මට තනි වීමේ උවමනාවක් දැනෙන්නට විය. ලොකු අයියා අප වෙත ආවේ ‘කෝ කෝ තේ බොමු’ කියමිනි. නමුත් සැබවින් මා වෙත එහෙම සැහැල්ලු මානසිකත්වයක් වූවා නොවේ.
“මේ යං යං ඒ ළමයට නිදා ගන්න දීල”
කියමින් රවීන් ලොකු අයියා ව ගෙදර යන්නට පෙළඹුවේ ය. ඔහු ඒ තරම් පහසුවෙන් මා තෙරුම් ගත්තේ කෙසේ ද? මම ඔහු වෙතට ස්තූති පූර්වක බැල්මක් හෙළුවෙමි. ලොකු අයියා අප දෙදෙනා ම දෙස මාරුවෙන් මාරුවට බැලුවේ ය.
“මං නැති චුට්ටට මූගෙ හිත වෙනස් කරලනෙ”
ඒ කතාවට නම් මට සිනහ නැගෙන්නට ආවත් මම ඒ සිනහව හිත අස්සේ ම හංගා ගතිමි.
“දැං ගෙදර තේ හදයි අනේ”
කියමින්, රවීන් ට ද එක බැල්මක මතකයක් දී මම ගෙට ගියෙමි.
ඉතින් මොන නිදි මතක් ද? නමුත් මම ඇඳ බදා ගතිමි. හිත ඇතුළේ මල් පෙරහැරක් යමින් තිබිණි. දෙපතුල් වල සීතලක් හා පණ නැති ගතියක් විය. පපුවේ අමුතු ම කැළඹීමක් විය. ඒ සියල්ලෙහි මිහිරක් කැළතී තිබිණි. නමුත් ඒ මිහිරත් එක්ක නො සන්සුන් බියක් ද නො වුණා ම නොවේ.
රාත්‍රී කෑම තම තමන් ගේ ගෙවල් වල උයා ගැනීමෙන් පසු කිරි දානයේ උත්සවශ්‍රීය අවසාන වී යන්නේ ය. නමුත් ඒ හදවතින් මා පෙම්වතියක ගේ තත්වයට පත් කරමිනි.
පෙම් කරන්නට දෙදෙනෙකු හිඳිනවා නම් හොඳ ය. නමුත් තනිව වුව පෙම් කරන්නට බැරි කමක් නැත. ඒක පාර්ශ්වික ප්‍රේමයක් යනු බරකි. දුකකි. ගින්දරකි. නමුත් ඒ තරම් පරිත්‍යාගශීලී හැඟීමක් ප්‍රේමයේ වෙන කිසිදු ඉසව්වකින් ස්පර්ශ කළ නො හැකි ය.
“චමත්කා අර කොල්ලට ලව්ද කොහෙද…අර එහෙ බෝඩර්…ලොකු අයියගෙ යාළුව”
අප රෑ කෑම පිසින ගමන් මුළුතැන්ගෙයි දී නංගී අලුත් ම ආරංචිය කීවා ය. මම ඇතුලතින් පිච්චී ගියෙමි. ඒ දැවීමෙන් මගේ අළු ඉතිරි නො වූවා පුදුම ය. එසේ නම් මගේ ඊර්ෂ්‍යාව සැබෑවක් බවට පත් වෙමින් තිබේ. මට දැනුණ හැඟීම පුදුම අසරණ කමකි. ඒ මොහොතේ මා සිටියේ පසු දා කෑම ගෙන යාම සඳහා පළා මිටියක් ඇහිඳිමිනි. මගේ අත් වෙව්ලනවා මට දැනිණ. මේ කතාවේ රැජිණ බවට හදිසියේ ව චමත්කා පත් වී තිබේ. මා ඈත කොනකට විසි වී ගිය දුහුවිලි පොදකි.
“මේ ළමය කතා කරන වචන!”
අම්මා පුරුදු ලෙස නංගිගේ භාෂාව විවේචනය කළා ය. නමුත් වෙනදා සේ මට ඒවාට සිනහ වන්නට හෝ නංගී අවුස්සනු වස් මොනවා හෝ කියන්නට සිතුණේ නැත. මම මුළුමනින් අකර්මණ්‍ය ව සිටියෙමි.
“ඇයි චමත්කා එහෙම දෙයක් කිව්වද…”
නංගිගේ වචන ගැන මුලින් අප්‍රසාදය පල කළ ද අම්මා ට ද ඒ ඕපාදූපය දැන ගැනීමේ දොළක් පහල ව තිබේ.
“කිව්වෙ නෑ. හැබැයි ඉතිං ඕන බූරුවෙකුට තේරෙනව ඒක. ඒ කොල්ලගෙ කරේ යන්නනෙ හදන්නෙ”
“කසාද බැඳල ප්‍රශ්නයක් ඇති කරං ඉන්න කෙනෙක්නෙ. විහිං අමාරුවෙ වැටෙන්න හදනව අපේ එවුනුත්”
දෙවන වතාවටත් මගේ සියොළඟ දැවී ගියේ ය. අසාධ්‍ය රෝගයකින් පෙළෙනා තැනැත්තෙකු සේ මා හුස්ම ගත්තේ ත් අමාරුවෙනි.
“ඒ කොල්ලා ගණං ගන්නෑ. මෙයානෙ දඟලන්නෙ…කොල්ලො දැකල නෑ වගේ”
“අනේ එක අතකට අපිට මොකෝ…ඒගොල්ලන්ට හොඳ හින්දනෙ පිරිමි ළමයිව ගෙවල් වලම නතර කරං තියෙන්නෙ”
අනුන්ගේ දේවල් ගැන කතා කිරීම ගැන හෘද සාක්ෂියේ චෝදනාවෙන් නිදහස් වන්නට අම්මා අවසානයේ එසේ කීවා ය.
චමත්කා රවීන් ගැන පිස්සුවෙන් දඟලන බවට කසු කුසුවක් ඉන් පසු නෑයන් අතරේ පැතිර ගියේ ය. මේ මහා පවුල සමන්විත වූයේ ආච්චා ගේ දරුවන් සය දෙනා ගේ දරු පවුල් වලින් වී ද, දැන් ඒ මහා පවුල බිඳී ගොස් ඇති වූ ක්ෂුද්‍ර පවුල් අතරේ නොයෙකුත් අර්බුධ තිබුණේ ය. විශේෂයෙන් ම පවුලට පිටතින් සම්බන්ධ වූ ලේලිවරුන් නිසා මේ ගැටළු වල ඇති වීමත් පැවතීමත් වර්ධනය වීමත් සිදු විය. ඔවුන් කැමති තමන් ගේ දරුවන් ට විතරක් ලෝකයේ තිබෙන හොඳ ම දේවල් ලැබෙනවා නම් ය. අනිත් දරුවන් ට හොඳක් වෙත්දී,ඔවුන් ඉගෙනීමට දක්ෂ වෙත්දී, ඔවුන් උසස් පාසල් වලට යත්දී, ඔවුන් ජයග්‍රහණ ලබත්දී, ඔවුන් හොඳ රැකියා අවස්ථා ලබත්දී, කොටින් ම කියතොත් ඔවුන් දියුණු වී ඉහලට යත්දී අනිත් පවුල් වලට ඉවසා බලා සිටිය නො හැකි රෝගයක් සෑදේ. මූණට හොඳ මූණ පෙන්නුවාට මේ නැන්දලා සිය ස්වාමි පුරුෂයන් ගේ ඔළු වලට ද නොයෙකුත් විෂ බීජ දමා සහෝදරයන් අතරේ විටින් විට බිඳීම් ඇති කළහ.
ඉතින් චමත්කා සම්බන්ධ මේ කතාව ඔවුන් ට ටික කලකට තලු මැරිය හැකි මාතෘකාවකි.
තාත්තා ගේ ප්‍රතිපත්ති නිසා දෝ අපේ ගෙදර අය අනුන් ගේ කිල්ලෝට වල ඇති හුණු ගැන හොයන්නට හෝ ඒවා ට හොඳ වැඩේ යි අශිර්වාද කරන්නට යන්නේ නැත. නමුත් වෙනදා මෙහෙම අවස්ථාවකදී නැන්දලා ගේ දෙපිටකාටු වැඩ ගැන දොස් කියනා මම, මේ අවස්ථාවේදී මට ම හිතා ගත නො හැකි ලෙස ගොළු වී සිටියෙමි.
සත්තකට මට කියන්නට දෙයක් තිබුණේ නැත. මා කාට නම් දොස් කියන්න ද? විවාහක පුරුෂයෙකු ගේ ඇඟේ එල්ලෙන්නට යනවා කියා චමත්කා ට වරද පටවන්නට තරම් මගේ හෘද සාක්ෂිය නිවැරදි වූයේ නැත. කවුරු අතින් සිදු වූවත්, මගේ අතින් සිදු වූවත් ලෝකයට එය වරදක් බව දන්නා නිසා නැන්දලාට බණින්නට තරම් හයියක් මට තිබුණේ ත් නැත. අනිත් අතට මගේ හද බැඳ ගත් රවීන් කෙරේ මගේ සොයුරියක වන චමත්කා ද ආකර්ශනය වී හිඳීම කිසි සේත් මට පහසු හැඟීමක් දැනවූයේ නැත. ඇය මගේ සොයුරියකි. ඇයත් එක්ක තරග කොට කිසිත් දිනා ගැනීමේ උවමනාවක් මට නැත. අනිත් අතට රවීන් ගෙන් අත්මිදෙන්නට බැරි ලෙස මා දැනටමත් ඔහු වෙත බැඳී ඇතැයි යටි හිත මට කියා සිටී.
මේ සියලු කාරණා නිසා මේ මාතෘකාවේ දී මම අසරණ ව මුණිවතින් සිටියෙමි.
සඳුදා මා වැඩට යන්නට බස් රියට ගොඩ වනු පිණිස අතුරු පාරේ ඇවිද යමින් සිටියෙමි. රවීන් ගේ විට්ස් රිය මා පසු කොට මඳක් ඉදිරියට ගොස් නැවතිණ. නැවතත් එය හෙමිහිට ඉදිරියට ගියේ ය. යළිත් නතර විය. මම ඒ සියල්ල දුටුවෙමි. නමුත් මා ගමන් වේගයෙහි කිසිදු වෙනසක් නො කළේ, ඔහු නතර වූයේ මා වෙනුවෙන් යයි කිසිදු විශ්වාසයක් මට නොවූ නිසා ය. පාරේ අයිනට ම කොට රිය නතර වූයෙන් ද, වැස්ස නිසා රැඳුණ මඩ වතුර වළක් අයිනේ වූ නිසාත්, මා එතැන පසු කරන්නට වූයේ රියෙහි දකුණු පසිනි. ඒ කියන්නේ රියදුරු අසුන ඇති පැත්තෙනි. එතැනින් යන ගමන් මම නිකමට ඔහු දෙස බලා යන්තම් සිනහවක් පෑවෙමි. ඒ ඇස් බැල්ම ඉස්මත්තේ මගේ හිත පිරී යන බවක් දැනුණේ ය.
“ගුඩ් මෝනිං”
“ගුඩ් මෝනිං…ඔයා කැමතිනං විතරක් නගින්න. මං ඩ්‍රොප් කරන්නං”
කැමතිනං විතරක් යන්න ඔහු පැවසූයේ බර කොට ය. ඔහුත් එක්ක ජීවිතයේ බොහෝ දුර යාමේ නොතින් ආශාවකින් මා පෙළෙන බව දන්නේ මගේ හදවත පමණි. හුස්මක් අල්ලා ගෙන ම රියෙහි අනිත් පසින් ගොස් මම ඉදිරි අසුනට ගොඩ වීමි. රිය හෙමිහිට පෙරට ඇදුණේ ය.
මගේ හදවත බෙහෙවින් දොඩමළු ව තිබිණි. ඒත් මුව නම් මුණිවත රකිමින් සිටියේ ය. දොඩමළු වීම ගැන සබකෝලයක් මට දැනුණා නොවේ. නමුත් කුමක් කොතනකින් පටන් ගන්නදැයි මා නිරවුල් වූයේ නැත.
“ඔයාට ප්‍රශ්නයක් වෙයිද දන්නෑනෙ…ඒකයි මං කිව්වෙ කැමතිනං විතරක් නගින්න කියල. අද මලිතයත් නෑනෙ”
අන්තිමට රවීන් ම නිහඬ බව බින්දේ ය. මම හිස මඳක් හරවා ඔහු දෙස බැලුවෙමි. පිටතින් බලනා කෙනෙකුට ඔහු කදිම පෞරුෂයකින් හෙබි තරුණයෙකි. බොර පැහැ වී තියෙන්නේ නෙත් විල් පමණකි.
“ප්‍රශ්නයක් කිව්වෙ…”
“නෑ ඉතිං…නංගි දන්නවනෙ…මං මේ මැරි කරල ඩිවෝස් වෙන්න යන කෙනෙක්. ලෝකෙ දේවල් දිහා බලන විදිහක් තියෙනවනෙ”
උකුල මත වූ බෑග් එක මගේ අතට තද විය. තරණය කොට යන්නට අසීරු තැන මෙතැන ය. ඒ ගැඹුරු මඩ කඩිත්තෙහි දෙපස හිඳ අප දෙදෙනා පිළිසරණකින් තොර ව උනුන් දෙස බලා හිඳිනා බවක් මට දැනිණ.
“ඔයා වගේ ගෑනු ළමයෙක් ව ඒ වගේ අවදානමකට ඇදල දාන්න ඕන නෑ”
මට ඉකි බිඳ බිඳ අඬන්නට ඕන වුණේ ය. රවීන් ගේ පපුවේ මූණ ඔබා ගෙන මේ දුක දිය ව යනතුරු ම හඬන බරක් හිත මත පැටවී තිබිණි. නමුත් කොහොම එහෙම කරන්න ද?
“ඇයි අයියෙ එයා ඔයාව දාල ගියේ…”
අන්තිමට මම මගේ හිතේ පෙරළි කරමින් තිබූ සියල් හැඟීම් එක ප්‍රශ්නයකට කැටි කොට ඔහු ඉදිරියේ තැබුවෙමි. ඒ ප්‍රශ්නය ඇහෙනකොට ම ඔහු ගේ කට කොනක් සිනහවකට ඇද විය. නමුත් මගේ මුවින් ඉකියක් නික්මෙත්දී ඔහු වහා හැරී බැලුවේ ඒ සිනහව අතුරුදන් ව ගිය වතිනි.
මම අතින් මුව වසා ඉකිළුම හිර කර ගතිමි.
“සනූ…නංගි…”
“ඒ ප්‍රශ්නෙට උත්තරේ මොකක් වෙයිද කියල මං රෑ කීපයක් තිස්සෙ හිතුවා. ඒත් මට උත්තරයක් හම්බ වුණෙ නෑ”
“හරි සරල උත්තරයක් තියෙන්නෙ. එයා මට ආදරේ කළේ නෑ”
“ඔයා වගේ කෙනෙක්ට…”
“මං වගේ කියල මොකද්ද විශේෂත්වෙ…ඒක තේරුං ගත්ත නිසා තමයි මං පාඩුවෙ පැත්තකට වුණේ. එයාගෙ හිතේ කවුරු හරි ගැන ආදරයක් ඇති වුණානං…ඒක තමයි එයාගෙ ආදරේ. මාව බැඳල හිටියයි කියල…ඒක අසම්මත ආදරයක් කියල එයාව හංවඩු ගහන්න මට ඕන නෑ. මමනෙ අසම්මතේ එයා එක්ක ඉඳල තියෙන්නෙ. ආදරයක් නැති තැනක බලෙං රැඳෙන්න හදන එක විහිළුවක් නංගි. හරියට හිත රිද්දන විහිළුවක්”
මට ඒ තරම් බරපතල කාරණයක් ගැන සිතා ගත හැකි වූයේ නැත.
“එයාටත් ඒක එහෙම වෙන්න ඇති. ඒත් අඩු ගානෙ අන්තිමට හරි එයාට ඕන ආදරේ එයා අයිති කර ගත්තා. මට තිබුණා බලපෑම් කරල මං ළඟ තියා ගන්න. ඒත් එතකොට එයා කවදාවත් සතුටෙන් ඉඳියිද…මට සතුටෙන් ඉන්න පුළුවන් වෙයිද…ජීවත් වෙන මේ චුට්ට කාලෙට මොකටද නංගි එහෙම විඳවන්නෙ…අත්ඇරියාම හරි පහසුයි. බලෙං හිර කරල ළඟ තියං ඉන්නවට වඩා. හිතට අසරණ කමක් දැනෙන්නෙ නැතුව නෙවෙයි. ප්‍රතික්ෂේප වීමක් කියන්නෙ කොහොමත් වේදනාවක්නෙ. ඒත් මං හිතන්නෙ ඒක ටික දවසකදි හරියයි”
ඔහු ගේ දෙතොලතර සිනහවක් ඇඳිණි. ඒ සිනහව අහිංසකයි කියා මට සිතිණි. ආදරය සැබවින් පුදුම දේවල් කරයි. මේ වෙලාවේ එය මගේ හිතත් එක්ක කරමින් හිඳිනා සෙල්ලම ද පහසු එකක් නොවේ.
මල්සර ෆ්ලෝරා ඉදිරියේ මා රවීන් ගේ රියෙන් බසිනකොට සුනෙත් එතැන ය. මම සිනහවකින් ඔහු ට ගුඩ් මෝනිං කීවෙමි. සුනෙත් මඳක් පහත් වී රියදුරු අසුන දෙස බැලුවේ ය.
“ඒ ගමන උඹ…”
එහෙම කියමින් ඔහු දෑත් පපුව මත බැඳ ගත්දී ම මම දඟකාර සිනහවක් පෑවෙමි.
“රවීන් මට ලිෆ්ට් එකක් දුන්න. එච්චරයි”
“සනූ උඹ යන වේගෙ වැඩියි කියලයි මට හිතෙන්නෙ”
“මොකද්ද දෙයියනේ වේගෙ…”
මගේ සිනහව වියැකී ගිහින් මට බිම බැලී තිබිණි.
“හොඳම යාළුව විදිහට ඔයත් මාව තේරුං ගන්නෙ නැත්තං…මං වෙන කාටද මේක කියන්නෙ…”
“සනූ..මට ඔයාව හොඳටම තේරෙනව. ඒ නිසයි මට මේක ගැන මෙච්චර බය..”
මට ද මා ගැන බයක් නො දැනුණා ම නොවේ. නමුත් ඒ බිය අතික්‍රමණය කළ හැකි ආත්ම ශක්තියක් ද ආදරය විසින් මට පිරිනමා තිබිණි.