ඉනික්බිති උදා වූ දින කිහිපයක් ම රවීන් බස් එකේ කාර්යාලයට ගියේ ය. ඒ නිසා මා වැඩට යන්නට සූදානම් වූයේ ඉමහත් බලාපොරොත්තුවකින් හා ආශාවකිනි.
ආදරය ජීවිතාශාව දල්වා ලයි!
“මලිත් අහනව ඇයි කා එකේ අවුල මොකද්ද කියල. මං කිව්ව පොඩි මිස් කිරිල්ලක් තියෙනව. බයයි යන්න මට නැවතෙයිද නියන්න බැරි නිසා කියල. ඒ ගමන අහනව එහෙනං මං ගැරේජ් එකට දාන්නද කියල. බොහොම අමාරුවෙන් නතර කර ගත්තෙ…සැටඩේ මං දාන්නං කියල”
ඔහු එසේ බස් එකේ යන්න පැමිණි දෙවන දිනයේ දී කීවේ ය. මම රවීන් දෙස හොඳින් බැලුවෙමි. ඔහු බොරු කාරයෙකු නොවෙතැයි මගේ පංචේන්ද්‍රියන් ඉක්මවූ සියුම් ඉවකට දැනෙමින් තිබේ. සුනෙත් නම් කියන්නේ පෙම් කරත්දී කිසිම කෙල්ලකට කොල්ලෙකු ගැන බොරු කාරයෙකු සේ නො දැනෙන බවයි. ඔවුන් ඉතාමත් සියුම් ලෙස ඒ බොරුව වසා ගෙන හැබෑ පෙම්වතෙකු ගේ භූමිකාව රඟ දක්වන බවයි. නමුත් රවීන් එහෙම කෙනෙකු සේ නො පෙනෙන බව ට ඔහු ද අනුමත කිරීම නිසා මට බියක් සැකක් වූයේ ම නැත. කොහොමටත් කුඩා කල පටන් ම මට මිනිසුන් ගැන යම් ඉවක් වේ. මා යම් යම් කාරණා ගැන කියනා අනාවැකි නිවැරදි වේ.
“ඔයා පව්. ඔයා කා එකේ යන්න රවීන්”
මා එසේ කීවේ ඇත්තට ම ය. නමුත් මේ විදිහට ඉතා සුළු වේලාවක් හෝ ඔහු ළඟ රැඳී ඉන්නට ලැබෙන එක ගැන මම ලෝභ වූයෙමි.
“මලිත් ට ආරංචි වුණොත් මාව පිටුවහල් කරයිද දන්නෙත් නෑ”
ඔහු එසේ කීවේත් උපේක්ෂා සහගත මඳ සිනහවකිනි.
සතියේ අවසාන වැඩ කරන දිනය, එනම් සිකුරාදා උදා විය. එදා භාර ගත් ලොකු වැඩ වූයේ නැත. නැකැත් නැති මාස වලට මංගල උත්සව අඩු නිසා කොහොමත් ලොකු ලොකු වැඩ මල් කඩ වලට අඩු ය. වැස්සේ අලස කමේ සිටියදී මා රවීන් ට දුරකතන ඇමතුමක් ගත්තේ නිකමට ය.
“නිකං ඉන්නවනං මං එන්නං”
ඔහු කීවේ ය.
“ශොප් එකට…”
“ඕන තැනකට…ඔයාට ඔතනින් ලීව් වෙන්න පුළුවන් නං. මාත් අද ටිකක් නිදහස්”
“ඔයා කා එකේත් නෙවෙයිනෙ ආවෙ”
“ඒකට නං මොකද”
ඒ අනුව ඔහු මල්සර ෆ්ලෝරා අසලට ත්‍රිරෝද රියකින් එන්නට එකඟ වූයේ ය. මම නිවාඩුවක් දමා ඔහු හමු වීමට ගැහෙන හදින් බලා සිටියෙමි. ඒ පිටතදී තරුණයෙකු හමු වන්නට හසිසියේ වී ද මා සැලසුම් කළ ප්‍රථම වතාව ය.
“පරිස්සමෙන් හොඳද..”
සුනෙත් අවධාරණය කළේ ය. මම දෙතොල් තද කරගෙන හිස යන්තම් සැළුවෙමි.
රවීන් පැමිණි ත්‍රීරෝද රියෙහි නැගී අප ගියේ පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම වෙතට ය. එතැනින් ඔහු මා නැංවූයේ නුවර කොළඹ සුඛොපභෝගී බස් රියකට ය. ඒ වෙලාවේ නම් මගේ හදෙහි බියක් විය. හෘද ස්ඵන්දනය වැඩි වී තිබිණි. මට තාත්තා හා අම්මා සිහි විය.
“ඇයි…”
උකුල මත වූ මගේ අතක් සිය අතැඟිලි අතරේ පටලා ගනිමින් රවීන් මගේ මූණට එබුණේ ය. සිනහ වෙන්නට ගත් උත්සාහය තොල් කොනක් සැලී යාමකට සීමා විය.
“බයේද ඉන්නෙ ඔය…බයනං බහිමු”
ඒ හඬෙහි වූයේ අසීමිත ආදරණීය බවකි.
“කොහෙද අයියෙ මේ යන්නෙ…”
“මේකෙ කැන්ඩි වලට ගිහිං එන්න ලෑස්ති වෙලා තියෙන බස් එකට නගිමු. වෙන කොහෙවත් යන්නෑ. ටිකක් වෙලා ළඟින් ඉන්න පුළුවන් නිසයි මෙහෙම යන්න හිතුවෙ. කොළඹ කොහේ වුණත් පැය දෙක තුනක් අපි එකට ඉන්න එක…කාගෙ හරි ඇහැකට අහු වෙන්න පුළුවන්. ඔයා කැමති නැත්තං අපි මේ ගමන යන්නෙ නෑ සනූ”
“රෑ වෙන එකක් නෑ නේද…”
“ඔෆිස් ඇරිල යන වෙලාවට ගෙදර යන්න පුළුවන්”
“බයයි තමයි. මීට කලින් මං මෙහෙම දෙයක් කරල නෑ. ඒත් මට ඔයා ළඟට වෙලා ඉන්න ඕනෙ”
මම ඒ උරහිසේ යන්තම් හිස තියා ගතිමි. මගේ අතැඟිලි මුදා හල රවීන් සිය ටයි පටිය ගලවා මගේ බෑග් එකට දැමුවේ ය. පපුව උත්තර ධ්‍රැවය සේ සීතල විය. මට ඔහු හිමි වුණා සේ, ඔහු මගේ ම වුණා සේ දැනුණ සීතල සිතිවිල්ලකි එය. මම මුවින් හුස්මක් ගෙන පෙනහළු පිරෙව්වෙමි. ඊළඟට ඔහු ගේ අත් බාහුව මගේ දෑතින් ම වැළඳ ගතිමි.
සිදු වූයේ ඔහු කී දේ ම ය. අපි මහ නුවරින් බැස, සිසිල් කළ වතුර බෝතලයක් පමණක් මිල දී ගන්නා පමාවෙන් කොළඹ එන්නට සූදානම් ව තිබූ බසයෙහි නැග ගතිමු. එතෙක් මගේ ජීවිතය වෙත උදා වූ ලස්සන ම දවස ඒ විය යුතු ය. පිටකොටුවට බසය අවතීර්ණ වත්දී දැනුණේ අපෙන් වෙන් ව යා නොහැකි දුක් හැඟීමකි. මම රවීන් ගේ අතක් තද කොට අල්ලා ගෙන සිටියෙමි. ඒ සන්තාපය කුණාටු සුළඟක් සේ ය. ඇති කරනා කැළඹීම එක්වර උහුලා ගත නො හැකි යමකි.
රවීන් මාව ගුරු පාර ඇරඹෙන තැනින් බස්වා, අප පිටකොටුවේ සිට පැමිණි ත්‍රිරෝද රියෙහි ම ඉදිරියට ගියේ තව ටිකකින් එනවා කියමිනි. ගෙදර ගොස් දිය නා දුරකතනය ගන්නට බෑග් එක අරිත්දී ය මා දුටුවේ. රවීන් ගේ ටයි පටිය බෑග් එකෙහි ගුලි වී තිබිණි. හදවත ක්ෂණික ව හෙල්ලී ගියේ ය. මම වහා ම බෑග් එක වසා අල්මාරියේ කොනකට කළෙමි.
“මොකද…”
මේසය ළඟ පාඩම් කරමින් සිටි නංගී මා විචාලා ය.
“මොකද…”
මම ඇයට සැර කළෙමි.
“නිකං…ඇටි කෙහෙල් කාපු රිලව වගේ…”
“ඇයි ඌ ඇටි කෙහෙල් කෑවහම ඔළුවෙං හිටං ඉන්නවද…”
“ඒ කියන්නෙ ඔයාට දැනෙන්නෙ දැන් ඔයා ඔළුවෙන් හිටං ඉන්නව වගේද…”
මම ඇයට ගස්සා ගෙන ඇඳට ගියෙමි. පිටතට ගොස් සාමාන්‍ය තත්වයෙන් අම්මා හා ආච්චා සමග කතා කරන්නට ඕනේ කියා සිතුණත්, එහෙම කරන්නට බැරි වැරදිකාර හැඟීමක් ද හිත ට වද දුනි. අනිත් අතට නංගී මෙතන සිටින නිසා එහෙම පිටතට යන්නට ද මම බිය වීමි. ඇය මගේ බෑග් එක ඇද බලතැයි සැකයක් මා පෙළමින් තිබි නිසා ය.
තාත්තා එදා රෑ වන්නට පෙර ගෙදර ආවේ ය. ඔහු අම්මාට රටකජුත් අපට පැණි බූන්දිත් ගෙනැවිත් තිබුණේ ය. මා පැණි බූන්දි වලට පෙරේත බව තාත්තා දනී.
බූන්දි බෑගයට අත දමත්දී හිත පිච්චී ගියේ ය.
තාත්තා!
මම දැනටමත් ඔහු මා ගැන තැබූ විශ්වාසය බිඳ දමා ඇත්තෙමි. දුවක ගේ හිතට ඒ හැඟීම නිසා ඇති වන්නා වූ අපහසුව හුස්ම හිර කරවනා එකක් බව මා වටහා ගත් ප්‍රථම අවස්ථාව එයයි. අම්මා තාත්තා ගේ තුරුලෙන් පිටතට ගොස් නැති මා, පිරිමියෙකු හට තුරුලු වී කොළඹ සිට නුවරටත් නුවර සිට කොළඹටත් ආ ගිය බව සිහි වත්දී මගේ ළය දරුණු පීඩනයක් විසින් තෙරපා ලන ලදී.
“තව ටික දවසක් ඔහොම හුරතල් වෙයි. තාත්තල එළියට ගිහින් එනකොට බූන්දි ගෙනත් දුන්නට කසාද බැඳල ගිය දාක මහත්තුරුන්ගෙන්නං ඒවා බලාපොරොත්තු වෙන්න එපා නෝනලා”
අම්මා පොදුවේ කීවේ නංගී හා මා දෙදෙනාට ම ය. වෙනදා සේ එකට එක කියනු වස් කට ඇර ගන්නට හෝ මට හැකියාවක් වූයේ නැත.
“ඇයි ඒ…එහෙනං ඔය තාත්තා තාමත් අම්මට රටකජු ගේන්නෙ…”
මගේ අඩුව දැනෙන්නට නංගී ඉඩ තැබුවේ නැත.
“දීපංකො උත්තර”
ආච්චා සිය තරබාරු සිරුරේ මාංශ පේශීන් සෙලවෙන සේ සිනහ වූවා ය.
“තාත්තා වගේ කෙනෙක් හොයා ගන්නයි කියල ඒක තමයි මං කියන්නෙ. නෙතූටනං ඉතිං තව කල් තියෙනවනෙ. සනූ කොහොමත් වැරදි කෙනෙක් තෝර ගන්න එකක් නෑ”
මම ආච්චා දෙස බලා වහා බිම බැලුවෙමි. වෙනදාටත් ඔය වගේ කතා මේ ගෙදර ඇති වන්නේ ය. මගේ කල වයස හරිය කියා තාත්තා ට අවධාරණය කරන්නට ද මන්දා, මැක්කා ගේ කතාව සේ අම්මා ඕනෑ ම කතාවක් ඉවර කරන්නේ අපේ විවාහයෙනි. නමුත් ඒ පෙර අවස්ථා වල නො දැනුණ විදිහේ බරක්, දැන් ඒ කතා වලදී මට උහුලා ගන්නට සිදු ව තිබේ.
“කෙල්ලො වුණා කියල කවදාවත් පිරිමින්ගෙන් ජීවිතේ බලාපොරොත්තු වෙලා ඉන්න එපා. තමන්ගෙ සතුට තියෙන්න ඕන තමන්ගෙ ළඟ. ඒක වෙන කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් එපා වෙන කාටවත් දෙන්නත් එපා. කොහොමත් කෙල්ලෙක් තමන්ගෙ මුළු ආත්මෙම පිරිමියෙක්ට පාවල දෙන එක මෝඩ කමක්. දැං අම්ම වුනත් එයාගෙ මහන්සියෙන් සල්ලි හම්බ කරනවනෙ. අපි කවුරු නැති වුණත් එයාට ජීවත් වෙන්න බැරි කමක් නෑ. ඕගොල්ලොත් එහෙම වෙන්න ඕනෙ. කවුරුවත් ආස දෙයක් ගෙනත් දෙනකල් බලං ඉන්න දෙයක් නෑ තමන්ට ඕන දේ ගන්න ආර්ථික ශක්තියක් තියෙනවනං. අන්න ඒ දේවල් ගැන කල් ඇතුවම තේරුං ගත්තහම ප්‍රශ්න අඩුයි”
තාත්තා ලොකු දේශනයක් කළේ ය. මා හිටි කල්පනා ලෝකයේ හැටියට ඒ කිසිවක් නිරවුල් ව මගේ මනසේ තැන්පත් වූවා දැයි සැක සහිත ය.
හිතේ වූයේ බෝම්බයක් ළඟ තබා ගෙන ඉන්නා කෙනෙකු ගේ බියකි. බෝම්බය කොයි වෙලේ පුපුරනු ඇත්දැයි එවන් හිතක වන ගැස්ම, රවීන් ගේ ටයි පටිය කොයි වෙලාවේ නංගී ට හසු වෙනු ඇත්දැයි යන බිය ට සම කළ හැක.
“මොකද අද සනූ වැඩි කතා බහක් නැත්තෙ…”
අප නිදන්නට කාමරයේ දොර වසා ගත් ඉක්බිති ආච්චා ඇසුවා ය. ආයේ ම ගින්න හදවතින් පැන නැගිණි. නංගී අත්පුඩියක් ගැසුවා ය.
“බොරුද මං කිව්වෙ…ඇටි කෙහෙල් කාපු රිලව වගෙයි කියල”
“අනේ මේ ඉන්නව”
“නෑ ඉතිං අපිට කිව්වෙ නැතුවට කමක් නෑ. කොහොමත් ඉතිං කාගෙ කාගෙත් ජීවිත වල කාටවත් නොකියන රහස් තියෙනවනෙ නෙතුකියො”
මට ආච්චා ගැන පුදුම නො සිතුණා නොවේ. නමුත් මම වෙනකක් කීවෙමි.
“අනේ එහෙම මුකුත් නෑ ආච්චා. අද මට ටිකක් ඔළුව කැක්කුම වගේ”
“ඒ වුණාට එහෙම ඔළුවෙ කැක්කුමක් පේන්නෙනං නෑ. ඇස් වල තියෙන්නෙ නිකං අමුතු…”
“ඕයි මේ”
මම නංගී ට කොට්ටයකින් දමා ගැසුවෙමි. ඇය හඬ නගා හිනැහුණා ය.
මුළු රැයේ ම රවීන් ගේ සුවඳ මා අස දැවටී තිබිණි. ඒ හරියට සිහිනයකින් ගෑ සුවඳක් වාගේ ය. මා උදේ අවදි වූයේ ත් පිච්චීමක් එක්ක ය. සමාජය අසම්මතයි කියා හිතනා ප්‍රේමයක් කියන්නේ ම දැවුමකි. පිච්චීමකි. නමුත් ඒ ප්‍රේමය ළඟ නිවී සැනහිය හැකි බව මම ඉඳුරා දන්නෙමි.
සෙනසුරාදා උදා වූයේ විනෝද චාරිකාව සැලසුම් කිරීමත් එක්ක ය. ශෙහාරා ද පාරට එබිකම් කළා ය.
“මේ…හාමුදුරුවොත් එක්ක පැනල යනවනං ට්‍රිප් එක යනකල් ඉන්නව හරිද…නැත්තං ඒකත් හබක් තමයි”
කවුදෝ මන්දා හඬ ගා එසේ කීවේ ය. ශෙහාරා ගේ මූණ හැකිළී යනු මම දුටිමි. කවුරුන්වත් කාගේවත් හැඟීම් වටහා ගන්නේ නැති කරුමයක මහත!