“ආත්මාර්ථකාමී තීරණ ගන්න එපා..ඔයා ඔය අරන් තියෙන්නේ හරි කැත තීරණයක්..”
බොහෝ කාලයකට පසු නිවසට ආ භාවනා කාව්‍යාට පැවසුවේ කෝපයෙනි.කාව්‍යා මඳහසකින් පමණක් පිළිතුරු දෙන්නට වග බලා ගත්තා ය.නමුත් කාව්‍යාගේ කෝපය නොනවත්වා අක්කා වෙත එල්ල විණ.
“ඔයා හිතනවද ඔය තීරණේට සකුණගෙ ගෙදරින් සතුටින් කැමැත්ත දෙයි කියල.ඔයා හස්බන්ඩ් මැරුණු මනුස්සයෙක්.ඒ මැරුණෙත් සකුණගෙම යාලුවා.ඒ වෙඩින් එකේ බෙස්ට්මන් වුණෙත් සකුණ..”
භාවනා හතිලමින් පැවසුවා ය.
“සකුණ ඔයත් එක්ක සම්බන්දෙකුත් තිබුණා.ඉතින්, ඒ සේරම වැරදි ඇති.හැබැයි සකුණගේ අම්මා ඊයේ හවස තාත්තා එක්ක මෙහෙ ඇවිත් ගියා නංගි.ලොකු වෙඩින් එකක් නොගන්න මං ඉල්ලපු ඉල්ලීමට පවා එකඟ වුණා..”
කාව්‍යා ඇයට පුරුදු සන්සුන් ස්වරයෙන් නංගිව ඇමතුවා ය.භාවනා අක්කා දෙස බලා සිටියේ ගිනි ගන්නා දෑසකිනි.ඇයට සකුණ අහිමිවීම ගැන දුකක් නොදැනේ.සකුණ අක්කාට සමීප වීම ගැන පමණක් ඇයට උසුලා ගත නොහැකි කෝපයක් දැනෙමින් තිබිණ.
“ඔයා ආයේ කසාද බඳින් නෑ ගගා පිස්සු හැදිලනෙ හිටියේ.මැරුණු මිනිහෙක්ට කතා කර කර කෝලං කරේ සකුණව අල්ලගන්න කියල කවුරු නැතත් මම දැනන් හිටිය..ඒ කාලෙ ඉඳන්ම මොන මිනිහද තෝරා ගන්න ඕන කියල හිත හිත ඉන්න ඇත්තේ.ඒ වුණාට ඔයාගෙ වෙලාවවත් බලෝගෙන ඉන්න.මිනිහා මැරෙනවද කියල ඒකේ ලියවිලා ඇති..”
භාවනාගේ කියවීම ඉවසීමේ ඉම පසු කරමින් තිබෙන බව කාව්‍යා තේරුම් ගත්තා ය.
“නංගි! කට වහගන්නව..ඔයා ඔය කියන කිසිම දෙයක් ඇත්ත නෙවෙයි..”
භාවනාගේ හඬ උස්ව ඇසෙද්දී අම්මා වහා එතැනට දිව ආවා ය.
“උදේ ඉඳන් රෑ වෙනකන් කාන්තා විමුක්තිය වෙනුවෙන් ලියනව.හැබැයි ඔයාට නොලැබුණු දේ තමන්ගෙම අක්කට ලැබෙනකොට කියන්න පුලුවන් ඔක්කොම කැත කතා කියනව.නංගි ආදරේ කියන්නේ තෝරා ගැනීමක්.ඒක බලහත්කාරෙන් අයිති කරගන්න බෑ.ඔයා සකුණ එක්ක ආදරෙන් හිටියනම් මම කීයටවත් මෙහෙම තීරණයක් ගන්නේ නෑ.මං වගේම එයත් හිටියේ බිඳිලා.මං දන්නේ එච්චරයි..”
භාවනා ඒ වචන අසා සසැලුණා ය.අක්කාට හොඳ පෞරුෂයක් නැති බවත් ඇය ඉතා සුකොමළ කෙල්ලක් බවත් කියමින් නිතරම ඇයට සරදම් කළ භාවනා ජීවිතයේ පළමු වරට අක්කාගේ වචන වලට පසුබා යමින් සිටියා ය.
“ඔයා සෙනුර අයියව හිතේ තියාගෙන සකුණට ළං වෙලා ඒ මනුස්සයට කරන්නෙ අසාධාරණයක්..”
ඇය ඉතිරිව ඇති එකම ආයුධය අවසාන ප්‍රහාරය වෙනුවෙන් යොදා ගත්තා ය.
“ඒක කරේ ඔයා නංගි.ඔයා තමයි කලින් ආදරේ කරපු මනුස්සයට රිද්දන්න ඉක්මනට කසාද බඳින්න බල කරලා සකුණව කලකිරව ගත්තේ.ඔයා ඇත්තටම ආදරේ කරානම් එහෙම කතා කියයිද? අනික මම සෙනුරව කවදාවත් අමතක කරන් නෑ.එයාව සකුණ අමතක කරන එකකුත් නෑ.අපේ අලුත් ජීවිතේට සෙනුර ආශිර්වාදයක් මිසක් බාධාවක් වෙන එකකුත් නෑ..”
භාවනා නික්ම ගියා ය.අක්කා තමන්ගේ ආත්මාභිමානයට එල්ල කළ පහර ඉතා සැර එකක් ලෙස ඇයට දැනෙයි.ඇය එය උසුලා ගත්තේ කෝපයෙනි.අක්කා තමන්ගේ පෙම්වතා පැහැර ගත් ආකාරය ගැන දිගු සටහනක් ෆේස්බුක් මත ලියන්නට ඇයට සිතුණා ය.
“විකාර කරන්න එපා භාවනා.ඕවට තමුසෙ බූට් තිබ්බ කොල්ලො රිප්ලයි දාන්න ගත්තම දුවන්න වෙන්නේ..”
මිතුරියක බැන වදින තුරුම ඈ මත් වෙමින් වේදනාව දිය කර හැරියා ය.පෙම්වතා මඟ හැරුණු වේදනාව නොව අක්කා ඔහුව දිනා ගැනීම ගැන රෝෂයකින් පසුවන්නිය ගැන මිතුරියන්ට ද තිබුණේ සරදම් ය.එබැවින් භාවනා අක්කාගෙන් පලි ගන්නට වඩා හොඳ මාර්ගයක් සොයමින් ළතැවුණා ය.
“මොනම හේතුවකටවත් කේන්දර නම් බලන්න එපා අම්මෙ.මං ඒකට ආස නෑ.මිනිස්සු මැරෙන දවසක් කලින් කියන්න පුලුවන් අය කොහෙවත් ඇති කියල මං හිතන් නෑ..”
සකුණ එවගක් මාලිකාට සිහි කළේ කාව්‍යාගේ කේන්දරය තුළ සෙනුරගේ මරණය සැඟව තිබෙන්නට ඇතැයි සමහරුන් පැවසීම ඔහුගේ කෝපය අවුළුවන නිසා ය.
“පුතාගෙ අම්මා ලොකූගෙ කේන්දරේ ඉල්ලන් ගියා..”
මාලිකා එසේ පවසද්දී කාව්‍යා තිගැස්සී ගියා ය.එකම පුතු නොරිදවා තමන්ට කැමැත්ත පළ කළද සකුණගේ අම්මා මේ බැඳීම ඉතසිතින් නොපිළිගන්නා බව ඇය දනියි.
“අම්මා කෙනෙක්නෙ.එයා කැමති ඇති පොඩි කෙල්ලක්ව පෝරුවෙ නග්ගලා පුතාට බන්දන්න.ඇත්තටම ඉතින් ඕන අම්මා කෙනෙක්ගෙ හීනෙ ඒකනෙ උදාරා..”
කාව්‍යා උදාරා සමඟ පැවසුවේ හිත හදා ගන්නට ය.ඇය සහ සෙනුරගේ අම්මා අතර සුන්දර මව්දියණි බැඳීමක් තිබිණ.සෙනුරගේත් වෙනුරගේත් බිරින්දෑවරුන් පෙම්වතියන් කාලයේ පටන්ම හේමචන්ද්‍ර මහත්මිය ඔවුන් දියණි තනතුරේ තබා ගත්තා ය.එවැනි සුන්දර දෙවැනි අම්මා කෙනෙකු බවට සකුණගේ අම්මා පත් වේදැයි කාව්‍යාට තදබල විශ්වාසයක් නොවේ.නමුත් ඈ ඒ හැඟීම උපේක්ෂාවෙන් දරා ගත්තා ය.
“මේගන්ටත් රජ පවුල අකමැති වුණේ.දියුණු රටවලුත් එහෙමනම් මේක ලංකාවනෙ කියල හිත හදා ගමු.හැබැයි ඉතින් සකුණලගෙ අම්මා වෙඩින් එකකට ආසයි කියනව මිසක්කා ඔයාට අකමැත්තක් නම් කියන්නෙත් නෑ දැන්..”
කාව්‍යා ඒ ගැන නැවත වාරයක් සිතන්නට වූවා ය.තමන්ගේ සිහින විවාහ මංගලෝත්සවය ඇය සැබෑ කර ගත්තා ය.එහි මිහිරෙන් පුරවා ගත් සිත අකල්හි වියළී ගිය ද ඒ වියලී ගිය හදවත මත මල් වැස්සක් ඇද හැලෙමින් තිබේ.ඔහු සමඟ එක් මාවතක ඇවිද යන දිනය උත්සවාකාරයෙන් සැමරීම ප්‍රතික්ෂේප නොකළ යුතු බව කාව්‍යා සිතුවා ය.