සැරිසරන්නී -06

මා සුපිරි වෙළෙඳ සැල දෙසට අඩියක් දෙකක් තබත්දී, රවීන් ද මා සමගින් පිය නගනා බව දැනිණි. ඔහු වූ කලී දැවැන්ත පෞරුෂයනි. මා සිටියේ ඔහු ගේ උරහිසටත් වඩා පහළට ය. දවස පුරා හැඳ සිටියත් රැල්ලක් හෝ නො වැටී ඉතා ම පිළිවෙලට තිබූ ඔහු ගේ ඇඳුම්, ඔහු ප්‍රශ්නයක ඉන්නා බව හිතන්නට මට කොහෙත් ම අනුබල නොදුන්නේ ය. ඒ ශරීරයෙන් මුදු පිරිමි සුවඳක් විහිදුණේ ය.මට හිතුණේ ම ඒ විලවුන් සුවඳක් නොව ඔහු ගේ ශරීරයෙන්, ඒ ආත්මයෙන් හමනා සුවඳක් සේ ය.

මම ඔහු ගේ කෙටි සෙවනැල්ල පාගමින් පිය නැගුවෙමි. ඔහු ඇවිද යන මගේ සිරුරේ වම් පැත්ත, අයිස් කුට්ටියකට හේත්තු වී තිබුණ ලෙස සීතලෙන් සීත වී තිබිණි. අප අතරේ වචන හුවමාරුවක් සිදු වූයේ ම නැත. නමුත් මගේ හදවත නම් දොඩමළු ව තිබිණි. ඔහු ගේ ත් එසේ දැයි නො දනිමි. නමුත් මට දැනුණේ එසේ ය කියා ය.

සුපිරි වෙළෙඳ සංකීර්ණයේ අයිස්ක්‍රීම් සහිත අධි ශීතකරණයේ වීදුරු දොර තල්ලු කළේ මා ය. තත්පර කිහිපයක් ඇතුළත වන අයිස්ක්‍රීම් වර්ග වල රසය ගැන හිතෙන් තක්සේරුවක් කළ මම, අයිස් කෝන් එකක් ගන්නට අත දැමුවෙමි. එතකොට ම, රවීන් ද ඒ අයිස් කෝන් එක ම අල්ලා ගනිමින් සිටියේ ය. අධි ශීතකරණය තුළට නැඹුරු වී ගත් වන උන් අපි දෙදෙනා ම හිස් හරවා අපේ දෙස බැලුවෙමු. වඩාත් ආසන්න අහසක අකුණු පෙළක් පුපුරා ගියේ ය.

“මං ගන්නං”

ඔහු එසේ සිටියදී ම හෙමිහිට මිමිණුවේ ය. 

‘මං ගන්නං අයියෙ’ යනුවෙන් මගේ හිත මිමිණුවේ ය. නමුත් මුව තිබුණේ ගොළු ගැසී ය. උගුරේ යමක් සිර ව තිබූ සෙයකි. මම මගේ අත ඉවතට ගනිමින් ශීතකරණය ළඟ සිට ගතිමි. ඉග්ලූ නිවසකට ගොඩ වූ වා සේ සියොළඟ සීතලෙන් අයිස් වී තිබිණි.

රවීන් අයිස් ක්‍රීම් කෝන් තුනක් ගෙන මවෙත පෑවේ ය. මම ඒ නේත්‍ර චුම්බක ධාරාව ඇතුළේ ම සිටියෙමි. එකී ක්ෂේත්‍රයේ බලය මගේ මුළු සිරුර පුරා ම ක්‍රියාත්මක වෙමින් තිබිණ.

“ඇද්ද…තව ඕනද…”

රවීන් ඇසුවේ මා සසලවා ගෙන ය. ඔහු එසේ විමසූ ආකාරය තුළ මට දැනුණේ අයිතිවාසිකමක් ගැන බරපතල හැඟීමකි. මා ඔහු ගේ ය වාගේ දෙයක් යටි හිත විසින් අත් විඳිනා ලදී. 

එපා කියා කියන්නට හෝ කට හොලවා ගත නො හැකි ව මම හිසෙන් ඒ බව හැඟවීමි. 

“තව මොනාද ඕනෙ…”

ඔබට මේ සියල්ල පැහැදිලි කොට කියන්නට මට තේරෙන්නේ නැත. නමුත් පුංචි ගෑනු ළමයෙකු ගේ හිතකට, පිරිමියෙකු තාත්තා ගේ භූමිකාවෙන් සමීප වත්දී ඇගේ හදවතේ භූමිකම්පා ඇති වන්නේ ය. ‘ තව මොනාද ඕනෙ’ කියන ප්‍රශ්නය මගේ අභ්‍යන්තරයේ නින්නාද වන්නට විය. ඒ තාත්තා ගේ හඬිනි. ඒ කතා කළේ රවීන් ද නැත්නම් තාත්තා ද කියා මට වෙන් කොට හැඳින ගත නො හැකි වූ තරම ය.

මම ඔහු ගේ මූණ දෙස බලා ගතිමි. උගුර යටින් ඇති වන කැළඹීම පාලනය කර ගෙන කතා කළෙමි.

“මොනාත් එපා අයියෙ”

සමහර මොහොතවල් උදා වන්නේ ජීවිත කාලයට ම එක් වතාවකි. ඒවා සැබවින් ම එක් වතාවක් පමණක් උදා වන එක හොඳ ය. එහෙම උදා වන එක ප්‍රමාණවත් ය. නො එසේ විණි නම් ඒ කම්පන තරංග වල සංඛ්‍යාතයට කිහිප වරක් නිරාවරණය විය නො හැකි ව, ඒ අධි සංඛ්‍යාත තරංග වලට ඔරොත්තු දිය නොහැකි ව අප මියැදෙන්නට වුව පුළුවන. 

මට මේ එහෙව් මොහොතකි. 

කවුන්ටරයට මුදල් ගෙව්වේ ඔහු ය. මම නො දැරියක සේ අයිස් ක්‍රීම් ටික පපුවට තුරුලු කර ගෙන සිටියෙමි. මගේ ජීවිතය තුළ මා ඉමහත් අභිරුචියකින් ජීවත් වූ විනාඩි කිහිපය ලෙස එය මගේ ඉතිහාසයට එකතු වන්නේ ය.

“උඹල දෙන්නෙක්ම ගියේ මේ අය්ස්ක්‍රීම් තුන ගේන්නද බං…”

රිය තුළ සිටි ලොකු අයියා සමච්චලයෙන් ඇසුවේ ය. රවීන් ආසන පටි තද කර ගත්තේ සිනහ වෙමිනි.

“ඉතිං මේ නංගි කිව්වෙ ඇති කියල. මං ඒත් ඇහුව වෙන මොනාත් අරන් දෙන්නද කියලත්…එපා කිව්වනෙ”

“ඒ උඹද එතකොට මේවට ගෙව්වෙ…ඒයි ටිකිරිමලී…දැං ලොකුවට කිව්වෙ ට්‍රාන්ස්පෝට් දුන්නට බෙස්ට් කොලිටි එක්ස්පෙන්සිව් අයිස්ක්‍රීම් අරං දෙනව කියලනෙ. කෝ බලන්න මගෙ සූකිරි කැටේගෙ මූණ”

මම මගේ උකුලේ ටික වෙලාවක් මූණ හංගා ගෙන හිටියෙමි.

“මං ගෙවන්න තමා හැදුවෙ. ඒත් මේ අයිය පේ කළානෙ”

“උඹද…පර්ස් එක අරින්න එපා උඹ”

“අනේ මේ ඉන්නව. මං ලෝබ නෑ හරිද…”

“හරි හරි ඒකනං මං දන්නව. හදිස්සියෙ මට ලෝන් එකක් එහෙම ගහගන්න ඕන වෙච්ච වෙලාවට නෑ බෑ නොකියා දෙන කෙල්ලනෙ. ආයෙ දුන්නත් නැතත් අහන්නෙවත් නෑ ඒ ගැන. කාපං කෙල්ලෙ අයිස්ක්‍රීම්”

“මොනාද අනේ…ඔයා හැම තිස්සෙම මාව බයිට් එකට ගන්නව”

මම ලොකු අයියා ගේ ඔළුවට ඇන්නෙමි. 

එදා හවස මා ගෙදර ආවේ හදවතේ මල් යායක් විකසිත ව පවනේ සැලෙත්දී ය. අපේ ගේට්ටුව ඉදිරියේ ර්ය නැවතෙත්දී තාත්තා තාප්පය දිගට මල් පිපුණු කහ සහ තැඹිලි පැහැති දහස්පෙතියා මල් යායේ වියළුණ මල් කඩමින් සිටියේ ය. මා රියෙන් බසිත්දී තාත්තා හොඳින් එදෙස බැලුවේ ය. ලොකු අයියා ද තාත්තා සිටි නිසා රියෙන් බැස ගත්තේ ය.

“ඔන්න දුනුකේ මාමෙ ඔයාගෙ දූ සිඟිත්තව එක්කගෙන ම ආව”

තාත්තා ලා සිනහවක් පෑවේ ය. ඒ සිනහව ආඩම්බර පාට ය. කොහොමටත් තාත්තා ට ආඩම්බර ගති තියේ. ඥාතීන් ව ඔහු ඒ තරම් ගණන් ගන්නා බවක් නො හඟවයි. නමුත් අවශ්‍යතාවයකදී ඔහු ගෙන් ව්ය යුතු දේ නො පිරිහෙළා ඉටු කරයි.

“රවීන් මේ අපේ දුනුකේ මාමා. මගෙ ලොකු නැන්දා බැඳල ඉන්නෙ මේ මාමාව. අපේ ටිකිරිමලීගෙ තාත්තා”

රවීන් රියෙන් බැස්සේ ය. ඔහු තාත්තා දෙස බලා හිස තරමක් පහත් කොට ගෞරවනීය සිනහවක් පෑවේ ය. ඒත් තාත්තා ඒ සිනහව ඒ තරම් බරපතල ලෙස පිළිගත් බවක් නො පෙනිණ. ඔහු ගේ සිනහව ලා එකකි. රවීන් ඒ ගැන වරදවා සිතාවියි බියක් මා තුළ ඇති විය.

“රවීන් අපේ ගෙදර බෝඩ් වෙලා ඉන්නෙ මාමෙ…ඊයෙ ඉඳං. මචං රවීන් දුනුකේ මාමා තමයි අපේ පවුලෙ ඉන්න හිත හොඳ ම මනුස්සය. මට මතකයි මං ඉස්කෝලෙ යන කාලෙ…ඒ ලෙවල් කරද්දි…තිබුණෙ එක යුනිෆෝම් එකයි. දවසක් උදේ බලනකොට ශර්ට් එක මීයො කාල කියහංකො. අපේ තාත්තා කිව්වෙ මොකද්ද දන්නවද…උඹ ඉතිං ඉස්කෝලෙ ගියත් ඇති වැඩක් නෑනෙ. ඉගෙන ගන්නෙ නෑනෙ. අලුතෙන් ශර්ට් එකක් මස්සෝන එකත් අපරාදෙ. ඔන්න ඔහොම ගෙදරට වෙලා හිටපං කියල. ඇයි ඉතින් මල්ලිනෙ බ්‍රයිටා. මාව ගණං ගන්නෑ ගෙදර අය පිච්චියකට. මට එදා මාර දුකයි මචං. මං පාර දිගේ මෙහෙම ඇවිදිනකොට දුනුකේ මාමා ඔහොම ගේට්ටුව ළඟ ඉඳල ඇහුව මොකද ඉස්කෝලෙ ගියෙ නැද්ද කියල. එදා මාමත් නිවාඩුවක් අරං ඉඳල තියෙන්නෙ. මං කිව්ව ශර්ට් එක මීයො කාපු සීන් එක. මාමා එවෙලෙම සල්ලි දුන්නා මචං ටේලර් ශොප් එකට ගිහිං ශර්ට් එකක් මහන්න මෙශර්මන්ට්ස් දෙන්න කියල. මට ඒ සිද්දියනං මැරෙනකල්ම අමතක වෙන්නෙ නෑ ඇත්තමයි..මාමනං මාමෙ…කියල වැඩක් නෑ. මනුස්සකම ගැන ඒ මුල්ම පාඩම මං ඉගෙන ගත්තෙ මාමාගෙන්”

“ඒයි…තේ බොන්න”

කියා ගෙන අම්මා පිටතට එනවා ඇසිණ. ඕ ගේට්ටුවෙන් හිස පිටතට පොවා බැලුවා ය.

“ආ…මලිත් නෙ. මං බැලුවා කවුද කතා කරන්නෙ කියල”

“තේ හැදුවනං මලිත්ලටත් තේ ටිකක් බොන්න දෙන්න”

කියමින් තාත්තා වත්ත ඇතුළට ආවේ ය.

“එන්න ලොකු පුතා.මං තේ ටිකක් ලෑස්ති කරන්නං”

අම්මා ඇරයුම් කළා ය. මගේ හිතේ මහත් සතුටක් ඉපදිණි. මම රවීන් දෙස බලා ඇස් වලින් පමණක් ඔහු ට ඇරයුම් කළෙමි. 

“යං එහෙනං තේ ටිකක් බීලම යමු”

ලොකු අයියා රවීන් ගේ පිටට අතක් තබා ඔහු ව ඉස්සර කරගෙන අපේ ගෙදරට ගොඩ විය.

අද හරි ලස්සන දවසක් කියා මට සිතිණ. මම ශීතකරණය හැර එහි වූ චොක්ලට් රෝල් එකක් ගෙන තීරු කැපුවෙමි. එහෙම දෙයක් හෝ ශීතකරණයෙහි ඉතිරි ව තිබීම ගැන දෙවියන් ට ස්තූති කළ යුතු ය. නංගී ඕවා ඉතිරි කරන්නේ නැත!

චොක්ලට් රෝල් ද, අපේ ගෙදර නො වරදින කෝලිකුට්ටු කෙසෙල් ද බන්දේසියක තබා මම ආලින්දයට ගෙන ගියෙමි. තාත්තා රවීන් හා ලොකු අයියා සමග කතාවේ සිටියේ ය. මම වීදුරු කෝපි මේසය මතින් බන්දේසිය තැබුවෙමි.

“කන්න”

පොදුවේ එසේ කීවාට එක මොහොතකට මගේ ඇස් රවීන් වෙත පා ව ගියේ ය. තාත්තා සිටිනා පිසා එතැන රැඳෙන්නට මවෙත වූයේ බියකි. මම ඉක්මනට යළිත් මුළුතැන්ගෙට ගියෙමි. 

“තාත්තා ඉතිං තේ පැන් දන්සල් දාන්න හරි හපනනෙ. මට ඉවර කර ගන්න මැහුමකුත් තියෙනව. තව ටිකකින් එයි ගෙනියන්න”

එවන් නෝක්කාඩවක් කීවා ට අම්මා ගේ හිතේ ද තේ පැන් දන්සැල් පැවැත්වීම ගැන අමනාපයක් නැත. කාට දන්සල් දුන්නත් ඒ අම්මා ගේ නෑයෝ ය. අයියලා නික්ම ගියේ තවත් හෝරාවක් පමණ කතා කරමින් සිටීමෙන් පස්සේ ය. තේ සාදා දී අම්මා මැෂිම ළඟ හිඳ ගත්තා ය. මම සෝදා ගෙන ඇඳුම් මාරු කර ගෙන ආවෙමි. එතකොට අයියලා නික්ම යන්නට අසුන් වලින් නැගිට ගනිමින් සිටියහ.

“අපි යන්නද එහෙනං…”

ලොකු අයියා පොදුවේ කාගෙනුත් සමු ඉල්ලුවේ ය. මගේ ඇස් රවීන් පස්සේ දිව්වේ ය. ඔහු මට ඉතා සිනිඳු වූ සිනහවක් දී ගියේ ය. මම එය හිතින් තුරුලු කර ගෙන සිටියෙමි. 

පසු දා සුනෙත් ගේ මුහුණේ වෙනසක් වූයේ නැත. ඔහු සුපුරුදු ළෙංගතු කමෙන් මා හා උදේ කෑම ගත්තේ ය.

“මං මේ කල්පනා කළේ ඔයා වෙනස් වෙච්ච තරං කියල”

ඔහු එසේ කීවේත් සිනහ වෙවී ය.

“වෙනස්…මං…”

මම ඇස් උඩ හිඳුවා ගතිමි.

“මොකද්ද මගෙ වෙනස…”

එසේ ඇසුවත්, ඊයේ වෙනස් වී හිටියේ ඔහු බව මම නො කියා සිටියෙමි. 

“වෙනදට නං මං වැඩකට ගියාම රෑට කෝල් කරල අහනවනෙ මොකද වුණේ කියල. ඒත් ඊයෙ නිකංවත් කතා කළා ද…මං ඒත් රෑ වෙනකලුත් බලං හිටිය දැං කතා කරයි දැං කතා කරයි කියල”

“ඉතිං එච්චර බලං හිටියෙ…ඔයාට තිබුණනෙ එහෙනං මට කෝල් කරන්න. ඕක මං ම කතා කරන්න ඕන කියල නියමයක් තියනවද…”

මම ඒ මොහොතට අවශ්‍ය නැති තරම් කේන්තියක් ගෙන ඔහු ට සැර කළෙමි. නමුත් හදවත ඇතුළේ සියුම් පසු තැවීමක් විය. මට සිතා ගත නො හැකි වූයේ, සුනෙත් කීවා සේ ම කොහොම මට එය අමතක වූවාද කියා ය. 

පෙර දා රාත්‍රියේ ඉක්මනින් ම මම නින්දට ගියෙමි. හිතේ තුරුලු වී තිබුණේ රවීන් දී ගිය සිනිඳු සිනහව ය. මට අනිත් සියල්ල අමතක කරන්නට ඒ සිනහව සමත් වී තිබූ බව දැන් වැටහේ.

“සොරි ඉතිං. ඊයෙ රෑ මට ඉක්මනට නින්ද ගියා”

මම සුනෙත් ගෙන් සමාව ඉල්ලා සිටියෙමි. නමුත් ඒ රාත්‍රිය මට බෙහෙවින් නින්ද පමා කළ එකක් බව ඉඳුරා කිව හැක.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...