“අනේ දරුවට අඬන්න දෙන්න එපා නංගි..”
සුදේවගේ අක්කා කාමරේට කඩා වැදුණේ කුණාටුවක් වගේ.ඊටපස්සෙ මගේ අතින් අඬන දරුවා අරගත්තේ උදුරලා වගේ කියල මට හිතුණා.මම ඔහේ බලාගෙන හිටියේ මගෙත් ශක්තිය බිංදුවටම වැටිලා නිසා වෙන්න ඇති.අක්කා මගේ අලුත ඉපදුණු පුංචි දූට එයාගේ පියයුරේ කිරි පොවන හැටි මට පෙනුණේ හීනෙකින් වගේ.
“මොකක්ද දුව ඔය කරන්නේ?”
සුදේවගේ අම්මා එහෙම අහගෙන කාමරේට එනකොටත් මම හිටියේ ගල් වෙලා.දැන් දෙන්නම එක්ක මට බනියි.මගේ දරුවට බොන්න කිරි ටිකක්වත් හරියට නැති මම මොන අවාසනාවන්ත ගෑනියෙක්ද කියලා මං හිතන්න ගත්තා.
“බබාට කිරි නෑ.මෙයාට කිරි නැතුවට මට තියනවා..”
අම්මා අක්කා දිහා බැලුවේ කම්මුලක අතක් ගහගෙන.ඊටපස්සෙ යන්තමට නින්ද යමින් හිටිය මගේ දූව පරිස්සමට අතට අරගෙන පපුවට තුරුළු කරගත්තා.අම්මාගේ සනීප ස්පර්ශයට ද මන්ද දූ ආයෙත් නිදි.
“මේ දවස්ගාණක දරුවෙක්.එයාට කිරි පොවන්න එයාගෙ අම්මා ඉන්නව.අනේ කරුණාකරලා පණ්ඩිත වැඩ කරන්න එපා ලොකු දුව.”
සුදේවගේ අම්මා එයාගෙම දුවට බනිමින් හිටියා.මං ඒත් හිටියේ ඔහේ බලාගෙන.
“මේ මනුස්සයට කිරි නෑ.මේ බලන්න.මට ගලනවා..”
ඇත්ත,අක්කාගේ පපුව කිරිබරින් තෙත් වෙලා.මං මහම මහ අවාසනාවන්ත ගෑනියෙක්.
“ඉතිං! දැන් මේ දරුවා අඬන්නේ කිරි නැතුව කියලා දැනගන්න ඔයා දොස්තර විබාගෙ ගත්තෙ කවද්ද?”
සුදේවගේ අම්මා දූ කොට් එකේ තියන ගමන් අහන්නේ අවඥාවෙන්.මම ඒත් ඔහේ බලාගෙන හිටියා.
“ඔය ළමයා තොටිල්ලේ තියන්න එපා අම්මේ.අම්මලා අපිව හැදුවේ එහෙමද?”
සුදේවගේ අක්කා ආයෙම කෑගැහුවා.මං ඒත් ඔහේ බලාගෙන හිටියා.
“මම ඔයාලව යැව්වෙ ගමේ ඉස්කොලෙට.ඔයා පුතාව යවන්නේ ඉන්ටර්නැෂනල් එකකට.මට ඔයාලව හම්බුණේ මේ ටවුමේ ඉස්පිරිතාලෙ.ඔයාට පුතාලා දෙන්නම ලැබුණේ ප්‍රයිවෙට් ඉස්පිරිතාලෙක.ඇයි ලොකු දුව එහෙනම් ඔයා ඒවට මගේ තාලේ නැත්තේ..”
සුදේවගේ අක්කා මොන මොනවද කියන ගමන් තර්ක කරන්න පටන් ගත්තා.මං බලාගෙන හිටියේ තොටිල්ල දිහා.මගේ දූ අඬලා අඬලා නිදි.එයා මොනවද ඒ කියන්නේ.ඇත්තටම එයාට මගේ කිරි මදිද එයා ඉන්නේ බඩගින්නෙද කියලා මට තේරෙන්නේ නෑ.අපි දෙන්නාම හරි අසරණයි කියලා විතරක් මට හිතෙන්න පටන් ගත්තා.
“මෙයාට මං කොච්චර කිව්වද අම්මා ප්‍රෙග්නන්ට් කාලෙ ඔච්චර වමනෙ දදා නොයිද හොඳට කන්න කියලා.ස්කෑන් එකෙන් පස්සෙ දුවෙක් කිව්වමත් මම ඒක කිව්වා.හොඳට කන්න කියලා.කෙල්ලො ලස්සනට ඉන්න එපැයි.බලන්න අර දරුවගෙ කළුපාට..”
උපන් වෙලාවේ රෝස මලක් වගේ මං දැක්ක මගේ දරුවට සුදේවගේ අක්කා එහෙම කියනකොට නම් මම ඔහේ බලන් ඉන්න එක නැවැත්තුවා.කෑගහලා අඬන මං දිහා එයා පුදුම වෙලා බලනකොට සුදේවගේ අම්මා අක්කා දිහා බැලුවේ නපුරු තාලෙට.
“ලොකු දුව! වහාම මෙතනින් එළියට යන්න.එළියට නෙවෙයි ඔයා ගෙදර යන්න.ආයේ මගෙන් නාහා මේ පැත්තෙ එනව නෙවෙයි..”
අක්කා එළියට ගියේ ගස්සාගෙන.අම්මා ඇවිල්ලා මාව තුරුළු කරගත්තා.මට යන්තම් අවුරුදු දාසයේදී පිළිකාවක් හැදිලා යන්න ගිය මගේ අම්මා සිහි වෙන තරම් වෙලාවක් සුදේවගේ අම්මා මාව බදාගෙන ඔළුව අත ගෑවා.
“දුවට මං රස්නෙන් තේ එකක් ගේන්නද? “
එයා අහන්නේ කරුණාවෙන්.
“මගෙ දුව ඇයි අඬන්නෙ අම්මේ..”
මම එහෙම ඇහුවේ ඉකි ගහන අස්සෙන්.අම්මා ආයෙත් මගේ ඔලුව අතගෑවා.
“ළමයි දෙන්නෙක් හැදුවට මටත් ඒකට උත්තර නෑ පුතේ.එක එක බබාගේ හැසිරීම වෙනස්නෙ.මට ඒ නිසා ඒකට හේතුවක් කියන්න බෑ.මං මිඩ්වයිෆ් නෝනාට කතා කරා.එයා තව ටිකකින් එයි.දුව කලබල වෙලානම් හොඳ නින්දක් දාන්න ඉඩ දෙන්න කියලා එයා තමයි කිව්වෙ..”
අම්මා කොට්ටයක් ඇඳ විට්ටමට හේත්තු කරලා මාව හාන්සි කරේ එහෙම කියන ගමන්.
“අපි හවස ඩොක්ට ගාවටත් යමුකො.පුතාට මං කියන්නම් අපොයිමන්ට් එකක් දාන්න.”
අම්මා මේ හැමදේම සැහැල්ලුවෙන් දකින එක ගැන මට දැනුණේ පුදුමාකාර සතුටක්.සැනසිල්ලක්.
“මං අවාසනාවන්ත අම්මෙක්ද අම්මේ?”
උණු කිරි තේ එකක් අරගෙන ඇවිත් මං ළඟින් වාඩි වුණු අම්මාගෙන් මං ඇහුවේ මගේ හිතට වද දෙන ලොකුම ප්‍රශ්නෙ.
“අලුතෙන් අම්මා කෙනෙක් වුණාම ඒ දරුවට පුරුදු වෙන්න කාලයක් යනව පුතේ.එතකොට වෙන සුළුසුළු අඩුපාඩුකම් කියන්නේ ඔයා නරක අම්මෙක් කියලා නෙවෙයි.අලුත් අම්මෙක් කියලා.අච්චර ලස්සන සුරංගනාවියක් ලැබිච්ච ඔයාගේ තියන අවාසනාවන්තකම මොකක්ද?”
අම්මා එහෙම අහගෙන එළියට ගියේ දොරට තට්ටු කරන හඬට.මිඩ්වයිෆ් මිස් එන්න ඇති.මට දැනුණේ ලොකු බරක් බිමින් තියපු තරමේ සැනසිල්ලක්.