හැමදාම කන මැල්ලුම වෙනුවට කොළ වර්ග හදන්න පුළුවන් රසවත් විදි දෙකක්

ගොඩක් වෙලාවට අපි කොළ වර්ග හදන්න පුරුදු වෙලා ඉන්නෙ මැල්ලුමක් විදියට හෝ සම්බෝලයක් විදියට. ඒකාකාරී රස නිසා සමහර විටක මේවා අප්‍රිය වෙන්නත් පුළුවන්. අද අපි ඔබට රස ම රස වගේ ම වෙනස් ම ආකාර දෙකකට කොළ වර්ග පිසින හැටි කියලා දෙන්නයි යන්නේ.

පිටි තවරා රෝල් කරමු – ස්ටීම් කරලා කිරට උයමු

මේ වට්ටෝරුව සෑදීමට හැක්කේ ලබු දලු, අල දලු හෝ වට්ටක්කා දළු වලින්. මේ ඕනෑම වර්ගයක් මේ සඳහා ගැළපෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය
නොමේරූ කොළ තුනක්
පාන්පිටි මේස හැඳි දෙකක්
හාල් පිටි මේස හැඳි දෙකක්
බිත්තරයක්
වතුර ටිකක්
කුඩාවට කැපූ රතුළූණු
කුඩාවට කැපූ අමුමිරිස්
කුඩාවට කැපූ කරපිංචා
පොල්කිරි කෝප්පයක්
උම්බලකඩ මේස හැන්දක්
උළුහාල් ටිකක්
ලුණු
මිරිස්
කහ
අමු තුනපහ

හදන්නේ මෙහෙමයි

කොළ ටික හොඳින් පිරිසිදු කර ජලය ඉවත් කරගන්න. පිටි,බිත්තරය, ලූණු ටිකක්, අමුමිරිස් ටිකක්, කරපිංචා ටිකක්,ලුණු සහ කහ අවශ්‍ය ප්‍රමාණයට දමා හොඳින් මිශ්‍ර කරගන්න. වතුර ඉතා අඩු ප්‍රමාණයක් දමා උකු මිශ්‍රණයක් සකසා ගන්න. දැන් කොළවල ඇතුල් පැත්තේ මේ මිශ්‍රණය තරමක් ඝනකමට ගා ගන්න. ඉන්පසු සිහින්ව කොළය රෝල් කරන්න. මෙසේ කොළ හතර ම සකස් කරගෙන ඒවා ස්ටීම් කරන්න. එවිට එම රෝල් එක තරමක් ඝනකම් ව සැකසෙනවා. ඉන්පසු අඟලේ පමණ කුඩා කැබලි වලට කපන්න. භාජනයක් ලිප තබා පොල්කිරි, අවශ්‍ය පමණ ලුණු , කහ සහ මිරිස්, තුනපහ ටිකක්, ලූණු, කරපිංචා, අමුමිරිස් සහ උම්බලකඩ එකතු කරන්න. එය නටන විට පෙර සකසා ගත් කොළ එක් කර විනාඩි පහක් පමණ පිස ලිපෙන් බාගන්න. අවශ්‍ය නම් තෙම්පරාදු කරගන්න.

2. කොස් ඇට අහුරක් දාලා කිරි දාලා හින්දවමු.

මේ ආකාරයට සකසන්නට පුළුවන් කොළ වර්ග රාශියක් තිබෙනවා. නිවිති, සාරණ, වට්ටක්කා දළු, අල කොළ, තැල් කොළ, තම්පලා, මුගුණුවැන්න ඒ අතරින් කිහිපයක්.

අවශ්‍ය ද්‍රව්‍ය
කොළ අහුරක්
රතුළූණු
අමුමිරිස්
උම්බලකඩ
කුඩා සියඹල කැබැල්ලක්
කොස් ඇට දහයක් පමණ
උකු පොල් කිරි කෝප්පයක්
ලුණු
මිරිස්
කහ

හදන්නේ මෙහෙමයි
කොස් ඇට ටික සුද්දකර කුඩා කැබලි වලට කපා ගන්න. එයට වතුර කෝප්පයක් පමණ දමා ගන්න. රස අනුව ලුණු, මිරිස්, කහ යොදන්න. රතුලූණු, අමුමිරිස් සහ උම්බලකඩත් එකතු කරන්න. දැන් කොස් ඇට හොඳින් තැම්බී වතුර හිඳෙන තෙක් උයා ගන්න. කොස් ඇට ඉතා හොඳින් තැම්බුණ පසු පොල්කිරි එකතු කරන්න. දැන් නැවත ලිපේ තබන්න. කොළ වර්ගය ඉතා කුඩාවට කපා හොද්ද නටන විට එකතු කරන්න. විනාඩි දෙකක් පමණ උයාගෙන බාගන්න.

Related Articles

Don't Miss


Latest Articles