දීර්ඝ සති අන්ත නිවාඩුව නිමාවට පත් කරමින් හැම කෙනෙක් ම යළි ඔවුන් ගේ සාමාන්‍ය ජීවිතය ට පිළිපන්හ. නමුත් ඒ චාරිකාව හා දීර්ඝ සති අන්තය මගේ මතක පුරාණයේ කිසි දා අමතක නොවෙන පිටුවක දීප්තිමත් ව ලියවිණි.
රවීන් වූ කලී තව දුරටත් මට මගේ පෙම්වතා ලෙස ලෝකයට හඳුන්වා දෙමින් නිදහස් ව ඇසුරු කළ හැකි පුද්ගලයකු නොවූයේ ය. අසම්මතය වැනි ඉතා පටු වූත් අවලස්සන වූත් වචනයකින් හැඳින්වෙන සබඳකමක් ඇතුළේ හිර වී ගන්නට මට කිසිදු උවමනාවක් නැති වුණත්, ඒ වචනය ඉවත් කොට දැමු විට එතැන උන් මිනිසාටත් ඒ බැඳීමටත් මම හදවතින් බැඳී සිටියෙමි.
හැම දවසක් ම අවසානයේ මම දෙවියන්ට හෝ එනමින් හැඳින්වෙතැයි මා සිතූ සොබා දහමට හෝ ස්තූතිය පුද කළෙමි. ඒ තවත් දවසක් අපේ ගෙතුළබෝම්බයක් පුපුරුවා නො හැර සිටීම ගැන ය.
ලොකු මාමලා ගේ ලොකු දුව හෙවත් ලොකු අයියා ගේ අක්කා, අහස වැස්සකට මග බලමින් උන් එක් සෙනසුරාදා හවසක හඬාගෙන ගෙදර ආවේ එවන් පසුබිමක් තිබියදී ය. විවාහ වී ගෙදරින් පිට ජීවත් වූ තරුණ බිරිඳක්, දරුවෙකු අතින් ගෙන හඬාගෙන මහ ගෙදර පැමිණීම වූ කලී සුබ නිමිත්තක් නොවේ. ඒ වෙලාවේ කොංක්‍රීට් තලාව මත්තට වී අහසේ ඇති වෙන වැහි ලකුණු දෙස බලා ගෙන උන් මා විශ්මිත දෑසකින් ඒ දර්ශනය දෙස බලා සිටියේ ත් අනුන්ගේ ඕපාදූපයක් සොයා රස කර කියන අවශ්‍යතාවයකින් නොවේ.
“අම්මෙ…ලොකු අක්ක බබාවත් අරං අඬාගෙන ත්‍රීවීල් එහෙකින් බැහැල ගෙට දිව්ව”
මම ඉක්මනින් පහළට දිව ගොස් පුවත වාර්තා කළෙමි. අම්මා හිස ඔසවා බැලුවා විනා මහන වැස්ම නතර කළේ ද නැත.
“ආ…ඒක ඉතිං මහ දෙයක් නෙවෙයි. කසාද බැඳල ගිය ගෑනු ළමයින්ට ඒ ගෙදර මොකක් හරි හිත් රිදීමක් වුණහම මතක් වෙන්නෙ තමුන්ගෙ දෙමව්පියන්වනෙ. එතකොට ඇවිත් අඬ අඬා දුක කියනව තමයි. හිත හැදුනහම ආයෙ යනව”
අම්මා එය කීවේ යුග දිවියේ එම සිදුවීම ගැන ඕනෑ තරම් අත්දැකීම් ඇති තැනැත්තියක සේ ය. නමුත් මා දන්නා ඉතිහාසයේ කිසි දාක, අප ට දැනෙන්නට නම් තාත්තා හා අම්මා අතර රණ්ඩු දබර නො විණ. සමහර විට අපට නො දැනී ඔවුන් අතරේ අමනාපකම් හෝ හිත් බිඳීම් වූවා දැයි නො දනිමි.
“හොඳට හැම දේ ම ගලපල කරල හොයල බලලනෙ ඒ දෙන්නව බන්දල දුන්නෙ. එහෙම වෙලත් අඬාගෙන ගෙදර එනවද…ළමයි බමයිනුත් උස්සගෙන…”
නංගී තුළ ඒ ප්‍රශ්නය මතු වී තිබුණේ සැබවින් ම බව, ඇගේ ඇස් වල වූ බැල්ම දුටු මට සිතා ගත හැකි විය.
“පණට පණ වගේ ඉන්න අය අතරෙ පවා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් දරුවො. ඒක තමයි මං කිව්වෙ. ඒව තුනී වෙලා ගියාම ඉවරයි”
නමුත් ලොකු අක්කා ගේ ප්‍රශ්නය එහෙම තුනී වී යන බවක් පෙනෙන්නට නො තිබුණේ ය. අපට එසේ සිතිය හැකි වූයේ අක්කා දිගින් දිගට ම ඒ ගෙදර රැඳී සිටින්නට වූ නිසා ය.
“දසුන් පුතා ටික දවසකට වැඩ වගේකට අවුට් ස්ටේශන් ගිහින්ලු. එයා එනකල් ලොකු ළමය පොඩි එකා එක්ක මෙහෙ ඉන්නව”
නයනා නැන්දා හැමෝටම කීවේ එසේ ය. අක්කා හඬා ගෙන ත්‍රීරෝද රියෙන් බැස දෙරට දිවූ බව මා දුටුවා යි නැන්දා දන්නේ නැත. අපේ අම්මා ද කිසිත් නො දන්නවා සේ සිටියා ය. කොහොමත් තාත්තා ට වන බිය නිසා අම්මා අනුන් ගේ දේ වලට කතා කරන්නට යන්නේ නැත.
“අරකිත් නන්නත්තාර කරං ද කොහෙද ඇවිත් ඉන්නෙ”
දවසක් ලොකු අයියා මට කීවේ ය.
“කවුද…”
එක්වනම මට ඔහු කී දේ තේරුණේ නැත.
“අපේ අක්ක”
පපුවේ ක්ෂණික පිච්චීමක් ඇති විය. ශෙහාරා ගැන දැනුණ පිච්චීමත් මෙය ම බව මම වහා හැඳින ගතිමි.
“ඒ කිව්වෙ…මොකද්ද වෙලා තියෙන්නෙ…”
“මං හිතන්නෙ ඒ පවුලත් ඉවරයි වගෙයි”
“අනේ දෙයියනේ”
“ඔය ඔක්කොම අපේ අම්මලගෙ වැරදි මං නං කියන්නෙ”
“ඇයි…”
“බැඳල ගිය එකීට ඒකිගෙ පාඩුවේ ඒ පවුල කාගෙන ඉන්න දුන්නෑ. හැම එකට ම ඇඟිලි ගහන්න ගියා. අපේ අම්මට ඕන විදිහටනෙ උන් දෙන්නට ජීවත් වෙන්න වුණේ. ඉතිං මොන පිරිමියද හැමදාම ඕක ඉවසන්නෙ. මං ඉවසනවද…නෑනෙ. මං ගෑනියෙක් ගෙනාවනං ඒ ගෑනියි මායි අපිට ඕන විදිහටයි ජීවත් වෙන්න ඕනෙ. දෙමව්පියන්ට පුළුවන් තමයි උපදෙසක් අදහසක් දෙන්න. ඒත් දෙමව්පියන්ට වුණත් අයිතියක් නෑ දරුවන්ගෙ කසාද ජීවිත පාලනය කරන්න යන්න. අපේ අම්ම අක්කගෙ ඔළුව එක එක විසබීජ වලින් පුරෝනව. ඊට පස්සෙ මේකි අරූ එක්ක පවුල් කන්නෙ ඒ විසබීජ ටික ඔළුවෙ තියා ගෙනනෙ..ඉතිං ප්‍රශ්න තමයි”
ලොකු අයියා කියන කතාවෙහි සත්‍යයක් වෙතැයි මට ද සිතිණ. නයනා නැන්දා කියන්නේ ඒ විදිහේ චරිත ලක්ෂණ ඇත්තියකි. ඈ නිතරම සිය දරුවන් තරම් දරුවන් ලෝකයේ වෙන කොතනකවත් නැති සේ ක්‍රියා කළා ය. ලොකු අයියා නිතර ම ඈ විවේචනය කළත්, දූවරු දෙදෙනා නම් අම්මා සේ ම ලොකු කමක් ඔළුවේ පුරවා ගෙන සිටියහ.
“ඔයා පවුලෙ ලොකු පුතානෙ. ඉතිං ඔයාට බැරිද අයියෙ අක්කගෙ හස්බන් එක්ක ටිකක් කතා කරල මේ ප්‍රශ්නෙ විසඳ ගන්න…”
මා එසේ ඇසුවේ හදවතින් ම ය. මගේ පවුලේ ගෑනු ළමයෙකු ගේ විවාහ ජීවිතයක් බිඳී යනවා කියන්නේ මට එය වූවා සේ ම ය. එහෙම අවස්ථාවකදී ‘හොඳ වැඩේ ලොකු සයිස් එකකින් හිටියට’ කියා කියන්නට හෝ හිතන්නට තරම් පවිටු හදවතක් මට ඇත්තේ නැත.
“වැඩක් නෑ සනූ. මං කතා කළා. ඒ මිනිහටත් ඇති වෙලා වගේ තියෙන්නෙ. මිනිහෙක්ට හරි ගෑනියෙක්ට හරි හිතෙනවනං තව දුරටත් තමංගෙ එකා ඕන නෑ කියල…මොනා කරන්නද සනූ…බලෙන් ඒ කෙනාගෙ ගෙදර ඉන්න පුළුවන් වෙයි. ඒත් ඒකාගෙ හිතේ ජීවත් වෙන්න බෑනෙ. ඉතිං මොකටද…”
“ඒ කියන්නෙ ඩිවෝස් එකකට යයිද…”
“මට පේන්නෙ එහෙමයි”
පපුවේ දුකක් හා බරක් රැඳී තිබිණි. මම අම්මා ට හෝ මේවා නො කීවෙමි. ලොකු අයියා මා විශ්වාස කොට කී ඔවුන් ගේ ගෙදර පුද්ගලික යමක් පොදුවේ කතා කිරීම වරදක් ය කියා සිතුණ බැවිණි. මේ වගේ දෙයක් දිගින් දිගට ම රහසක් සේ රැක ගෙන සිටිය නො හැකි වී ද නයනා නැන්දා ඒ සඳහා අසාර්ථක උත්සාහයක් දැරුවා ය. ලොකු මාමා ද හැමදාමත් සේ ම ඇය ගේ පදයට නටමින් සිටියා මිස යථාර්ථය ඇයට අවබෝධ කොට දෙන්නට උත්සාහයක් නො ගත්තේ ය.
“අපේ අම්ම කොච්චර වැරදි වුණත් තාත්තට කොන්දක් නෑනෙ ඒක වැරදියි කියල අම්මට තේරුං කරල දෙන්න. තේරෙන්නෙ නැත්තං කන පුරෝල එකක් දීල හරි පිළිගනිං කියල කියන්න”
ලොකු අයියා ඒ ගැන දරන්නේ එහෙම අදහසකි. සිය දියණිය ගේ විවාහ ජීවිතය කඩාකප්පල් වීම ඕනෑ ම මවකට දැරිය නොහැක්කකි. නයනා නැන්දාට ද එය එසේම ය. නමුත් ඥාතීන් ගෙන් හංගා ගෙන හිටියා කියා කිසිත් වෙනස් කළ නො හැකි ය.
“මටනං පේන්නෙ නිම්මි අක්ක ටික දවසකට මෙහෙ ඇවිත් ඉන්නව කියන එක බොරු කතාවක්. ඔහොමත් ඉඳියිද අනේ”
නංගී කීවා ය. ඒ වෙලාවේ පත්තරයකට මූණ ඔබා ගෙන උන් මම මගේ මූණ කිසිවෙකුට නො පෙනීම හොඳ යයි සිතුවෙමි. එය ඇද වෙමින් ද කළු වෙමින් ද තිබෙනවා යි මට දැනුණ නිසා ය.
“මං හිතන්නෙ එයා ඇවිත් ඉන්නෙ හස්බන් එක්ක මොකක් හරි අවුලක් වෙලා”
“පවුල් වල ගෑනු මිනිස්සු අතරෙ ප්‍රශ්න ඇති වෙනව තමයි නෙතූ. ඒත් ඉතිං ඕව බත් හැළිය ඉදෙනකල් විතරයි කියනවනෙ”
අම්මා ඇඳුම මැසීම නතර නොකරමින් ම කීවා ය.
“ඒක මාර බත් ඉදිල්ලක්නෙ…දැං බත් හැළි කීයක්නං ඉදෙන්න කල්ද…”
නංගී ගේ කතාවට නම් මට සිනා ගියේ ය.
“හරි හරි. ඔයාට දෙන්න හදන්නෙ කේස් එක ෆයිල් කරන්න”
ඒ සිනහවෙන් ම මම කීවෙමි.
“අර මහ ජෝඩුව හංගන්නෙ නිකං අනිත් මිනිස්සු ඒගොල්ලොන්ට හිනා වෙන්නම බලන් ඉන්නව වගෙයි. ඒකෙං වෙන්නෙ අර කරදරයක් වෙච්ච මනුස්සයව වුණත් එපා වෙන එක. ඇයි දෙයියනේ ඉතිං ඩිවෝස් වුණත් මොකද කරන්නෙ….මේ ලෝකෙ මුලින් ම එහෙම වුණ කෙනා එයා නෙවෙයිනෙ. අන්තිමට වෙන කෙනාත් එයා නෙවෙයිනෙ. නීතියක් කියල දෙයක් හදල තියෙනවනෙ ඩිවෝස් වෙන්න. මේ ගොල්ලො හිතන්නෙ ඒක මේ සමාජ රෝගයක් හැදුණා වගේ ලැජ්ජාවක් කියලනෙ”
“අන්න ඒ කතාවටනං පොඩ්ඩිගෙ කටට මසුරං දාන්න වටිනව”
ආච්චා මැසූ ඇඳුමක නූල් කපමින් සිට කීවා ය.
“මං බැන්දෙන් කලින් කසාද බැඳපු පිරිමියෙක්වනෙ..උන්දැගෙ නෝනා මළා. ඉතිං ගෑනි මැරුණත් මිනිහා මැරුණත් ඒ සොහොනට පනින්න කියලයැ. තරුණ ගෑනියෙක් මිනිහෙක්නං ආයෙ කසාදයක් කර ගන්නව. එකක් වැරදුණොත් තව එකක් තියෙනව. මුං මේ සඳුන් කැටේ අතින් අරං මලෙන් උපන් මල් කුමාරියො කියලනෙ බං හිතං ඉන්නෙ”
“ඇත්තට සීයා කලින් බැඳපු කෙනෙක් වුණ එක නිසා ආච්චා ට ප්‍රශ්නයක් වුණේ නැද්ද…”
හොරා ට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නා සේ මගේ කටින් ඒ ප්‍රශ්නය එළියට පැන්නේ ය.
“මොන…ටික දවසක් යනකොට එහෙම දෙයක් අපිට මතක තිබුණෙත් නෑ”
නංගී කට පැත්තකින් සිනහ වූවා ය.
“හැබැයි ඉතිං එයාගෙ මුල් කසාදෙ පුතානං මට ලං වුණේ ම නෑ. අන්තිමට ඉගෙන ගන්න රට ගිය මිනිහ සුද්දියෙක් බැඳං එහේම පදිංචි වුණා. සීයට ඒ ගැනනං පොඩි හිතේ අමාරුවක් තිබුණා. ඒත් ඉතිං මේ කසාදෙ ළමයි හය දෙනෙක් නිසා ඒ ගැන තැවි තැවි ඉන්න වෙලාවක් තිබුණෙ නෑ”
“එක ළමයෙක්වත් හිටියෙ නැත්තං කිසි ප්‍රශ්නයක් නෑ නේද ආච්චා…”
මගේ ගැහැනු හදට ඕනෑ වී තිබෙන්නට ඇත්තේ නිර්දෝෂීභාවය සඳහා සාක්ෂි එකතු කරන්නට විය යුතු ය. නංගී ගෙන් නැවතත් අර සිනහව!
“මොන. ළමයි හිටියත් ඒ ළමයින්ට වෙනස්කමක් කරන්න අපි හිතන්නෙ නැත්තං ඒක එච්චචරයි ළමයිනේ. අනුන්ට අයිති කෙනෙක්ව උදුර ගත්ත නෙවෙයිනෙ. ඒ නිසා මට කවදාවත් වැරදිකාර හැඟීමක් දැනිලත් නෑ”
“ආච්චා මෙච්චර රැඩිකල් විදිහට හිතද්දි ආච්චාගෙ ළමයි මෙච්චර ට්‍රැඩිශනල් වුණේ කොහොමද දෙයියනේ…”
නංගී නිකටෙහි අත තියා ගත්තා ය.
“හරි හරි. ඕව ගැන හාර හාර විස්තර හොයන්න හේතුවක් ඕගොල්ලොන්ට නෑනෙ”
අම්මා අපේ කතා බහ ගැන ඒ තරම් කැමැත්තක් නො දක්වන බව පෙනිණ.
“කියන්න බෑනෙ…ඉස්සරහට ඕන වෙයිද කියල”
නංගී ඇඟට පතට නො දැනී කීවා ය.
“නංගි කියනව දැං නයනා නැන්දා ලොකු අක්කව ඔයාට ප්‍රපෝස් කරයිද දන්නෑලු. ඔයත් ඩිවෝස් නිසා”
නංගී කී ඒ කතාව ගැන මා රවීන් ට කීවේ සැබවින් ම නයනා නැන්දා යනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උපන් ගැහැනියක බව දැන සිටි නිසා ය. නමුත් රවීන් හඬ නගා හිනැහුණේ ය. මම ඒ සිනහ වශීය දෙස බලා ගෙන ම සිටියෙමි.
“මං හැරී කුමාරය කියල හිතුවද…අම්මල දුවල දෙන්න බලං ඉන්න…එක කසාදයක් අසාර්ථක කර ගත්ත මිනිහෙක්ට දුවෙක් දෙන්න අම්ම කෙනෙක් කොච්චර හිතයිද කියලද ඔයා හිතන්නෙ…”
ඒ වෙලාවේ අප හිටියේ වැඩ නිම වී එන ගමන් ඔහු ගේ මෝටර් රථයෙහි ය. මම රවීන් ගේ වමත මගේ දෑතින් ම වැළඳ ගතිමි.
“හැරී කියන්නෙත් කලින් මැරි කරල ඩිවෝස් වුණ වයසින් වැඩි කෙනෙක් බැඳපු…ආදරේ වෙනුවෙන් රාජකීය උරුමයන්ටත් චැලේන්ජ් කරපු මනුස්සයෙක්. මං කැමතියි එයාගෙ ප්‍රතිපත්ති වලට”
“හැරී ට පුළුවන් වුණාට ඔයාට පුළුවන් වෙයිද ඒ වගේ ආදරයක් තියන ගෙදරක් අත්අරින්න…”
ඒ වගේ ප්‍රශ්නයක් කිසි දා කිසිවෙකු මගෙන් නො විමසිය යුතු ය කියා මම සිතමි. ඒ, පිළිතුරක් මා සතුව නැති නිසා ය.
“ම්..පුළුවන්ද…”
මම තවත් ඒ අත තදින් වැළඳ නිසල වීමි.