මවුපියන් හැම කෙනෙක් ම තමන්ගෙ දරුවන් ගැන දක්වන්නේ අසීමිත සෙනෙහසක්. මේ නිසාම දරුවන්ගේ සුළු අසනීපයකදී වුවත් ඔවුන් බොහෝසෙයින් කලබලයට පත්වෙනවා. බොහෝ මවුපියන් තම දරුවන් අසනීප වන බව ඇසීමටවත් අකමැතියි. මේ නිසා දරුවෙකු අසනීප වූ අවස්ථාවල දී දෙමව්පියන් ඇතිකරගන්නා අනවශ්‍ය කලබලයෙන් බොහෝ නරක ප්‍රතිඵල අත්වන්නටත් ඉඩ තිබෙනවා. දරුවන් පෙළෙන රෝගයට අමතරව ඔවුන් විවිධ අනතුරුවලට ලක්වීම පවා මේ නිසා සිදුවිය හැකියි.
ඉතා කල්පනාකාරී වන්න
දරුවන්ට ඇත්තටම ආදරය කරන ඔබ ඔවුන්ගේ අසනීප අවස්ථාවක දී ගත යුතු හොඳම සහ නිවැරදි ම තීරණ ගත යුතුයි. එකිනෙකාගෙන් අදහස් විමසමින් වැඩිපුර කාලය ගතකරන්නට ඔබට එවැනි අවස්ථාවක දී හැකියාවක් නැහැ. දරුවාගේ අසනීපයේ ස්වභාවය අනුව, මින් පෙර අවස්ථාවල දරුවා රැගෙන ගිය වෛද්‍යවරයා වෙත හෝ ආසන්නතම රෝහලට හෝ දරුවා රැගෙන යාම කිසිසේත් ප්‍රමාද කරන්න එපා.
දරුවන්ට තමන්ගෙ අසනීප හරියට ම කියන්න බැහැ
වැඩිහිටියන්ට මෙන් ගොඩවෙදකම් කරමින් කාලයට ඉඩ දී සුව අතට හැරෙන තුරු බලා සිටීම දරුවන්ගේ අසනීප සම්බන්ධව කිසිසේත් නොකළ යුතුයි. දරුවකුට ඉතා අසාධ්‍ය තත්ත්වයක් වුවත් පැහැදිලිව ප්‍රකාශ කිරීමට අවබෝධයක් නැති බව ඔබ හොඳින්ම අවබෝධ කරගත යුතුයි. විශේෂයෙන් උණ වලිප්පුව වැනි රෝගී අවස්ථාවලදී ඔබ ඉතා ප්‍රවේශමෙන් සහ දැඩි අවධානයෙන් දරුවා වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. නිවසේ දී කළ යුතු පූර්ව ප්‍රතිකාර ගැන මව්පියන් නිවැරදි අවබෝධයක් ලබා සිටීම මෙහිදී අත්‍යවශ්‍යයි.
පූර්ව ප්‍රතිකාර නිවැරදිව ලබාදෙන්න
ඕනෑම දරුවෙකුට රෝගයක මූලික ලක්ෂණයක් හැටියට උණ රෝගය වැළඳීමේ වැඩි ඉඩක් තිබෙනවා. එවැනි අවස්ථාවකදී රෝහලට හෝ වෛද්‍යවරයෙක් වෙත ගෙනයාමට පෙර දරුවාට පැරසිටමෝල් නියමිත මාත්‍රාව දීම, ශරීරය සිසිල් කිරීම, දරුවාගේ ඇඳුම් ඉවත්කිරීම විදුලි පංකාවක් දමා දරුවාගේ උණ තත්ත්වය අඩුකිරීමට පියවර ගැනීම වැනි මූලික පියවරයන් ගැනීම ඉතාම වැදගත් වෙනවා. උණ වලිප්පුව වැනි රෝගී අවස්ථාවකදී මවුපියන් කලබලයට පත්නොවී දරුවාගේ උණ වලිප්පු තත්ත්වය පහව යනතෙක් දරුවා එක් ඇලයකට හරවා තැබීම කළ යුතුයි. එහිදී දරුවාගේ මුඛය තුළට හැඳි වැනි දෑ දැමීමට උත්සාහ නොකළ යුතුයි. එවැනි අවස්ථාවල දී දරුවා හදිසියේ රෝහලට ගෙන ඒම හෝ ඔසවාගෙන යාම සඳහා උත්සාහ දැරීමෙන් දරුවා වෙනත් අනතුරුවලට ලක්වීමට බොහෝසෙයින් ඉඩතිබෙනවා. මවුපියන් මෙහි දී ඉවසිලිමත්ව කටයුතු කිරීම අතිශයින් ම වැදගත්.
නාසයෙන් ලේ ගැලීමක් නම්,
කුමන හෝ හේතුවක් නිසා දරුවෙකුගේ නාසයෙන් ලේ ගැලීමක් සිදුවෙනවා නම් පළමුව කළ යුත්තේ හැකි ඉක්මනින් දරුවාගේ නාස්පුඩු හොඳින් වසා දරුවාට මුඛයෙන් හුස්ම ගැනීමට සැලැස්වීමයි. මේ නිසා රුධිර වහනය නතර කර ගැනීමට හැකිවෙනවා. ඉන් අනතුරුව දරුවාට වෙනත් අනතුරක් සිදු නොවන ලෙස දරුවා ළඟම පිහිටි රෝහලට ගෙනයාම වැදගත් වෙනවා.
අතට හෝ පාදයකට අනතුරක් වී ඇත්නම්,
දරුවාගේ අතට අනතුරක් සිදුවීමෙන් අතින් ලේ ගලන්නේ නම් අත පපු ප්‍රදේශයට වඩා ඉහළට ඔසවා තැබීම කළ යුතුයි. කකුලක නම් කකුල තරමක් ඉහළට ඔසවා තැබීම ද කළ යුතුයි.
පිළිස්සීමක් නම්,
දෙමව්පියන්ගේ නොසැලකිලිමත්වීම් හේතුවෙන් කුඩා දරුවන් පිළිස්‌සීම් අනතුරුවලට භාජනයවීම වර්තමානයේ බහුලව දැකගත හැකි කණගාටුදායක තත්වයක්. රෝහල් වාර්තා සඳහන් කරන්නේපිළිස්‌සීම් අනතුරුවලින් වැඩි වශයෙන් කුඩා දරුවන් රැගෙන එන්නේ උණුවතුර බේසම්වලට, උණු වතුර භාජනවලට අතදැමීම නිසා පිළිස්‌සීමෙන් සිදුවන අනතුරු හේතුවෙන් බවයි. එමෙන්ම විදුලි සැර වැදීම්, රතිඤ්ඤා ආදිය නිසාත් කුඩා දරුවන්ට බොහෝ අනතුරු සිදුවෙනවා. දරුවන්ට මේ කවර ආකාරයක පිළිස්සීමක් වුවත් ප්‍රමාද නොකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන්න. රෝහලකට ඇතුළත් කරන තෙක් පිළිස්සුම් තුවාල සිදුවූ ස්ථාන විෂබීජ ඇතුළු නොවන සේ සහ හානිය අවම කරගත හැකි පරිදි හසුරුවාගැනීමේ අවබෝධය දෙමව්පියන්ට තිබිය යුතුමයි.
උගුරේ කටුවක් ඇනී ඇත්නම්,
මව්පියන්ගේ අනවබෝධය හෝ අපරීක්ෂාකාරීබව නිසා කටු සහිත මාලු දරුවාගේ ආහාරයට එක් කිරීමෙන් බොහෝ දරුවන්ට උගුරේ කටු හිරවීම් නිසා දුක්විඳින්නට සිදුවෙනවා. සමහර දෙමව්පියන් මේ තත්වයන් එතරම් ගණන් ගන්නේ ම නැහැ. බත් ගුලියක් දරුවාට ගිල්ලවීම, කෙසෙල් ගෙඩියක් ගිල්ලවීම, හැකිතාක් වතුර පොවා බැලීම වැනි වැරදි ප්‍රතිකාර හරහා දරුවාගේ උගුරේ අපහසු තත්වය තවතවත් වැඩි කරන ක්‍රියාමාර්ග ගන්නා දෙමව්පියන් ඕනෑතරම් ඉන්නවා. දරුවාගේ ජීවිතය සමඟ සෙල්ලම් කරන්නට දෙමව්පියන්ට අයිතියක් නැහැ. කරුණාකර දරුවා අපහසුවට ලක්ව ඇති එවැනි අවස්ථාවල ඔබේ අත්හදාබැලීම්වලට දරුවා යොදාගැනීමෙන් වළකින්න. දරුවා වහාම ළඟම සිටින වෛද්‍යවරයා වෙත ගෙනයන්න.
ප්‍රවාහනය පරිස්සමින්
රෝගී දරුවන් ප්‍රවාහනයේදී ද සැලකිලිමත්විය යුතුයි. අසනීප වූ දරුවකුට ඔහුගේ අපහසුතා සියල්ල කියාගන්නට නොහැකියි. මේ නිසා රෝහලට ගෙන යන දරුවා සුරක්ෂිත ද, බෙල්ල, අත් පා නිවැරදිව සකස් වී තිබේ ද, අනතුරුදායක යමක් හෝ තිබේ ද යන්න හොඳින් පරීක්ෂා කර බලන්න. අඩු සැලකිලිමත් බව නිසා පසුතැවෙන්නට සිදුවන විට ඔබට සමහර විට ඔබේ දරුවා සදහට ම අහිමි වී තිබේවි. විශේෂයෙන්ම පාසල්වල, ළමා සුරැකුම් මධ්‍යස්ථානවල මෙන්ම ළදරු පාසල්වලදී ද දරුවන්ගේ රෝගී අවස්ථා ගැන විශේෂ අවධානයක් දැක්විය යුතුයි. මෙවන් ස්ථානවලදී ගුරුවරු මෙන්ම දරුවන් බලාගන්නා අයද හදිසි අවස්ථාවකට මුහුණ දීම සහ එවන් අවස්ථාවකදී දරුවන් ඉන් මුදා ගැනීම පිළිබඳව දැනුවත්ව සිටීම ඉතාම වැදගත්.
නිවැරදි තොරතුරු වෛද්‍යවරයාට පවසන්න
හදිසි අවස්ථාවකදී රෝගී දරුවා පමණක් රෝහලට ගෙන ඒම ප්‍රමාණවත් වන්නේ නැහැ. දරුවාගේ රෝගී අවස්ථාවට පෙර ලබාදුන් ඖෂධ සහ දරුවාගේ රෝග ඉතිහාසය ගැන දන්නා අයෙක්ද දරුවා සමඟ රෝහලට පැමිණීම ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් වෙනවා.දරුවා පිළිබඳ නොදන්නා කෙනෙක් සමඟ දරුවා කඩිනමින් රෝහල් ගත කරනවාට වඩා රෝගී දරුවා සමඟ දරුවාගේ මව රෝහලට පැමිණීම ඉතාම වැදගත් වෙනවා. රෝගී දරුවෙකු රෝහල් ගත කිරීමේදී දරුවාගේ සියලු දත්ත නොසඟවා රෝහලට ලබා දීම කළ යුතුයි. මේ නිසා දරුවන්ගේ සියලු වෛද්‍ය ලේඛන පහසුවෙන් ලබාගත හැකි එක් තැනක තැන්පත් කර තැබීම වැදගත් වෙනවා.
නේවාසික රෝගී දරුවෙකු සමඟ රෝහලේ නැවතී සිටීමට සුදුසුම අය වන්නේ දරුවාගේ මවයි. දරුවා සමඟ එක් අයෙක් දිගින් දිගටම රෝහලේ නැවතී සිටීම දරුවාට ප්‍රතිකාර ලබාදීමේදී වැදගත් වෙනවා.
බෙහෙත් ඖෂධ නිවැරදිව ලබා දෙන්න
දරුවා රෝහලෙන් බැහැරව යාමේදී දරුවාට ලබාදිය යුතු බෙහෙත් සහ අනිකුත් ප්‍රතිකාර පිළිබඳව මවුපියන් අදාළ වෛද්‍යවරයා ගෙන් විමසා දැනගැනීමත් ඉතාම වැදගත්. දරුවන්ට බෙහෙත් ලබාදීම කරගෙන යද්දී ඔවුන් සුව අතට පත් වෙමින් සිටීම සමහර විට දෙමාපියන් සැහැල්ලුවට පත් කරන්නක් වුවද, මෙලෙස සැහැල්ලුවෙන් සිතීම සමහරවිට නරකට බලපාන්නටත් පුළුවනි. ඒ වගේම බොහෝ දෙමාපියන් වෛද්‍යවරයා නිර්දේශ කරන ආකාරයට බෙහෙත් ලබා නොදීම නිසාත් දරුවන් සුවපත් කරගැනීම අපහසු වෙනවා. බෙහෙත් දෙන ආකාරය, ලබා දෙන මාත්‍රාවන් හා දෙමව්පියන් අනුගමනය කරන වැරදි වත් පිළිවෙත් නිසා දරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිරිහී ගියොත් දෙමව්පියන් හැටියට ඔබට කවදාවත් ඒ අතපසුවීම්වලට සමාවක් ලැබෙන්නෙ නැහැ. මේ නිසා දරුවන්ගේ අසනීප ගැන අනික් හැමදේකට ම වඩා ඉහළ ම අවධානය යොමු කරන්න. දරුවන් වෙනුවෙන් හැම මොහොතක ම නිවැරදි ම හොඳම තීරණ ගන්න.
– නිරංජලා –