සඳ ගංතෙර – 34

සමහර අවස්ථාවන් වලදී ජීවිතයට එන ගැටළු වළක්වා ගන්නට තදබල අවදානම් කටයුතු වල නිරතවන්නට සිදු වේ. සඳරැස් ඒ ආකාරයේ ගමනක් යන්නට සිතුවේ හදිසියේ ය. ඔහු නිවාඩු ගන්නේම නැති නිලධාරියෙකු හන්දා නිවාඩුවක් ලබා ගන්නට ගැටළුවක් වූයේ නැත.

“මං ගමනක් යනවා. සමහරවිට මේ ගමන ගිහින් මම පණ පිටින් එන ඉඩ අඩු නිසා මං උඹට ලයිව් ලොකේෂන් එක ෂෙයාර් කරනවා හරිද?”

සඳරැස් පුද්ගලික බැංකුවක සේවය කරන ඔහුගේ පාසල් කාලයේ පටන් හොඳම මිතුරා වූ මලිත්ට ලියා යැවී ය. දන්නා කාලයේ සිට ගැටුමකට පැටලෙන්නට වැඩි වෙලාවක් නොගන්නා ප්‍රාණසම මිතුරා ගැන මලිත්ට දැනුණේ පුදුමාකාර බියකි. අනිත් අතට සඳරැස් දමා ගන්නා තරමට දමා ගන්නේ කෙල්ලන් සම්බන්ධ ප්‍රශ්න ය. එතරමට රූපයකුත් හොඳ රැකියාවකුත් තිබෙන ඔහු නුවුමනා සබඳතා පටලවා ගැනීම ගැන මලිත් මිතුරාට අමතන්නේම පැහැදිලි සිංහලෙනි. එහෙත් කිසිම පලක් නොවේ. සඳරැස් හදන්නට අසීරු ය.

“ඔය යන තැනකට මාත් එනවා මචං”

මලිත් පැවසී ය.එන්නේ පණපිටින්දැයි කියන්නටවත් අසීරු ගමනක් යන මිතුරෙකුට එහෙම යන්නට ඉඩ හැරීම අසීරු ය.

“මේ කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි. අම්මා කියන මනුස්සයා සම්බන්ධ ප්‍රශ්නයක්”

සඳරැස් කිසිම දවසක අම්මා ගැන කතා කරන්නට අකමැති බව මලිත් දැන සිටියේ ය. ඒ හන්දාම ඔහු ද ඒ ප්‍රශ්නය වැඩිපුර කතා කළේ නැත. දැන් සඳරැස් අම්මා දකින්නට යන්නේ නම් එය ජීවිතය සහ මරණය අතර කතාවක් වන්නේ කොහොමදැයි ඔහු සිතන්නට විය.

“මං අම්මා බලන්න යන් නෑ. මං කවදාවත් එයාගේ මූණක්වත් බලන් නෑ. මේ යන ගමන වෙනම එකක්.”

වෙනම ගමනක් වුවත් සඳරැස් තනිව යවන්නට මලිත්ට සිත් දුන්නේ නැත. කුමන හෝ ගැටළුවකට පසු තාරකා අක්කාගෙන් හොඳටම බැනුම් ඇසීම පසුවට තැබිය යුතු ය. මලිත් මිතුරා එවා තිබූ මාර්ග සිතියම ඔස්සේ ගමන් කරන්නට විය.

සඳරැස් කමල් විජේවර්ධන හමුවන්නට ඔහුගේ වාහන අලෙවිසැලට ගියේ ඔහු එතැන ඉන්නා බව හොඳින් දැනගෙන ය. කමල් මුණ ගැසිය යුතු වේ. ඒ තාත්තාගේ රිදවීම දරා ගත්ත ද පුතුගේ රිදවීම දරා ගන්නට නොහැකි බව කියන්නට ය.  සඳරැස් මල්වැන්න පැමිණ ඇති බව දැනුම් දෙන්නැයි පවසා සඳරැස් බලා සිටියේ විශ්වාසයෙනි.ආත්ම විශ්වාසයක් නැතිව මෙවැනි ගමන් ජය ගැනීම අසීරු ය.

“මම සඳරැස්.”

සඳරැස් කමල් විජේවර්ධන දෙස බැලුවේ ආත්ම විශ්වාසයෙනි. දන්නා පරිදි ඔහු හොඳ මිනිසෙකු නොවේ. නමුත් සඳරැස්ට ඒවා අදාළ නැත.

“ඔයාගේ වයිෆ්ට කියන්න අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. අනිත් කාරණාව ඔයාගේ පුතා සහස්. එයා ඔයාගේ අඩිපාරේ ගියාට ප්‍රශ්නයක් නෑ. ඒත් මගේ තාත්තා වගේ මම ඉවසන් නෑ.”

විජිත මල්වැන්න සතු නිහඬ ගුණයත් ඉවසීමත් මේ තරුණයාට නොවේ. කමල් නිහඬවම වසර කිහිපයක් අතීතයට ගමන් කළේ ය. එක් අතකට විජිතගේ ගතිගුණ මොහුට පිහිටන්නට නොහැකි ය.

“තාරකා දුවට තෑග්ග එව්වේ මම. පුතාලගෙ අම්මා නෙවෙයි. ඒ වෙලාවේ අම්මා ඈතක ඉඳන් හරි ආශිර්වාද කරනවා කියලා තාරකා හිතනවට මම සතුටු වුණා.”

කමල්ගේ කතා විලාසය සඳරැස් සෝපහාස සිනාවකින් බැහැර කළේ ය. මේ මිනිසා අක්කාට අම්මාව අහිමි කර දැන් සෑහෙන කාලයකි. එක්වරම ඔහුට අක්කාගේ සතුට ගැන සිතීමම මහා පුදුම වැඩකි. ඕවා බිස්නස්කාරයන්ගේ සීනිබෝල න්‍යායන් ය.

“අම්මට ඔයාලා මුණ ගැහෙන්න තිබුණානම් මම ඇත්තටම සතුටුයි පුතා.”

කමල් එසේ කියද්දී තමන්ට නම කියා කතා කිරීම ප්‍රමාණවත් බව සඳරැස් පැවසී ය. මේ දබඩ්ඩර යෞවනයා සමඟ මත ගැටුම් ඇති කර නොගන්නට කමල් සිතා ගත්තේ ය. එහෙම දඩබ්බර කාලයක් ඔහුට ද තිබී තියේ. 

“අපිට ඔයාගේ වයිෆ් මුණ ගැහෙන්න ඕන නෑ. අක්කයි මායි කොහොමහරි ජීවත් වුණානෙ. අපේ තාත්තා අපිට ඉගැන්නුවා. ගෑනියෙක්ට ලැබෙන්න ඕනෑම වර්ගෙ හස්බන් කෙනෙක් අපේ අක්කට ලැබුණා. ඒ හන්දා අපිට ඔයාගේ වයිෆ් නෑ කියල කිසිම පාඩුවක් නෑ.”

මෙවැනි ආඩම්බර කතා කියන වෙන ඕනෑම කෙනෙක්ට මේ කාර්යාල කාමරයේ රැඳී සිටින්නට ඉඩක් කමල්ගෙන් නොලැබේ. නමුත් මේ වෙනස් කතාවකි. ඔහු සඳරැස් දෙස බලා සිටියේ කඩඉම් ප්‍රශ්නය වෙනුවෙන් ය.

“පුතාට මේ වෙලාවේ ප්‍රශ්නෙ තියෙන්නෙ අම්මා එක්ක නෙවෙයිනෙ. සහස් එක්ක. සහස් ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා.”

බයක් නැත. සහස් ළඟදීම මුහුණ තලා ගන්නට නියමිත ය. සඳරැස් ඒ වචන වාවාගෙන බලා සිටියේ ය.

(දිග කොටසකින් හෙට හමුවෙමු. අද සැක තැනක් හමු වුණානම් ඒ සැකය කමෙන්ට් එකකින් තියා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles