සැරිසරන්නී -30

ලොකු අයියා ගේ පපුවේ මට මගේ ම සොයුරා ය යන හැඟීම විය. මට ඕනෑ තරම් හඬන්නටත්, ඕනෑ තරම් දුක කියන්නටත් අවකාශ වූයේ ය. ඒ වෙනුවෙන් පෙරලා හෙතෙම කිසිවක් කිසි දා බලාපොරොත්තු නො වන බව ද මම දැන සිටියෙමි.

“හරි හරි. දැං ඔය ඇඩුවා ඇති. මට මේවගෙ ඇත්ත නැත්තයි දැනගන්න ඕන..මොකද…උඹ දන්නව මං එක බඩවැල කඩාගෙන ආපු අපේ ගෙදර එවුන්ට වඩා උඹට කොච්චර ආදරේද කියල..ඒක මේ අද ඊයෙක මූණිච්චාවට වත් හිතේ වෙන අරමුණක් තියා ගෙනවත් ඇති වෙච්ච දෙයක් කෙවෙයි කියලත් උඹ දන්නවනෙ”

“අනේ මං දන්නව ලොකයියෙ. අයිය කෙනෙක් නැති අඩුව කවදාවත් මට දැනිල නැත්තෙ ඔයා නිසා”

“ඒකද මටත් මේව හැංගුවෙ..ආ…මං අරූටත් හොඳට කතා කරලයි ආවෙ. උඹෙං අහන්න ඉස්සෙල්ල මට උගෙන් දැන ගන්න ඕන වුණා මේක. ඌ මගෙ බොක්ක. ඌ වෙනුවෙං උගෙ ගෑනි අරං පැනල ගිය එකාට ගහල රිමාන්ඩ් වෙච්ච එකෙක් මං. ඒක පැත්තකින් තියමුකො. ඌව මෙහෙට අරං ආවෙ මං. ඒක නිසා උඹල දෙන්නට යුතුකමක් තිබුණා මේවගෙ  හරි වැරැද්ද කොහොම වුණත් වෙච්ච දේ මට කියන්න”

“අනේ අයියෙ රවීන්ට දොස් කියන්න එපා. මොකද එයාට හැම වෙලේම ඕන වුණා අයියට මේක කියන්න..මමයි බය වුණේ. ඔයා දන්නව…පොඩි කාලෙ ඉඳලම මං තාත්තටයි ඔයාටයි කොච්චර බයද කියල…”

මට අලුතෙන් හැඬිණි. ඒ කඳුළු සමාන වන්නේ සමාව ඉල්ලීමට ය කියා මම සිතමි. ලොකු අයියා මොහොතක් නිසොල්මනේ හිටියේ ය. ඊළඟට මගේ දෙඋරහිසින් අල්ලා මා සිය පපුවෙන් මෑත් කළේ ය.

“අනේ නිකා හිටහං තංගච්චි. බය නිසානෙ මෙච්චර දෙයක් කරල තියෙන්නෙ. හොඳට පේනව උඹ දුනුකේ මාමටයි මටයි දෙන්නටම තියෙන බය”

“මං…ඇත්තටම රවීන්ට ආදරෙයි අයියෙ”

ඔහු ලොකු හුස්මක් හෙළුවේ ය. ඊළඟට මවෙතින් මිදී බැල්කනි බැම්ම වෙත ගොස් අත් දෙක එහි ගසා ඊට බර වූයේ ය. මම ඔහු වෙතට ගාටා ගියෙමි.

පාරේ තැන් තැන් වල එකා දෙන්නා රංචු ගැසී කතා කරමින් සිටිති. ඔවුහු හොරැහින් මා හා ලොකු අයියා දෙසට බැලුම් හෙළනු ද මම දුටිමි.

“බලහං දැං මේක ප්‍රශ්න ගොඩක අච්චාරුවක් වෙලානෙ තියෙන්නෙ. අර දිලුමා එක්ක මොකටද පැටලෙන්න ගියේ…දන්නවගෙ උගෙ හැටි. අනිත් එක ඔය ගෑනු කේස් වලට ඌ හෙන සෙවලය”

“මට දිලුම් කරන හැම දේම ඉවසං ඉන්න බෑනෙ අයියෙ. එයා හැදුවෙ රවීන් ගැන ගෙදරට කියනව කියල බය කරල මාව පාවිච්චි කරන්න. ඔයා තියන්නෙ මං සද්ද නැතුව ඒකට ඉඩ දීල නිකං බලං ඉන්න ඕනයි කියලද”

“මගුලක් කතා කරනව..යකෝ උඹට තිබුණෙ ඉස්සෙල්ලම ඒක මට කියන්න. එහෙනං ඔය පාර පැත්තට එක්කං ගිහිං අවවාදයක් දෙන ගමං ඌගෙ කන අතගාන්නෙ මම. උඹත් එක්ක වෛරයක් ඇති වෙන්නෙත් නෑනෙ එතකොට දිලුමට”

මම බිම බලා ගතිමි. සමහර වෙලාවට කවර හෝ පීඩිත හැඟීමකින් හිත වැහී ගිය කල අපට කළ යුතු හොඳ ම දේ පෙනෙන්නේ නැත. මගේ අතින් වූයේ ත් එවන් දෙයක් වන්නට පුළුවන.

“හිතනවද දැන් මේකට දුනුකේ මාමා කැමැත්ත දෙයි කියල”

අත් දෙක පපුව මත බැඳ ගන්නා ගමන් ලොකු අයියා බැල්කනි තාප්පයට පිට දී මදෙස බලා ගත්තේ ය. මට බිම බැලිණ. මා මේ දිවියේ වඩාත් ම සමීප වූ හා වැඩියෙන් ම ආදරය කළ පිරිමින් දෙදෙනා තාත්තා හා ලොකු අයියා ය. ඒ දෙදෙනා ගේ මුහුණු බලා ගෙන, පෙම් කරනා වෙනත් පිරිමියෙකු ගැන කතා කරන්නේ කෙසේද කියා මට වැටහෙන්නේ නැත. නමුත් දැන් මා කුඩා දැරියක නොවේ. මා හදා ගෙන තිබෙන පැටලිල්ලේ හැටියට නොබදැරියක වෙන්නට හදනවා කියන එක ම දකිනා කෙනෙකුට විහිළුවක් වන්නට පුළුවන. ඒ නිසා හිත හයිය කර ගෙන හිස කෙළින් තියා ගෙන මගේ ප්‍රේමය වෙනුවෙන් සාධාරණයක් ඉටු කොට ගත යුතු ය.

“එහෙම වෙන එකක් නෑ කියල මුල ඉඳලම නොදැන හිටියා නෙවෙයි අයියෙ”

“ආ..දැන දැනත් ඒ තරමට අපේ එකාට ලව්…”

බිම බලනු විනා කෙසේ නම් මම අයියා ගේ මුහුණ දෙස බලනෙම් ද? 

“මේ වෙලාවෙ ඔයාවත් මාත් එක්ක ඉන්න අයියෙ”

ලොකු අයියා ලොකු සුසුමක් හෙළමින් මගේ කර මතින් සිය උරහිස තබා ගත්තේ ය. අයියා කෙනෙකු ගේ හිතට නංගියෙකු යනු බරක් වග මම අසා ඇත්තෙමි. නංගිලා පෙම් සබඳකම් ඇති කර ගනීවිද කියා බාලිකාවේ මිතුරු කෙල්ලන්ගේ අයියලා රැකවල් දැමූ හැටි මට මතක ය. තමන් ගේ ම මිතුරෙකු සමග නංගිලා පටලැවිල්ලක් හදා ගැනීම, අයියාලාගේ හිත් වලට එකතු කරනා කෝපයත්, ඊට හේතු වන සාධාරණ බයත් කියන දේ ගැන මා වටහා ගත්තේ අද ඊයේක නොව පාසල් සිසුවියක ව සිටියදී ය.

මිතුරා ගේ ජීවිතයේ බොහෝ දෙනෙකු නො දන්නා කාරණා ගැන මිතුරන් දැන සිටීම මෙවැනි තත්වයක් ඇති වීමට හේතුව ය. ලොකු අයියා ද රවීන් ගේ දිවියෙහි බොහෝ ඉසව් ගැන දන්නවා ඇත. ඔහු ගේ රහස් සේ ම ඔහු ගේ දුර්වලතා ද යම් තාක් දුරකට හැඳින අවබෝධ කර ගෙන ඉන්නවා ඇත. ඒ නිසා ලොකු අයියා මගේ ඉල්ලීම කෙසේ ඉටු කරනු ඇත ද කියා මා දන්නේ නැත.

“මට තියන ලොකු ම අවුල සුදු නැන්දයි දුනුකේ මාමයි මං ගැන වැරදියට හිතන එක. ඒගොල්ලො හිතන්නෙ මං දැන දැන මේ දේවල් සිද්ද වෙලා මාත් ඒගොල්ලන්ට හැංගුව කියලනෙ”

ලොකු අය්යා අතැඟිලි වලින් නළල පොඩි කර ගත්තේ ය. 

“සොරි අයියෙ”

මම කෙඳිරුවෙමි. 

“ඇත්තමයි මට එන කේන්තියක් උඹත් එක්ක”

කියමින් ලොකු අයියා පහළ ට ගියේ ය. මම ඔහු පසු පස ඇදී ගියෙමි. 

“ඔයත් අපිට මේව හංගපු එක ගැන මට හරි කණගාටුයි මලිත්”

අම්මා එක හෙලා චෝදනාව ලොකු අයියා වෙත එල්ල කළේ ය. ඔහු අසුනක් මතට වැටුණේ සුසුමකිනි.

“මං කිව්වෙ..දැං මට කොහොමවත් ඔය චෝදනාවෙන් නිදහස් වෙන්න බෑ. කවුරුවත් ම පිළිගන්නෙ නෑ මං මේ ගැන දැනං හිටියෙ නෑ කියල කිව්වට”

“මං කිසි බයක් නැතුව ඒ කාර් එකෙත් මෙයාව උදේට යැව්ව. ඔයා ඉන්න නිසා. ඔයා ඉන්න තැනක වෙන කවුරු නැතත් මට මගෙ කෙල්ලො දෙන්නව තනියම තියන්න පුළුවන් කියන විශ්වාසෙ තිබුණ නිසා”

“අනේ අම්මෙ ලොකයියට මොනාත් කියන්න එපා. එයා මේ මුකුත් දන්නෑ” 

කියා කෑ ගසා හඬන්නට මට ඕනෑ වූයේ ය. නමුත් එසේ කෑ ගැසුවේ ඇතුළු හද පමණකි. මම ගොළු වී සිටියෙමි.

“ඒත් අන්තිමට වෙච්ච විනාසෙ…”

අම්මා ඉකි ගැසුවා ය. නංගී පුටු වත මත හිඳ ඇගේ හිස පිරිමැද්දා ය. දුකත් සමගින් ම නො රිස්සුමක් ද මට නො දැනුණා නොවේ. අම්මා හිතන්නේ මට කවර නම් විනාසයක් වූවා කියා ද? 

ඒ රාත්‍රියේ අපේ ගෙදර කෑමක් ගැන අවධානය යොමු වූයේ නැත. තාත්තා වෙනුවෙන් අම්මා බතක් පිස ලුණු මිරිසක් හෝ තනන්නට ඇත. නමුත් අප කිසිවෙකු ගේ කුස් වලට ගින්නක්  දැනුණා කියා සිතිය නො හැකි ය. හිතේ ගින්න ඊට උස් ව ඇවිළුණ බැවිනි.

තාත්තා ගෙදර එනු ඇසිණ. මම කාමරයට වී නිදි වාගේ සිටියෙමි. මගේ හදවත ගැස්ම ඉන් පෙර හෝ පසු කිසිදු අවස්ථාවක ඒ තරම වේගයෙන් ගැහී නැත. තාත්තා දැන් දැන් මට කෑ ගසා කතා කරාවියි හිත බලාපොරොත්තු වූයේ ය. ඒ හඬ නෑසෙන්නට මම කන් දෙක දෑතින් ම තද කොට වසා ගෙන සිටියෙමි. කිසිදු ගැහැනු ළමයෙකු ගේ ජීවිතය ට එවන් මොහොතක් උදා නොවිය යුතු ය කියා සිතමි. 

“නිදි කියල බොරු කරන්න ඕන නෑ. අපිනං දන්නව ඔයා නිදි නෑ කියල”

නංගී හෙමිහිට කීවා ය. මම ඒත් නිදි වාගේ ම රඟපෑවෙමි. මා නෙතු හැර බැලුවේ ආච්චා නිදන්නට කාමරයට විත් දොර වැසූ ඉක්බිති ය.

“දුනුකේට හොඳටම කේන්ති ගිහින් ඉන්නෙ. නිතර කේන්ති අරං කෑ කෝ ගහන්නෙ නැති මිනිස්සුන්ට කේන්ති ගිහාම ඉතිං…ටිකක් දරුණුයිනෙ. මං කියල කියල හිත ටිකක් සන්සුන් කරල තියලයි ආවෙ”

ආච්චා හෙමිහිට කීවා ය. කොට්ටයේ මූණ ඔබා ගෙන නිදි ඉරියව්වේ සිටියා ට මා නිදි නැති බව ඇය ද නිසැක ව දැන ඉන්නට ඇත. මම දනි පනි ගා ඇඳෙන් නැගිට ආච්චා ගේ ඇඳට පැන ඇගේ උකුලේ හිස තියා ගතිමි.

“ආ…ඒ ගමන බබා නැලවෙන්න තියා ගත්තා”

නංගී කීවා ය. ආච්චා ගේ මුව මඳහසක් නැගෙනු, ඇගේ මුහුණ නො දුටුවත් මට සිතා ගත හැකි විය. ඈ සිය සුරංගනා අත් වලින් මගේ හිස පිරිමදින්නට වූවා ය.

“කාටවත් වරදක් කරන්න මට ඕන වුණෙ නෑ ආච්චා”

මම කෙඳිරුවෙමි.

“මොකද මං ඒක නොදන්නෙ”

ඇය කීවා ය.

“රවීන් අයිය වැරදි නෑ ආච්චා. එයා නරක අදහසක් හිතේ තියාගෙන මට ලං වෙන්න හැදුව නෙවෙයි. මමයි ඉස්සෙල්ලම එයාට ආදරේ වුණේ. මමයි එයාට ඒක කිව්වෙත්”

“අපි කරන්න ඕනෙ අපි කැමතිම දේවල් තමයි සනුවො. අපිට ආදරෙන් කරන්න පුළුවන් දේවල්. සනූ ගෙ තීරණේ ගැන මටනං පුදුමයක්වත් තරහක්වත් නෑ. ඒ ඉලන්දාරියට සනූ වගේ කෙල්ලෙක්ගෙ හිත බැඳුන්නැත්තං තමයි මං පුදුම වෙන්නෙ. තව දෙයක් කියන්නද…”

මම හිස නගා ආච්චා දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් අතරේ දඟකාර සිනහවක් විය.

“මන්නං කැමතියි ඒ ඉලන්දාරියට”

“අනේ අනේ ආච්චා”

නංගී අප ඉදිරියේ දෑත් ඉණෙහි ගසා ගෙන බලා සිටියා ය. මේ වගේ දුක්බර ම අවස්ථාවක පවා මුහුණට සිනහවක් ගෙනෙන්නට හැකි මිනිසුන් මෙලොව හරි විරල ය. ආච්චා එහෙම කෙනෙකි. වයස කීය වුණත් ඇයට තියෙන්නේ තරුණ හදවතකි. තරුණ හැඟීම් වලට සංවේදී හදවතකි.

“කෙල්ලනේ මාත් කසාද බැන්දෙ කලින් බැඳල දරුවෙකුත් හිටිය මනුස්සයෙක්ව. ඉතිං එයා මැරෙනකල්ම අපි හොඳට හිටියෙ නැද්ද…තව ළමයි හය දෙනෙක්ම හදාගෙන හැම යුතුකමක් ම ඉෂ්ට කර ගෙන හිටියෙ නැද්ද? මොකද කලින් කසාද බැඳලයි කියල කවුරුවත් පිටේ බෝඩ් එකක් ගහං ඉන්න එකක්යැ. දෙන්නට දෙන්නා අවංකයිනං ආදරෙයිනං එච්චරයි”

“අම්මට ඇහුණනං එහෙම මේ දැංම ආච්චාවත් පිටුවහල් කරනව”

“අනේ නෙතුකියො උඹලයි අම්ම මටත් වඩා පරණ තාලෙට හිතන ගෑනිනෙ ඉතිං”

ආච්චා ගේ වදන් නිසා යන්තම් හිත එකලාසයක් කර ගෙන ඇස් පියා ගන්නට හැකි වී ද මගේ යටි හිතේ ක්‍රියාත්මත කෙරෙන ලද විවිධාකාර සිතිවිලි වල බලපෑම නිසා වරින් වර මා අවදි විය. නින්දේදී වුව යටි හිත තුළ විකාර සිතිවිලි බලපැවැත්වී ඇති බව දැනිණි.

යුද්ධය සැබෑ ස්වරූපයෙන් ඇරඹුණේ පසු දා උදේ අවදිව මා වැඩට යන්නට සූදානම් වත්දී ය. 

“කොහෙද ඔය යන්න ලෑස්ති වෙන්නෙ…”

අම්මා පෙර කිසි දාක මා නැති වියරුවකින් මගේ ඇඟට කඩා ගෙන පැන්නා ය.

“ෆ්ලවර් ශොප් එකට”

මම මවිතයෙන් ඇගේ මුහුණ බලා කීවෙමි.

“නෑ. කොහෙවත් යන්නෙ නෑ. ගෙට වෙලා ඉන්නව”

“අම්මෙ මං වැඩට යන්නෙ. වැඩට නොයා කොහොමද…”

“මීට පස්සෙ වැඩට නෙවෙයි කිසිම හේතුවකට මං හරි තාත්ත හරි නැතුව ඔයාට මේ ගෙදරින් දොට්ට බහින්න බෑ. ආයෙ වැඩට යන්න ඕන නෑ. අපිට පුළුවන් ඔයාට කන්න අඳින්න දෙන්න”

“අම්…මෙ”

මම කුස්සියේ පුටුව මතට කඩා ගෙන වැටුණෙමි.

“මීට වැඩිය කියන්න කිසිම දෙයක් නෑ. මොනවත් අහන්න ඕනත් නෑ. අපි ඕගොල්ලන්ට නිදහස දුන්නා වැඩියි. ඒකනෙ මේ”

මම දිවගෙන වාගේ කාමරයට ගියෙමි. 

“වැඩට යන්නත් එපාලු”

ආච්චා ත් නංගීත් මවෙත ආවේ මගේ අසරණ හැඟීම තව තවත් තීව්‍ර කරවමිනි. නංගී කිසිවක් කර කියා ගත නො හැකි විලාශයකින් යහනේ මා ළඟින් හිඳ ගත්තා ය.

“දවසක් දෙකක් නිවාඩු දාන්නකො. මේගොල්ලංගෙ හිත් ටිකක් සන්සුන් වෙනකල්. සුනාමි වුණත් ඇවිත් ගියා ළමයිනේ. ඊට පස්සෙ ආයෙත් ලෝකෙ පරණ විදිහට නිශ්චල වෙනව”

ආච්චා කීවා ය. ඒ අනුව මම ආයතනයට කතා කොට දින තුනක් ලෙඩ නිවාඩු ලබා ගතිමි. 

හදවත ඇදුම් කමින් තිබිණ. ඊයේ මේ බෝම්බය පිපිරීමෙන් පසු මට රවීන් ට කතා කළ නො හැකි විය. ඔහු ඉන්නවා ඇත්තේ මා ගැන සිතමින් මටත් වඩා ගින්දරක ය. රවීන් ගේ හිත් බර මඳක් හෑල්ලු කරනු වස් මම ඔහු ට ඇමතුමක් ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles