හසරැලි වැස්සේ -06

“මොකක්ද කියන්නේ?”

යෙත්මි මහත් පුදුමයෙන් විමසී ය.මා සිටියේ හිතුවක්කාර බැල්මක් නෙතු අතර තබාගෙන ය.ඒ සිතුවිල්ල මේ දැන් නැඟුණු බව සැබෑ වුව ද මට එය ක්‍රියාත්මක කරන්නට උවමනා විණ.

“මං දෙනෙත් අයියට කියනවා..”

මා එසේ කියද්දී යෙත්මි වහා මා අසලින් හිඳ ගත්තා ය.

“මොකක්ද?”

ඈ අසන්නේ මා පැවසූ දේ නෑසුණු ලීලාවෙනි.වසර ගණනාවක් මගේ ඒකපාර්ශ්වික ප්‍රේම කතන්දර අසා සිටි ඇයට එය නෑසී තිබෙන්නට හේතුවක් නොවේ.

“අපි එයාට කියමුද?”

තනිව කියන්නට තිබූ ධෛර්යය යෙත්මිගේ මුහුණේ ඇඳෙන බැල්ම නිසා මකා ගත් මම ඒක වචනය බහු වචනයට හැරවූයෙමි.

“බෑ…ඒක ඔයා ඉවර වෙන වැඩක්..”

යෙත්මි ඉතා සරල තීන්දුවක් ලබා දුන්නා ය.මම මුහුණ කොරහක් බවට පත් කරගෙන ඈ සමඟ රණ්ඩුවක් අල්ලන්නට සිතීමි.

“ඔයා කියන්නෙ ගෑනු ළමය ඉස්සර වෙන එක කැතයි කියලද? අනේ යෙතූ..ඔයාගෙ කට නම් ඇමරිකාවෙ පදිංචියට යන්න.ඒත් අයිඩියාස් නම් අර අරාබි රටවල වගේ..”

මා එසේ කියද්දී යෙත්මි මට නැවත රවා බැලුවා ය.

“එහෙම කියන එක කිසිම වරදක් නෑ.හසරැල් අයියට,සචිර අයියට එහෙම කියන්න මට හිතුණනම් මේ දැන් මම කියන්නේ..එතකොට මොකක්ද දන්නවද වෙන්නේ?”

යෙත්මි අසන්නී ය.අයියාගේ පෙම්වතිය ඔහුට ඇති කැමැත්ත මුලින්ම ප්‍රකාශ කළ කතාවක් සචිර අයියාගෙන් කනින් කොනින් ඇසූ අන්දම මට මතක ය.මා ඒවා අම්මාගේ කනේ තබන බැවින් අයියා මට ඒ සම්පූර්ණ කතාව දැන ගන්නට ඉඩ නොතැබී ය.

“එහෙම වුණානම් වෙන්නේ කාරණා දෙකයි..එකක් තමයි එයාලා මගේ යෝජනාව පිළිගන්න එක.නැත්නම් එහෙම ෆීලින් එකක් එයාලට නෑ කියලා ඕක රිජෙක්ට් කරන එක..”

එසේ කී යෙත්මි මගේ අතින් ඇද අපේ භෞතික විද්‍යා ගුරුතුමියගේ වර්ගයේ බැල්මක් හෙළුවා ය.අප සහමුලින්ම විභාගය නා ගන්නා බව සැක හැර තේරුම් ගත් පසු ඇය වදනකුදු නොකියා අමුතු බැල්මකින් බලා හිඳින්නී ය.යෙත්මිගේ දෑසේ ද ඇත්තේ එහෙව් බැල්මකි.

“ඒත් දෙනෙත් කරන්නේ,ඌ කැමතිත් නෑ කියලා රට වටේටම ඕක කියලා ඔයා නැත්තටම නැති කරන එක..”

එය ඉතා කෙටි කතාවකි.නමුත් මගේ හදවත සසැලෙන කතාවකි.

“දෙනෙත් අමුතු මනුස්සයෙක් හසී. ඒ ළමයා ගමක ළමයෙක් හින්දා එහෙම උනා කියලා එහෙම නෙවේ මම කියන්නේ.මොකද ඊටත් වඩා ඈත ගම්වල ළමයි අපි එක්ක අගේට හිටියේ.එයා හිතන විදිය හරි අවුල්.හසරැල් අයියවයි සචිර අයියවයි ආස්සරේ කරලත් එයාට එහෙම වුණු එකයි පුදුමේ..”

යෙත්මි එසේ කියා කල්පනාවට වැටුණා ය.මා කියන්නට හැකි දෙයක් කල්පනා කළෙමි.

“ඒ වුණාට එයාගෙ විදියට මං කැමතියි..”

එය යෙත්මිට මහා හඬින් සිනා ඇති කරන කතාවක් විණ.ඇය මා විහිළුවට ගැනීම ගැන මට කිසිම හේතුවකින් දුකක් ඇති නොවේ.හදවතේ ඇති දේ නොවළහා හෙළි කරන්නට මට සිටින්නේ ඈ සහ උවනි ය.අම්මාට ඕනෑම දෙයක් කියන වර්ගයේ දියණියන් ලෝකයේ ඕනෑතරම් සිටින බව මම දනිමි.නමුත් මා එවැනි දියණියක නොවේ.මගේ අම්මා කිසිම දිනක හොඳ අසන්නියක නොවුණා ය.

“මොකක් හරි ප්‍රශ්නයක්..කා එක්කවත් හොඳින් ඉන්න දන් නෑ.ඊටපස්සෙ යාලුවො නෑ කියලා අඬාගෙන එනවා.”

මා පාසලේ ගැටලුවක් කියද්දී පවා ඇය අසා නොසිටම මට කඩා පැන්නා ය.

“මේ ගෙදර පිරිමියත් මම,ගෑනිත් මම..සල්ලි එව්වා කියල මේ ගෙදරට තාත්තෙක් නෑනෙ හරියට.මට තියන ප්‍රශ්න කවුරුත් අහන් ඉන්නවද?”

ඇතැම්විට ඇය එසේ අමුතු දෑ කියවූවා ය.අම්මාට කිසිම දෙයක් කියන්නට නොහැකි බවත් ඇය කෝප ගන්නට හපනියක බවත් මම සරලව තේරුම් ගතිමි.අනෙක් කාරණාව ඇය සෑම මොහොතකම දුක ගැනම කියවූවා ය.මා යම් පාඩමක් අසීරු බව යාන්තම් හෝ පැවසුවහොත් ඈ ඊළඟ දවසේ සිට විස්සෝප වූයේ ඒ ගැන කියමිනි.

“පණ යනකන් වියදම් කර කර ඉගැන්නුවට මහන්සි වෙන් නෑ.ඊටපස්සෙ පාඩම් අමාරුයිලු.ඇයි ලේසි කතාවනෙ.ෆේල් වුණාම කියන්න හේතු තියනවනෙ..”

මම මේවායින් අතිශය විඩාවට පත් වූ දැරියක් මි.නමුත් අම්මා කිසිම දිනක ඇගේ පිළිවෙල වෙනස් නොකළා ය.

“කසාදයක් බඳින්න ඕනවට බැන්දම වෙන දේවල්.සල්ලි තියන මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න ලේසි හිතනව.ඒ මනුස්සයා දරුවො හදලා සල්ලි එව එව ඉන්නව.හිතේ බර වැඩි වුණාම ඒවා ළමයි පිටින් යවනවා..බොහොම සරලයි..”

මම්මා ඒ හැසිරීම ගැන පැහැදුවේ එහෙම ය.නමුත් ඈ කිසිවක්ම දිගින් දිගට නොපැවසුවා ය.

“මොකා හරි බඳින්න නෙවෙයි.හරි මිනිහෙක් හම්බ නූනොත් තනියම ජීවත් වෙන්න..ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ..ජීවිතේම මෙහෙම පීඩනෙන් ගෙවන්න එපා.”

මම්මා මට ද උපදෙස් දුන්නා ය.ඇයට හිතේ ඇති දෑ කියන්නට හැකියාව තිබුණු බව සත්‍යයකි.නමුත් ඇයට ඕනෑවට වඩා ළං වීම අම්මා නොරිස්සූ හන්දා මා කළේ දෙදෙනාටම මා තුළ ඇති දෑ නොපැවසීම ය.

මට මා තුළ ගුලි ගැසීම වඩා පහසු විණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles