මීදුම් මාරුත – 32

“නැන්දා කියල ගිය ඒවට පුතා තරහ ගන්න ඕන නෑ..මිනිස්සු ඔහොම තමයි.හිතන විදිය වෙනස් වෙන්නේ නෑ.”

මාලිකා කාව්‍යාට පැවසුවේ ඥාතිවරිය නික්ම ගිය සැනින් ය.කාව්‍යා මානසික පීඩනයට ලක් කරන කතා ගැන මාලිකාට දැනෙන්නේ ඉතා වේදනාවකි.ඈ සිටියේ ඒ කෝපය මුසු වූ ශෝකයකිනි.

“කනවැන්දුමියෙක් හින්දා අම්මට මං බරක් කියලයි එයාලගෙ හිතේ.අම්මා මට හොඳට ඉගැන්නුවෙ මටවත් මාව බරක් නොවෙන්න කියල එයාල දන්නෑ..”

කාව්‍යා නිවුණු හඬකින් පැවසුවා ය.

“ලොකු පුතේ,ඔයා ආයේ ජොබ් එකකට යන්න.ඔය ටියුෂන් එක ඔයාගෙ හිතට නම් හොඳයි තමා.ඒත් ඔයා හොඳ සැලරියක් ගත්තේ රස්සාව හින්දනෙ..”

දියණිය කිසි ලෙසකට අස්ථාවර වනවාට අකමැති අම්මා පරස්තාව වෙනුවට රස්සාව ගැන කතා කළා ය.

“මං ට්‍රීට්මන්ට්ස් ඉවර කරලා හෙමින් ආයේ ජොබ් එකකට යනව අම්මා.මං ඇත්තටම පොඩි බ්‍රේක් එකක් ගත්තේ.මට ඔය නැන්දලා කියන ඒවට නම් රිදෙන් නෑ.මට සෙනුරව අමතක කරන්නත් ඕන නෑ.ඒත් අම්මා මට ඒ මතක රිද්දා නොගෙන ඉන්නයි ඕන.”

කාව්‍යා අම්මාට එසේ කීවේ අම්මා සනසන්නටම නොවේ.ඈ නිවෙමින් සිටි හන්දා ය.

නැන්දාගේ පැමිණීම නිසා රිදුණු හිතට ඔසු ගල්වන්නට කාව්‍යාට උවමනා විය.ඈ හවස් යාමයේ හැඳ පැළඳ ගනිද්දී මාලිකා ඒ ගැන විපරම් කළා ය.

“ක්ලාස් එකක්ද පුතේ, නැත්නම් උදාරාගෙ ගෙදර යනවද?”

කාව්‍යා අම්මා දෙස බැලුවේ සිනා මුවකිනි.

“මං ටවුන් එකට යනව අම්මේ.පොත් වගයක් ගන්න ඕන.හිතුණොත් චුට්ටක් ෂොපින් කරනව.රෑට කන්න මම මොනව හරි එළියෙන් අරන් එන්නම්?”

කඩ කෑමට එතරම් ප්‍රියතාවයක් නැති වුවද මාලිකා එයට එකඟ වූවා ය.කාව්‍යාගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීම දැන් මාලිකාගේ සාමාන්‍ය සිරිත ය.

කාව්‍යා පොත් හලකට ගොස් ඇගේ ටියුෂන් වෙනුවෙන් අවශ්‍ය පොත් කිහිපයක්ම තෝරා ගත්තා ය.පොත් කියවන්නට තරම් තවම හදවත නිදහස් නැතැයි ඇයට සිතේ.පොත් කියවීම,තොරක් නැති චිත්‍රපටි ඇබ්බැහිය,විදෙස් ටෙලි කතා නැරඹීම වැනි පුරුදු පමණක් නොව දැන් තමන් ගීතයක්වත් නොඅසන්නියක වග ඈ සිහි කළා ය.කාව්‍යා පොත් හලෙන් පිටතට ආවේ තමන් අතින් තමන් ගිලිහී ගිය අන්දම සිතමිනි.

“කාව්‍යා,දැන් ආපහු ලස්සනට අඳින්නකෝ.ඔයා දැන් කොන්ඩෙවත් පීරන් නෑ.පොඩි මේකප් එකක්වත් නෑ..”

කාව්‍යා කාර්යාලය අත හරින්නට පෙර එහි මිතුරියක එසේ කී අන්දම කාව්‍යාට මතක ය.කාව්‍යා කිසිම පිළිවෙලකට ඇඳුම් නොඇඳීම ගැන කියන්නට ඉන් අනතුරුව ඇය සෑහෙන වෙලාවක් වැය කළා ය.

“මූණ වහගෙන පාරට බහින ලෝකෙ එච්චර හැඩ වෙන්න ඕනයැ අප්ප.මමත් වෙලාවකට ගෙදරට ඇඳන් ඉන්න එක පිටින්ම මාකට් යනව.දවසක් කේක් එකක් හද හද ඉඳල බඩු වගයක් ගන්න එළියට බැස්සා.ආවට පස්සෙ මතක් උනේ ඒප්‍රන් එකත් ඇඳගෙනම ගිහින් ඇවිත්..”

කාර්යාලීය මිතුරිය වූ දුලාරි එසේ කියමින් ඒ කතාව සාමාන්‍යකරණය කළ අන්දම සිහි කරමින් කාව්‍යා කලබල නගර වීදිය දිගේ ඇවිද ආවා ය.මතක ඇති කාලයක පටන් ඇයට ඇඳුම් තේරුවේ සෙනුර ය. තමා වඩාත් සුන්දරව දකින්නේ ඔහු බවට කාව්‍යා විශ්වාස කළා ය.එනිසාම ඇගේ විලාසිතා උපදේශක තනතුර ද පැවරුණේ ඔහුට ය.

ඔබෙ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ
ඔබේ සෙවනැල්ලයි.

කාව්‍යාට ඒ ගී පද සිහි විණ.එදවස ඈ නිරතුරුව සෙනුරට ලියා යැවූ ගී පද එය විය.නමුත් එය වඩාත් දැනෙන්නේ දැන් වග ඇයට සිතේ.දැන් ඔහු ගතින් ඈ ළඟ නොවේ.

“මේ ඇඳුම ලස්සනද සෙනූ?”

ඈ ඇඳුමක් ගලපමින් මිමිණුවා ය.මුව ආවරණය නිසා ඈ තනිව කතා කරන බවක් කිසිවෙකු නොදකී.නමුත් දැන් වෙනදා මෙන් සෙනුර තමන් ළඟ දැවටෙන වග නොපෙනෙන වග කාව්‍යා වටහා ගත්තා ය.දැන් ඔහුව පෙනෙන්නේ රාත්‍රී සිහිනයකින් පමණි.

කාව්‍යා නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයෙන් එළියට බැස්සේ කල්පනාකාරීව ය.එතැනින් යන්නට ආ සකුණ ඈ දුටුවේ ද ඒ මොහොතේ ය.ඈ මඟ හැර හිඳින්නැයි උදාරාගේ උපදෙස ක්ෂණිකව අමතක කරන්නට සකුණට සිතිණ.

කාව්‍යා පුරුදු රිය නළා හඬකට හැරී බැලුවේ එනිසා ය.

“මම ෂොපින් ආවා..සෑහෙන කාලෙකින්..”

සකුණගේ රියට නැගී පුරුදු අසුනේ හිඳ ගත් කාව්‍යා සකුණ අසන්නටත් පෙරම පිළිතුරු දුන්නා ය.

“ආයේ ජොබ් එකකටවත් යන්න හිතුණද?”

දින ගණනක් තමාව මඟ හැරියේ ඇයිදැයි කාව්‍යා අසන්නට පෙර සකුණ ප්‍රශ්නයක් ඇසුවේ ය.

“මට ඊයෙත් ප්‍රපෝසල් එකක් ආවනෙ.පොඩ්ඩක් ලස්සනට ඉන්න හිතුණා..”

කාව්‍යා උස් හඬින් හිනැහෙන්නට ගත්තා ය.එය එතරම් විහිළුවක් වන්නේ ඇයිදැයි සැකයෙන් බැලූ සකුණට ඈ ඥාතිවරිය ගෙනා යෝජනාව පැවසුවේ හිනැහෙන අතර ය.

“මට මොකෙක් හරි මිනිහෙක් ඕන කියල එයාලා හිතන්නෙ ඇයි සකුණ..”

ඇය අසන්නේ ඒ සිනාව අතරිනි.

“ඔයාට එහෙම අත් වැටවල් ඕන නෑ කවී.ඔයා හයියයි.මම වුණත් වැඩිය කතාබහ නොකළේ ඒකයි.ඔයාට දැන් සේරම මැනේජ් කරගන්න පුලුවන්..”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles