැනෙමින් තිබිණි.

“අනේ අම්ම”

“ඔයා වෙන කෙනෙක් ගැන බලාපොරොත්තුවකුත් නැත්තං…හොඳ ම දේ මේක ගැන තීරණයක් ගන්න එක නේද පුතේ…”

මවක වශයෙන් අම්මා ගේ තීරණයෙහි වරදක් දකින්නට මට නුපුළුවන. නමුත් මා විවාහයකට සූදානමින් නො සිටි කෙල්ලකි. විවාහයකට තබා ආදරයකට වුව මා තුළ වූයේ පසුබෑමක් නො වන්නේ ද?

“දැම්ම මට මැරි කරන්න ඕන නෑ අම්ම”

“නෑ දැම්ම මැරි කරන්න කියල නෙවෙයි මං කියන්නෙ. එයා ඉක්මනට ආයෙ සිංගප්පූරු යනවයි කියල අයිය කියනවනෙ. වෙන තැනකට වචනෙ දෙයි කියල අයිය බයේ ඉන්නෙ. අපි කෝකටත් එයාව බලමුකො…නේද…”

එරෙහි වන්නට තරම් සාධාරණ හේතුවක් ඇත්තේ නැත. සංකල්ප සාධාරණ හේතුවක් නොවේ ද කියා හදවතේ පදාසයක් ම මා විමසමින් තිබුණත් නෑසුණා සේ ඉන්නට මට සිදු විය. ඔහු නැති කර ගත නො හැකි ය. හැමදාමත් මගේ හිතේ ලස්සන ම තැනක ඔහු නො වෙනස් ව සිටිය යුතු ය.

“හරි. අම්මල කැමති දෙයක් කරන්නකො”

මම ඉතා අසීරුවෙන් ඒ ටික කියා ගතිමි. එසේ කො කරනවා නම් වෙන කළ හැක්කේ හෝ කළ යුත්තේ මොනවා ද කියා මා සිතා බැලිය යුතු ය. නමුත් මට කිසිවක් පැහැදිලි ව පෙනුණේ නැත. මම අඳුරේ අත පත ගාමින් සිටියෙමි.

පසු දා ම දොස්තර මනාලයා ව ගෙන්විණ. මට මතක හිටිනා දෙයක් මං ඔහු ගෙන් දුටුවා කියා නො සිතමි. මා මේ කියන්නේ බාහිර රූපය ගැන නොවේ. ඒ පැත්තෙන් බලතොත් ඔහු පාහැපත් උස මහත දේහ ධාරියෙකි. නමුත් මට දැනෙනා යමක් එහි වූයේ නැත.

“කිසි අවුලක් නෑනෙ…උත්තරා මේකට අකමැති වෙන්න කිසිම හේතුවක් නෑ”

මම ගුවන් විදුලි නාලිකාවෙන් සතියකට නිවාඩු ඉල්ලුවෙමි.

“ඔයා මේක මොකක් කියලද හිතං ඉන්නෙ..අවස්ථාවක් දුන්නහම ඔයා හිතුවෙ ඔයා තරං ප්‍රසන්ටර් කෙනෙක් වෙන නෑ කියලද…”

නාලිකා ප්‍රධානියා ගේ විරෝධය පිච්චියකට මායිම් නො කළ මම හැන්දෑවේ ම රත්නපුරයට යන්නට පිටත් වීමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles