“මම්මේ…”
ඈ පෑරේදැයි නොසිතා මම මම්මාව ඇමතූයෙමි.මම්මා මදෙස බැලුවේ උපේක්ෂා සහගත දෑසකිනි.
“මම්මා ඇයි ඒ අංකල්ට ඒක නොකීවෙ?”
මම්මා නිස්කාංසුවේ හිනැහුනා ය.අනතුරුව කිසිත් නොකියා ඇගේ ඇණවුම් අතර ඇති බිළිඳු ගවුමක් අත ගාමින් සිටියා ය.චන්දන නම් මා නොදුටු මිනිසා ඇගෙන් උදුරා ගත් සිහින ඒ නොවේදැයි මම සිතුවෙමි.
“මට හිතුණා කියන්න ඕන නෑ කියලා..”
මම්මා කියන්නේ මඳ සිනාවක් සහිතව ය.ඒ ප්‍රේමය ගැන උපේක්ෂාවෙන් දකින්නට තරම් දැන් ඇගේ හදවත සුව වී ඇති බව මට සිතිණ.ගැහැනු ළමයෙකු ප්‍රේමය ප්‍රකාශ කරන්නට ඉක්මන් නොවිය යුතු බව යෙත්මි පැවසූ අන්දම සිහි කරමින් මම මම්මා දෙස බැලුවෙමි.ඇය කියන්නට යන්නේ ද ඒ කාරණාවම විය යුතු ය.
“ඇයි ඒ..ගෑනු ළමයි එහෙම කියන එක හරි නැද්ද මම්මා?”
මම්මා එයට ද පළ කරේ නිහඬ සිනාවකි.
“මිනිස්සුන්ට ආදරේ කියන්න ඕන නෑ සූකිරි.දැනෙන්න ඕන.අහම්බෙන් හදිසියේ මුණ ගැහෙන ගෑනු ළමයෙක්ට හරි පිරිමි ළමයෙක්ට හරි ආදරේ කියන්න සෑහෙන්න මහන්සි වෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා.ඒත් කාලයක් තිස්සෙ තමන් එක්ක එකටම ඉන්න නිතර මුණ ගැහෙන කෙනෙකුට ආදරේ කියන්න ඕන නෑ.ඒ ආදරේ ලැබෙන්න නියමිත එකක් නම් අනිත් කෙනාට ඒක දැනෙන්න ඕන.ආදරේ බව කිය කියා ජීවිතේම ගෙවන්න බෑනෙ සූකිරි.ඒක දැනෙන හැඟීමක්..”
මම්මාගේ ජීවන දැක්ම මා කවදත් විමතියට පත් කරන්නකි.ඇය ජීවිතය දෙස බලන්නේ ද සමහර කාරණා දෙස බලන්නේ ද පුළුල් දැක්මකිනි.මා ඇගේ වචන මුව අයා අසා සිටින්නට ඇත්තේ එනිසා ය.
“මං එයාට ආදරේ කරා.ඒ උනාට ඒක චන්දනට දැනුණේවත් නෑ..ඒ කියන්නෙ මං ඒක කිව්වනම් පලක් වෙන්නෙත් නෑ.කියලා එයා බාර ගත්තයි කියමු.එතකොටත් පලක් නෑ..ආදරයක් නැති තැනක නතර වෙලා කියන හැඟීම ඔලුවට ආවට පස්සේ එයා යනවා..”
ඒ මට හිතන්නට බොහෝ කාරණා ඉතිරි කළ කතාවකි.මම්මා අස් පස් කරන අතර දිගටම කතා කරමින් සිටියා ය.
“ඉතින් මම්මෙ, ඒ අංකල් ඔයාට ආදරේ කරෙත් නෑ.එයා මැරි කරලා අපි තරම් ලොකු ළමයිත් ඉන්නවා..සීයෙකුත් වෙයි ළඟදි.මම්මත් බඳින්න එපැයි..”
මම්මාගේ සිනාව යළිත් පිපී ආයේ ය.ඇය සුසුමක් හෙළන්නට ඇත්තේ හදවතේ බර මකා ගන්නට ය.
“මං චන්දනට ආදරෙයිනෙ.මේ මොහොතෙත් ආදරෙයි.එයාට ආදරේ කර කර වෙන කෙනෙක් බැන්දනම් මං ඒ බඳින මනුස්සයාට කරන්නේ අසාධාරණයක්..”
නමුත් දැන් ඇය තනි වී හමාර ය.මට මම්මා ගැන තද දුකක් දැනුණේ එනිසා ය.මම්මා ඒ ගැන වද නොවෙන බව ද නොසිතෙනවාම නොවේ.එහෙත් දෛවය ඇයට කුරිරු අසාධාරණයක් කර හමාර ය.
“ආදරයක් නැතුව පවුලක් හදාගන්න හොඳ නෑ..ඊට පස්සේ ජීවිත කාලෙම ඉන්නේ අපහසුවෙන් පීඩාවෙන්..”
මම මම්මා වෙතින් මෑතට එන්නට නැගී සිටියේ ඒ වචන ගැන සිතමිනි.එහෙත් මම්මා මා ඇමතුවා ය.
“මං මේක ඔයාට කියන්න හිත හිතාම හිටිය දෙයක්.පොඩ්ඩි ඔයා ගාව ඉන්නවට වඩා වෙලාවක් මං ඔයා ගාව ඉන්නවා..මට ඔයාව දැනෙනවා..”
මගේ හිසත් දෙපතුලත් සීතලව ගියේ ය.එකොළොස් හැවිරිදි දැරියක කාලයේ නිදන ගවුමේ ඇඳුණු රතු පැල්ලමක් අම්මාගෙන් සඟවා පාසල් වෑන් රිය දක්වා යන්නට මට හැකි විණ.නමුත් මම්මා මා අල්වා ගත්තා ය.මගේ පස්සට දෙකක් දී මා කමරයක සිර කරන්නට ඇයට ගත වූයේ සුළු වෙලාවකි.
“ආදරයක් ඇති කර ගන්න කලින්..මේ කොල්ල මගේ හිත තලල දායිද කියලා දෙපාරක් හිතන්න සූකිරි.හොඳට හිතන්න.ඔයා නතර වෙලා ඉන්න තැන ගැන මට සැකයි.ඔයත් රිද්දගෙන අවුරුදු ගණන් තිබ්බ යාළුකමුත් අයියට නැති කරන්න එපා..”
මහා රහසක් හෙළි වූ පසු ඕනෑම කෙනෙකුට දැනෙන ලැජ්ජාවෙන් පීඩිත වූ මම කාමරයට දිව ආවෙමි.මට තනිව හිඳින්නට ඕනෑ විය.