මීදුම් මාරුත -27

කාව්‍යාගේ ටියුෂන් පන්ති අසාර්ථක නොවී ය.ඈ බලාපොරොත්තු නොවූවාටත් වඩා දරුවන් පිරිසක් ඇගේ ඉගැන්වීම වටා රොක් විය.කාව්‍යා ඒ සම්බන්ධයෙන් සතුටු වූවා ය.ඇගේ හදවත වෙලාගත් පාළු මීදුම නව යෞවනයේ වෙසෙන දරු පිරිස ඈතට තල්ලු කරමින් සිටියහ.

“මං වැඩිය පිළිවෙලකට අඳින්නෙ කරන්නේ නැතුව ක්ලාස් එකට ගියොත් පන්තියෙ ඉන්න පණ්ඩිත කෙල්ලො පාඩම අහකට දාලා ඒකේ විවේචනෙ පටන් ගන්නව..”

කාව්‍යා උදාරා සමඟ පැවසුවේ හිනැහෙමිනි.අතීතය සිහි වී උදාරා ද හිනැහුණා ය.

“එහෙම තමා අනේ ඔය වයසට.මතකද ඒ කාලේ? අපේ නදීකා මිස් ප්‍රෙග්නන්ට්.අපි පුදුම විදියට අලුත උපදින බබාලා ගැන විස්තර හෙව්වෙ.අපි ඒ දීපු ගවුම් මෝස්තර ඔක්කොම මැහුවානම් ඒ බබාට තාම අඳින්න වෙන්නේ ඒවා..”

කාව්‍යා ඒ සිනාවට එක් වූවා ය.අනතුරුව ඈ උදාරාගේ දියණිය දෙස මිනිත්තු කිහිපයක් බලා සිටියා ය.

“අපි ඒ ලෙවල්ස් ලියලත් අවුරුදු දහයකට වඩා ගෙවිලා ගිහින්..ලබන මාසේ තරිඳුගේ වෙඩින් එකලු.අපේ හැමෝම බැඳලා.බබාලා ලැබිලා.ඉතුරු වෙලා ඉන්නේ කීප දෙනයි..”

කාව්‍යා එසේ කියන්නේ සිතිවිල්ලේ ය.අනතුරුව ඈ ඒ අතීතය සිහි වන්නට නොදී සුසුමක් පිට කරන අතර උදාරා දෙස බැලුවා ය.

“මටත් තරිඳු කෝල් කරා කවී.ඒත් අකලංක එන කිසිම තැනකට යන්න මම ආස නෑ..මං ආයේ අපේ පන්තියේ කාගේ හරි වෙඩින් එකකට ගියොත් ඒ සකුණගේ විතරයි.”

සකුණ විවාහයක් ගැන උදාරා සමඟ පවසා ඇත්දැයි කාව්‍යාට සැකයක් හට ගත්තා ය.ඔහු තමන්ගේ නැගණියගේ පෙම්වතා යන චරිතයෙන් මිදෙන්නට හේතුව ද තමන් බව සිතමින් ඈ සසැලුණා ය.කාව්‍යා ගැන සොයමින් ඇයගේ කටයුතුවලට උදව් දෙමින් සකුණ ඈ සමඟ රැඳීම භාවනාට ගැටලුවක් විය.තමන්ගේම සහෝදරියට එසේ වූවානම් වෙනත් තරුණියකට ද එසේ වීම අනිවාර්යය දෙයකි.සෑම කාරණයකටම සකුණගේ උදව් පැතීම නවතන්නට කාලය පැමිණ ඇතැයි ඈ සිතුවා ය.

“මං හිතුවේ උදාරා, සකුණට ඕනවට වඩා වදයක් නොවී ඉන්න..”

ඈ ඒ හැඟීම වචනවලට පෙරළුවා ය.

“සකුණ ඔයාව වදයක් කරගෙන කියල හිතන්නේ? පිස්සුද?”

උදාරා ඇසුවේ තරහිනි.කාව්‍යා සකුණගේ දෑසේ ඇඳෙන කතාව නොකියවන්නේ ඇයිදැයි ඈ සිතුවා ය.නමුත් සෙනුරගේ මතක ද ආදරය ද හදවතේ පුරවා ගත් කාව්‍යාට වෙනත් දෑසක් කියවා ගැනීම පහසු නොවන බව ඈ ඉනික්බිති කල්පනා කළා ය.

“ඔයාට,සකුණට මගේ දුක අහන් ඉන්නවට වඩා වැඩ තියනවනෙ.”

කාව්‍යා කියන්නේ වේදනාත්මක හඬිනි.

“අපි එකට වැටිලා හිටිය යාලුවො කවී.අපිට අනිත් කෙනාගෙ ප්‍රශ්න කියන්නේ තමන්ගෙම එකක් තමයි.අනිත් එක ඔයා දුක කියවන්නේ නෑ.මට තියන ප්‍රශ්නෙත් ඔයා මොකුත් කියන්නෙ නැතුව ඔහේ ඉන්න එක.ඊටපස්සෙ අසනීප වෙන එක.එහෙම එපා..දැන් අවුරුද්දකම ගෙවිලනෙ.අපි ටික ටික සාමාන්‍ය වෙන්න බලමු..”

උදාරා එසේ කියන්නේ කාව්‍යාගේ අත් දඬුව පිරිමදින අතර ය.කාව්‍යා ඈ දෙස බැලුවේ සෙනෙහසිනි.

“මං අඬන්නේ නෑ උදාරා.මේ වගේ ලෝකෙකින් සෙනුර ඉක්මනට යන්න හේතුවක් තියෙන්න ඇතිනෙ.මට තනියි තමයි.ඒත් මං හිත හදන් කොහොමහරි ඉන්නව.අසනීප නොවී ඉන්නත් මම උත්සාහ කරනව.ඒක ඔයාලා හැමෝටම කරදරයක්.”

ඈ එසේ කියමින් නෙතට ආ කඳුලක් පිස ගත්තා ය.සමහර මාතෘකා කතා කරන්නට හොඳම මොහොතක් ආ විට එය අපතේ නොදැමිය යුතු බව උදාරා සිතුවා ය.

“කවී, මං ඔයාට දෙයක් කියන්නම්..”

උදාරා එසේ ඇසුවේ ගැඹුරු හඬකිනි.කාව්‍යා ඈ වෙත නෙත් හෙළුවා ය.

“මං හිතන්නේ ඔයාට තනියම ඉන්න ඕන වෙන්නේ නෑ.ඇත්තටම ඔයා එහෙම ඉන්නවට වැඩියෙන්ම අකමැති කෙනෙක් ඉන්නව.”

උදාරා මේ පවසන්නේ කා ගැනදැයි කාව්‍යාට සැකයක් නොවේ.සෙනුර ගැන මතක හදවතේ ගැඹුරුම තැනක රඳවා තවත් කෙනෙකුට ජීවිතය පැවරිය හැකිදැයි ඈ සිතුවා ය.සෙනුර අමනාප නොවන බව ඈ දන්නී ය.නමුත් අසම්පූර්ණ ආදරයක් තව කෙනෙකුට දෙන්නට කාව්‍යාගේ මනාපයක් නොවේ

“මං බිඳුණු මනුස්සයෙක් උදාරා..ඒ බිඳිල්ල එක්ක තව කෙනෙකුට හොඳ වයිෆ් කෙනෙක් වෙන්න මට බෑ..”

උදාරා කාව්‍යාගේ ඇඟිලි තුඩු වලින් අල්ලා ගත්තා ය.ඒවා සීතල ය.සෙනුරගේ නිසල දේහය මත අවසාන හාදුවවත් තබන්නට හැකි වූවානම් කාව්‍යා මෙතරම් බිඳීමකට ලක් නොවන බව උදාරා සිතුවා ය.නමුත් වසංගතයක දරුණුතම ගොදුරක් වූ ඈ ගත ද හදවත ද සීතල ව තිබියදී පවා ජීවත් වීමම ප්‍රමාණවත් බව උදාරා සිතුවේ නෙතට උනන කඳුළ කාව්‍යාට නොපෙනෙන්නට පිසදමන අතර ය.

“ඔයා විතරක් නෙවේ..මාත් බිඳුණා.ඒත් මගේ බිඳිල්ල තමයි තව කෙනෙකුට ආදරේ කරන්න අමාරුම බිඳිල්ල කවී.රැවටුණාට පස්සෙ හිතෙන්නේ හැමෝම අපිව රවට්ටයි කියල.ඒ වුණාට මං දැන් මගෙ දූටත් වඩා එයාගේ තාත්තිටයි ආදරේ..’

අකලංකගේ දරුණු රැවටීම නිසා බිඳ වැටුණු උදාරා මිතුරන් පවා අතැර දැමූ අන්දම කාව්‍යාට අමතකව නොයේ.නමුත් දැන් ඈ ආදරණීය ගැහැනියකි.රසිකගේ ආදරය හන්දා බබළන ඇස් දෙකකට හිමිකම් කියන ඈ සෑම මොහොතකම ඔහුගේ ආදරයෙන් ජීවය ලබන බව කාව්‍යා සිතා ඇත්තේ වරක් දෙවරක් නොවේ.

“ඔයා ළඟ සෙනුරගෙ ලස්සන මතකයි ආදරෙයි පරිස්සම් කවී..ආදරේ මොනතරම් ලස්සනද කියල දැනගෙනමනෙ ඔයා අලුත් ජීවිතේකට යන්නෙ.ඒ නිසා මට තරම්වත් ඔයාට අමාරු නෑ.ඔයාට පුලුවන් ආයේ ලස්සන ජීවිතයක් හදා ගන්න..”

උදාරා එසේ කියද්දී කම්මුලකින් රූරා වැටුණු කඳුලක් පිස දැමූ කාව්‍යා මිතුරිය දෙස බැලුවා ය.

“ඒ වුණාට කාටවත්ම බෑ උදාරා,,කාටවත්ම බෑ සෙනුර වගේ ආදරේ කරන්න..”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles