හසරැලි වැස්සේ -5

අධ්‍යාපනය ලබද්දී මට තිබුණේ කාර්යබහුල ජීවිතයකි.අයියා හොඳින් ඉගෙන ගැනීම නිසා මට ද ඔහුගේ පසුපස ගමන් කරන්නට සිදු වූයේ සෑම පවුලකම බාල දරුවාට සිදුවන ආකාරයට ය.අම්මා මා ගැන සොයා බලන්නට අයියාට පැවරුවා ය.පාසල් අධ්‍යාපනය සහ උපකාරක පන්තිවල අධ්‍යාපනයට අමතරව මට අයියාගේ සිසුවියක වන්නට ද සිදු විණ.

“අපෝ..මොනවද බං ඔය කෙල්ලට උගන්නන කැත?”

පාඩම් කරන්නට යැයි අපේ නිවසට පැමිණි මොහොතක නම් සචිර අයියා වහා අප මැදට පැන්නේ ය.අයියාගෙන් ගුටි නොකා පාඩමක් ඉගෙන ගන්නට මට අවස්ථාව එළඹියේ එවන් දවසක ය.

“ඔච්චර මහන්සි වෙන්න එපා..ඔයා කොහොමත් දක්ෂයි..”

සචිර අයියා එවැනි මොහොතක මගේ නළලතට දබරැඟිල්ලකින් තට්ටු කරමින් පවසයි.නමුත් ගැහැනු ළමයෙකු හොඳින් ඉගෙනීම කළ යුතු බවද ඔහු මට සිහි කළේ ය.

“අපේ අම්මි බලන්නකො.තාත්තිව මැරි කරාට පස්සෙත් එයා ඩිග්‍රි නම් කීයක් කරාද?”

සචිර අයියා එසේ කියද්දී ආන්ටි එතරමට ඉගෙනීමට වෙහෙසීම ගැන මට පුදුමයක් නොදැනුණා නොවේ.ඈ වෙහෙස වී රැකියා කළ යුතු ගැහැනියක නොවේ.ධනවත් සැමියෙකුගේ සන්තෝසදායක බිරිඳකි.

“අපේ අම්මා කියන දෙයක් තමයි, කවදහරි අපි ඉගෙනගෙන ගෙදරින් ගිහින්..අම්මා තනිවෙන දවසක් එනවනෙ.අන්න එදාට එයා අපි වෙනුවෙන් කාලය කැප කරා,අපි වෙනුවෙන් හැමදේම කරා කිය කියා ඉන්න එයා ආස නෑලු.එයාට ඕනලු එයාට එයා ගැන ආඩම්බර වෙන දේවලුත් කරගන්න..”

සැමියාගේ ව්‍යාපාරවලට සම්පූර්ණ කාලය වැය නොකර රාජ්‍ය දෙපාර්තමේන්තුවක උසස් නිලධාරිනියකව කටයුතු කරන සචිර අයියාගේ අම්මා ඉතා පුදුමාකාර කාන්තාවකි.මා දන්නා මනුෂ්‍යත්වයෙන් ඉහළම ගැහැනියකි.

“ඒ මනුස්සයගෙ හිතේ එච්චර කරුණාවක් නොතිබ්බනම් අර දෙනෙත්ට ඔහොම පිහිට වෙයිද?”

අම්මා එසේ කියද්දී නම් මම එයට එරෙහි වන්නට කටයුතු කරමි.දෙනෙත් අසරණ අනාථ දරුවෙකු ලෙස හැඳින්වූ විට රිදෙන්නේ මගේ සිත ය.

“සචිර අයියලා කරත් නොකරත් දෙනෙත් අයියලගෙ තාත්තා ගොවිතැන් කරල එයාට උගන්න්නයි.අනික ඉතින් පුලුවන් නිසානෙ කොළඹ එවන්න ඇත්තෙ..”

මා එසේ කියද්දී මම්මාට නම් වෙනත් කාරණයක් මතු කරන්නට අවශ්‍ය විණි.

“දෙනෙත් ශිෂ්‍යත්වෙ පුදුම ඉහලින් පාස් වුණු ළමයෙක්නෙ.ගමට කිට්ටු ටවුන් එකක ලොකු ඉස්කෝලෙට නොයා ලංකාවේ ඉහළම ඉස්කෝලෙට එන්න ඒ ළමයින්ට උවමනාව ඇති කරන්නේ මීඩියා.මුලින්ම ආධාරත් දෙනවනෙ ටීවී චැනල්වලයි පත්තරවලයි එයාලව විකුණලා.අවුරුදු කීපයක් ගියාම ආධාරත් කැලේ,මීඩියා වලටත් එයාලා අමතකයි.ඉතින් සචිරලගෙ අම්මලා වගේ හොඳ මිනිස්සු නොවෙන්න දෙනෙත්ලගෙ ගමන ඇත්තටම මඟ නවතිනවා.”

ඒ සියල්ල සිදු වන්නේ ඔහුගේ වාසනාවට බව විශ්වාසයට ගන්නට මට උවමනා විණි.ඔහු නොපැරදෙනසුළු ධෛර්යවන්ත තරුණයෙකි.ඔහුගේ අගය නොදන්නා කෙල්ලන් ඔහු ප්‍රතික්ෂේප කිරීම ම යහපත් ය.මට ඔහු අසල රැඳෙන්නට ඕනෑ විය.

“ඔයාට හිතෙන් නැද්ද ඔයාට ආදරේ සචිර අයියා කියලා..”

එක්දාස් එක්වැනි වතාවට පමණ යෙත්මි මගෙන් විමසුවේ අපේ නිවසට පැමිණි මොහොතක දී ය.මම තොල නොපිටට හරවා කේන්ති බැල්මක් මවා ගතිමි.

“සචිර අයියා මට ආදරෙයි තමා..ඒත් ඔයා හිතන විකාර තාලෙට නෙවෙයි..”

නමුත් යෙත්මි මා නොපිළිගත්තා ය.ඇය සමච්චල් සිනාවකින් බලා හුන්නා ය.

“එයයි හසරැල් අයියයි එක වගේ වෙන්නෙ කොහොමද? ඒ පිට මනුස්සයෙක්..මට හිතෙනවා එයා පොඩි කාලේ ඉඳන්ම ඔයාට ආදරෙන් හිටියා..මේ වගේ හොඳම කාලේ එනකන් එයා බලා ඉන්න ඇත්තේ..”

මම යෙත්මිගේ බාහුවට පහරක් ගැසුවේ එය මට අසන්නට නුවුමනා කතාවක් නිසා ය.ඔහු මොනාකාරයෙන් මට ආදරේ කළ ද සැබෑවටම මට වැදගත් නැත.

“මං සාස්තරයක් කියන්නං..”

යෙත්මි එසේ කියමින් මගේ කාමරයේ ඒ මේ අත ඇවිද්දා ය.අම්මා නිවසේ නොවූව ද ඇගේ මේ විකාර කතා මම්මාට ඇසේදැයි බලන්නට මම කාමරයෙන් පිටතට හිස පෙව්වෙමි.

“ඔයා ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකන් සචිර අයියා ඉන්න ඇත්තෙ..ළඟදිම එයා ඒ ගැන අහන්නත් බැරි නෑ..”

එය සැබෑවටම මට අදාළ කාරණාවක් නොවේ.මට එයට දෙන්නට ඇත්තේ සරල පැහැදිලි පිළිතුරකි.අයියා සමඟ යාළුකම පටලාගෙන ඉන් මට බලපෑම් කරන්නට තරම් සචිර අයියා නූගතෙකු නොවනු ඇතැයි සිතීම පමණක් මට සහනයක් විණ.

“සාස්තරේ ඊළඟ අදියර..”

යෙත්මි නාටකීය ලීලාවකින් මදෙස මොහොතක් බලා සිටියා ය.

“ඔයා ඔය හිතන් ඉන්න කාරණාව දෙනෙත්නම් ජීවිතේට අහන් නෑ..”

මගේ හදවත කැබලි ගණනාවකට කැඩී යන හඬ මටම ඇසිණ.දෙනෙතට උපන් කඳුළු සඟවා ගනිමින් මම ඉවත බැලීමි.යෙත්මි කිසිම ළතෙත් බවක් නැති දෑසකින් මදෙස බලා සිටියා ය.

“එයා නෑහුවොත් මං අහනවා..”

මා ක්ෂණික හිතුවක්කාර තීරණයක් ගෙන එය හඬ නගා ප්‍රකාශ කළේ එනිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles