මීදුම් මාරුත -24

“අම්ම එහෙම කිව්වට ඔයා අක්කට කතා කරන්නකො.කෝල් එකක් දීල බලන්න හෙමින්..”

භාවනා එසේ කීවේ භාතිය තමන් ප්‍රතික්ෂේප වූ ආකාරය කියද්දී ය.අක්කා ගැන කියමින් අම්මා කඳුළු හැලූ වාර අපමණ ය.භාවනා සිතා සිටියේ ඈ කාට හෝ කරකාර බන්දා දීම අම්මාගේ නොමඳ සැනසීම බව ය.නමුත් අම්මා මනමාලයාට දෝස්මුර තබා පන්නාගෙන ය.

“කෙල්ලෙක් ටෝක් කරගන්න එක නම් මට මහ දෙයක් නෙවෙයි.හැබැයි භාවනා ඔයා නොදන්නවට අම්මයි දුවයි මනමාලයෙක් හොයාගෙනද කියලත් හිතෙනව මට..”

ප්‍රතික්ෂේප වූ වේදනාව හන්දාම භාතියට ගින්නක් අවුළුවන්නට සිත් විය.

“කවුද?”

භාවනා ඇසුවේ සැකයෙනි.

“ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ වාහනේ සුදු විට්ස් එකක් නේද?”

භාතිය ඕපාදූප කියන්නේ සම්පූර්ණ දත්ත සහිත ය.භාවනා හිස වැනුවා ය.

“මේ ඒකනෙ..”

ඔහු ඡායාරූපයක් පෙන්වයි.ඒ සකුණගේ මෝටර් රථය ය.එය නවතා ඇත්තේ තමන්ගේ නිවසේ ය.

“ඔයා නැති වෙලාවට සකුණ මොනවද බබා එහෙ කරන්නෙ.අන්න ඒක හොයන්න ඉස්සරලම.සෙනුර නැති උන හන්දා ඔයාගෙ අම්මා එන ඕන ප්‍රපෝසල් එකකට කැමති වෙලා අක්කා දීලා දාන්න ඕන.ඒත් එහෙම නෑනෙ.ආන්ටි හෙන ලොකුවට මට කතා කරේ.මිනිහා මැරිච්ච දුවෙක් ගැන එච්චර නම් ලොකුකමක් තියෙන්න බෑ කිසිම අම්මෙකුට..”

භාතිය සැකයේ විෂබීජය භාවනාගේ සිතට ඇතුළු කළේ ය.දැන් අම්මාත් දුවත් අතරද අක්කාත් නංගීත් අතර ද වෙන් වූ පෙම්වතුන් අතර ද වෙනවෙනම ගැටුමක් හට ගන්නා බව ඔහු දනියි.එය ඇති කිරීමම කාව්‍යාගේ අම්මා තමන්ට ඇමතූ ආකාරයට දඬුවම බව ඔහු සිතී ය.

“එහෙනම් ඒක තමයි මේ.” භාවනා තමන්ට මුමුණා ගත්තී ය.කළ යුතු දේ ගැන දහස් වාරයක් කල්පනා කළ ඇය කාර්යාලයෙන් පිට වූයේ කෙටි නිවාඩුවක් ද රැගෙන ය.

“අම්මා භාතියට අර තරම් සැරට කතා කරා කියල ඔය මිනිහා ගිහින් නංගිට නම් කියයි..”

කාව්‍යා අම්මාට කීවේ සිතිවිල්ලේ ය.ඔහු දික්කසාද නඩුවක විත්තිකාරයා වුව ද තමන්ගේ බිරිඳ ගැන සමාජ ජාලාවල පැතිරවූ අසත්‍ය කතා ඇයට සිහි විණ.බහුතරයක් දෙනා තවමත් භාතියගේ බිරිඳ වූ මධූෂා ගැන සිතන්නේ සැමියා සිටියදී අසම්මතය සොයා ගිය ගැහැනියක ලෙසට ය.

“භාතියගෙ වෙන අෆෙයා එකක් අතටම අහුවුණු හන්දනෙ අම්මේ මධුෂා එයාට ඩිවෝස් කරල තිබ්බෙ.මධූෂා ආයේ මැරි කරා.මැරි කරලා ස්වීඩන් ගියා.ඒක ප්‍රපෝසල් එකක්ලු.ඒ උනාම මේ භාතිය කාරයා රට වටේ කියනව කියන්නකො ඒ මධූෂාගෙ කාලයක් තිස්සෙ කරන් ආපු හොර ලව් එකක් කියල.මධූෂාගෙ වෙඩින් ෆොටෝස් එහෙමත් අරන් ෆේස්බුක් එකේ මඩ පේජ් කාරයන්ට දීලා මඩ ගැහුවා.දුක් විඳලා ඒ දුකෙන් යන්තන් ගොඩ ආපු මධූෂා මඩ කනව.ඒ කෙල්ලට ගින්දර දීපු භාතිය කාරයා සුදනා..”

කාව්‍යා එසේ කියද්දී ඒ සිදුවීම ගැන සකුණ ද සිහි කළේ ය.මඩ නොවැදිය යුතු අසරණ ගැහැනුන්ම සමාජ මාධ්‍ය හන්දා වින්දිතයන් වීම ගැන ඔහුට ඇත්තේ කෝපයකි.අප්‍රසාදයකි.

“මඩයි අනුන්ගෙ හොටුයි තමා ෆේස්බුක් එකේ දැන් මාකට් වෙන්නේ..”

ඔහු අප්‍රසාදයෙන් පැවසී ය.කාව්‍යාගේ ඡායාරූප ප්‍රසිද්ධ වීම ද මෑතක් වනතුරුම සිදු වූ අන්දම ඔහු ඉන්පසු අප්‍රසාදයෙන් සිහි කළේ ය.සෙනුරගේ වියෝවෙන් පසු කාව්‍යාගේ හැඟීම් යැයි කොහෙන්දෝ අහුලාගත් ඇගේ ඡායාරූපයක් පළ කරමින් කවි සහ තේරුමක් නැති වචන ලියූ මිනිසුන් ඔහුට අමතකව නොයයි.සෙනුර නිසා ඇති වූ දැඩි මානසික කම්පනය මදිවාට ඒ දින කිහිපයම සකුණ ගෙවූයේ ඒ කවි කොළ කාරයන් ගැන කෝපයෙනි.ඔවුන්ට අමතමින් ඒවා ඉවත් කරන්නට බල කරමිනි.කාව්‍යා දැඩිව මානසික කම්පනයට ලක් වන්නට ඒ විකාරසහගත කවි ද හේතු වූ බව සකුණ තවමත් විශ්වාස කරයි.

“අනුන්ගෙ පෞද්ගලිකත්වය කිසිම ලැජ්ජාවක් නැතුව සේල් දාන මිනිස්සුයි ජජ් කරන මිනිස්සුයි එක්ක දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ.එක අතකට මේ වගේ වසංගත ලෙඩ ලෝකෙට එන එක සාධාරණයි.මිනිස්සු කියන්නෙත් වසංගත වෙච්ච එකේ මෙහෙම ලෙඩ එන එක පුදුමයක් නෙවෙයි..”

සකුණ පැවසුවේ කලකිරීමෙනි.භාතිය සම්බන්ධයෙන් දැන් ප්‍රවේසම්සහගත වන්නට වන බව ඔහු තේරුම් ගෙන සිටියේ ය.කාව්‍යාට කිසිම මානසික පීඩාවක් දැනෙන්නට දිය යුතු නොවේ.නමුත් එය භාවනාටවත් වගක් නැති බව ඔහු නොදන්නවාද නොවේ.

“මොනම හේතුවකටවත් භාතියගෙ කෝල්ස් ආන්සර් කරන්නත් එපා කවී.මිනිහා ඔයාට වැදගත් විදියට මංගල යෝජනාවක් ගෙනාවානම් තමා.ඒත් ඒක අම්මා රිජෙක්ට් කරාට පස්සේ භාතිය කියල තියන දේ මට එච්චර දිරවන් නෑ..”

කාව්‍යා බියට පත් නොකර සකුණ පැවසී ය.

“සකුණ,මං අපේ ගේ රෙන්ට් කරන්න දැම්මනෙ.විකුණන්න නම් ලෝබයි.කට්ටියක් බලන්න එනව කිව්ව.අපි අද එන්න කියමුද ඔයා නිවාඩුනම්..”

කාව්‍යා ඇසී ය.සෙනුර ආදරයෙන් ඉදි කරන්නට ගත් නිවසේ උඩු මහල වැඩ නිම වී නැත.ජීවිතය ගැන අප්‍රමාණ සිහින පුරවාගෙන ඇරඹූ ඉලක්ක අතරින් සුන්දරම ඉලක්කයක් වූ නිවස දැන් පාළුවට යාම කාව්‍යාට ඉහිලුම් නොදේ.

“ඒ ගෙදරින් ටික කාලයක් අයින් වෙලා ඉන්න එක තමයි කාව්‍යා මේ වෙලාවේ කරන්න ඕන..”

සෙනුරගේ මතක පිරී ඇති නිවස කාව්‍යා පාරන බව වටහා ගත් මනෝ වෛද්‍යවරිය කාව්‍යාට එසේ පැවසී ය.එනිසාම කාව්‍යා ඉන් මඳක් දුරස් වන්නට සිතුවා ය.අන්තර්ජාලයේ පළ කළ දැන්වීමට බොහෝ ප්‍රතිචාර ලැබිණ.ඉන් කිහිප දෙනෙකු ගැන කාව්‍යාගේ ද කැමැත්තක් තිබිණ.

කාව්‍යාට පිළිතුරු දෙන්නට පෙර සකුණට ඇමතුමක් පැමිණියේ ය.එයට පිළිතුරු දෙන්නට මඳක් එළියට ගිය ඔහු පැමිණියේ එතරම් හොඳ මුහුණකින් නොවේ.

“මට හදිස්සියෙ ඔෆිස් යන්න වෙලා කවි.මං ගිහින් ඔයාට ඩොක්ට ගාවට එක්ක යන්න හවස එන්නම්..ඔයාට ඔය වැඩේ අදම වෙන්න ඕන නම් රසිකට කතා කරන්න.එයා උදව් කරයි..”

උදාරාගේ සැමියා එවැනි කාරණාවලට උදව් ගන්නට තරම් හොඳ මිනිසෙකු බව කාව්‍යාට ද සැකයක් නැත.ඔහු කාව්‍යාට සලකන්නේ ඉතා හොඳ සහෝදර බැඳීමකිනි.නමුත් ඇයට මෙවෙලේ ඒ සඳහා යන්නට සිතක් නොවිණි.ඇමතුමෙන් පසු මුහුණ කළු කරගත් සකුණ ගියේ කොහේදැයි ඇය කරදරකාරී සිතුවිල්ලකින් සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles