මල් තුහින – 51

මලිති ඇගේ වේදනාව නිහඬවම දරා ගන්නා තරමට උත්පලා ඇගේ වේදනාව ඝෝෂාවකට නඟමින් සිටියා ය. සෑම නඩු වාරයක්ම අවසානයේම ෆේස්බුක් හරහා වීඩියෝ පළ කිරීම ඇය පුරුද්දක් කර ගත්තා ය. 

“උත්පලාට කමෙන්ට් වලදී හුරේ දාන මිනිස්සු ඉන්බොක්ස් වල එයාට කොච්චර හිනා වෙනවද කියලා එයා දන්නේ නැහැ. ඔයා සද්ද නැතුව ඉන්නේ ඔයා වැරදි හින්දා නෙවෙයි ඔයාට ලැජ්ජාව තියෙන හින්දා කියලා මිනිස්සු කියන්න පටන් අරගෙන.”

උත්පලාට සයිබර් අවකාශයේ මිස සැබෑ ලෝකයේ මිතුරන් අල්ප විය. නමුත් අත නෑර ඇය දරාගත මිතුරියක වූ  දිල්මිට මේ තත්ත්වය තව දුරටත් දරා ගන්නට හැකි වූයේ නැත. ඈ තුහින ඇමතුවේ ඒ හන්දා ය.

“මං මොනවද කරන්නේ දිල්මි. ඇත්තටම මට මේවා මහ ලැජ්ජාවක්. මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවේට් කරලා ඉන්නේ. ෆෝන් එකට ආන්සර් කරන්නෙත් දන්න කියන මිනිස්සුන්ටයි ඔෆිස් එකටයි විතරයි. ඇත්තටම මම යන්න ඇරලා මිනිස්සු කොච්චර මටත් හිනා වෙනවා ඇති ද කියලා මට හිතෙනවා.”

අතිශය පෞද්ගලික ගැටළුවක් පිටතට දුන් විට දී සමාජය එයට අනුකම්පා කරනවාට වඩා හිනැහෙන්නට බලා සිටින බව උත්පලා අවබෝධ කරගන්නේ නැති බව තුහින දනියි. ඇයට එය අවබෝධ කරන්නට ද පහසු නොවේ. ඇයට ඕනෑ වූයේ දික්කසාදය නිසා අගතියට පත් වූ ගැහැනියක ලෙස සමාජයට පෙන්වීම මිස අන් කිසිවක් නොවන බව ඇයට සිටින සීමිත සමීපතමයන් පවා අවබෝධ කර ගැනීම ගැන තුහිනට සැබෑවටම වේදනාවක් දැනිණ. ඇතැම් විට ඇයට කිසිවකුත් නැතිව යන්නට ඉඩ තිබේ.

“කොහොමහරි එයාව බලාගන්න. මට වෙන කියන්න දෙයක් නෑ.”

මිතුරියකට වුවත් ඇය දැරිය හැකිදැයි සිතමින් තුහින පැවසුවේ ය. ඇය සයිබරයේ අතරමං වී හිඳිනා තරමට ගලවා ගැනීම අපහසු බව ඔහු හොඳින්ම දනී.

“ඇත්තටම ඔයා උත්පලා හැදෙන්න ලෑස්ති නම් නඩුව අයින් කරගන්න  කැමතියි නේද?”

මලිති එසේ ඇසුවේ අමනාපයෙන් නොවේ. ඇගේ ලෝකය එක් අතකට කැඩී බිඳී ගොස් අවසන් ය. නමුත් වෙනත් ගැහැනියකට ද ඒ ඉරණමම අත්විය යුතු බව  ඇය සිතන්නේ ද නැත.

“මිනිස්සු ජීවිතෙන් පාඩම් ඉගෙන ගන්න වෙලාවල් තියෙනවා. ඒත් සමහරු කවදාවත් ඉගෙන ගන්නෙ නෑ. සමහරුන්ට කවදාවත් ඉගෙන ගන්න ඕනෙත් නැහැ. සමහර එහෙම පාඩම් ඉගෙන ගන්න එකේ තේරුමකුත් නෑ.”

උත්පලා එයින් අයත් වන්නේ පාඩම් ඉගෙන ගැනීමෙන් තේරුමක් නොවන කොටසට බව තුහින පවසන්නේ මඳහසකින් ය. ඔහු සෑම විටම හෙලන වේදනාකාරී මඳහස පිටුපස ඇති වේදනාව මලිතිගේ හදවත පතුලටම දැනෙන තරම් ය. නමුත් සමහර තැන්වල ඇය නිරුත්තර ය.

“ඔයා, රුවී ගඟේ නොගැලපෙන තැනකින් වෙන් වෙලා එයා සැනසිල්ලෙ සතුටින් ජීවත් වෙනවා දකින්න මට ඕනේ. ඇත්තටම අපි එකට ජීවත් වුණා. ගෙවල් හැදුවා. වාහන ගත්තා. දරුවෙක් හැදුවා. ඒ කියන්නේ ජීවිතේක සෑහෙන දේවල් අපි එකතු වෙලා කරා කියන එකනෙ. නීතියෙන් වෙන් වුණත් ශේන්යා වෙනුවෙන් අපිට මැරෙනතුරුම කතාබහ කරන්න වෙනවා. ඒ නිසා උත්පලා එක්ක තියන ගනුදෙනු සදහටම නවත්තන්න මට බෑ.”

අවසන් නඩු වාරයට යන්නට පෙර දිනයේ ද තුහින කතා කළේ වේදනාකාරී ස්වරයකිනි.

“මට නවීන් ගැන ආයේ හොයන්න උවමනාවක් නෑ. රුවී පැතුම් ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ. ඒත් මං දන්නව ඔයාගෙ තත්වෙ වෙනස්. ඔයාටයි උත්පලාටයි ශෙනූගෙ දෙපැත්තෙන් හිටගන්න වෙන වෙලාවල් ජීවිතේ ඉස්සරහට ඕන තරම් එනවා.”

මලිති හිතාදර මිතුරාව වහා තේරුම් ගත්තා ය. ඇය ඔහුට ආදරය කිරීම හෝ නොකිරීම ගැන තීරණය පසුවට කල් තබා තිබේ. එහෙත් ඔහුගේ ප්‍රාණසම මිතුරියක වී ළඟ රැඳීම ඇයට පුදුමාකාර මිහිරක් දෙන හැඟීමකි. රුවිනි තරමටම තමන් තේරුම් ගන්නා යහළුවෙකු ගැන ඇය මීට පෙර සිතා තිබුණේම නැත.නමුත් දැන් එවැන්නෙකු ලැබී තිබේ.

“ඔය ප්‍රශ්නෙ ඉවර කරගෙන එන්නකො. ඊටපස්සෙ මොකද කරන්නේ කියලා අපි හිතලා බලමු.”

මලිති එසේ පැවසූ අන්දම සිතේ තබාගෙන තුහින අවසන් නඩු වාරය වෙනුවෙන් ගියේ ය. නඩුව අවසන් වූ මොහොතේ ඔහුට දැනුණේ මහාමේරු පර්වතය බිම තැබූ තරම් සතුටකි.

“අද නම් හොඳට බොන්න ඕන. ඩ්‍රග්ස් වලින් අයින් වෙන්න බේත් බිව්වට කමක් නෑ. ඒ ඉතිං උත්පලා එක්ක තරහට පටන් ගත්තු වෙන වෙන ජාතිනෙ. අද නොබී ඉන්න බැරි දවසක්.”

ඔහු සන්තෝසදායක ප්‍රවෘත්තිය සමඟ මලිතිට එසේ කියන්නට අමතක නොකළේ ය. අමිහිරි විවාහයකින් වෙන්වීම සතුටක් වුවත් කාලයක් ළඟ සිටි කෙනෙකු ගිලිහීම වේදනාවක් ද බව මලිති හොඳින්ම දන්නී ය. ඇය ඒ නිසා ඔහුගේ කතාවට පහසුවෙන් හිනැහුණා ය.

“රනුකයි රුවියි එක්ක පාටියක් දාන්න එහෙනම්. කොක්ටේල් එකක්වත් අරන් මාත් සපෝට් එකක් දෙන්නංකො.”

සැමරිය යුතු රාත්‍රියක් සැලසුම් කරමින් සිටිය ද ඒ රාත්‍රිය ඉතා අන්ධකාර බව තුහින දැන සිටියේ නැත.

ඒ සැබෑවටම ඔහුගේ ජීවිතය මත අඳුර තැවරෙන්නට නියමිතව තිබූ රාත්‍රියකි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles