අම්මාගෙන් දෝණිට – 5

හරිම මහන්සියක් එක්ක අමුතු තනිකමක් දැනෙන්න පටන් ගත්තේ ඊයේ රෑ ඔයා ටිකක් නොසන්සුන් වුණු නිසා වෙන්න ඇති කියලා අම්මාට හිතෙන්න ගත්තේ අද උදේ ඉඳන්.අප්පච්චි ඔෆිස් යනකොට හරිම පාලුවක් දැනෙන්න ගන්නවා. අම්මා බොහොම ආසාවෙන් ඔෆිස් ගිය හැටි මතක් වෙනවා.සමහර වෙලාවට අම්මා මොන තරම් උනන්දුවෙන් ඔෆිස් එකේ වැඩ කරාද කියන එක බන්ඩිය ඇතුළේ හිටිය කාලේදි දූටත් මතක ඇති.

අඬන්න හිතුණාට අඬන්න බෑ. පාලුව තනිකම වගේ දැනෙන සමහර දේවල් එක්ක පුංචි බබෙක් ගෙනාපු සමහර අම්මලාට වගේ මටත් පසු ප්‍රසව විශාදය හැදී ගෙන එනවාද කියලා හිතනකොට ටිකක් බය හිතෙනවා. අම්මා අසනීප වුණොත් මගේ දූ තනි වෙයි. ගොඩක් දුක හිතෙයි.

සමහර විට ඔයා තවම අලුත් ලෝකෙට හුරු වෙමින් ඉන්න නිසා අම්මා කෙනෙකුගේ ලෝකයට හුරු වෙන්න මටත් ඒ වගේම අපහසු ඇති. එහෙම නැත්නම් කැත වෙලා ගිය ඇඟ, සුව වෙමින් තියෙන තුවාල කැළැල් නිසා මටත් නොදැනිම මම වැඩකට නැති කෙනෙක් කියලා මම හිතනවා ද මන්දා..

හැම දුකක්ම කියලා අප්පච්චිට යවපු දිග මැසේජ් එකට අප්පච්චි එවපු උත්තරය එයා මටත් මගේ දූටත් ගොඩක් ආදරේ බව විතරයි.හැබැයි අප්පච්චි ඉක්මනින් ගෙදර ඇවිත් තිබුණේ සැලසුමක් හිතේ තියාගෙනම යි.

දොවපු කිරි පොවලා පැයකට දෙකකට දූ බලා ගන්න එක හරිම පහසු වැඩක් කියලා අත්තම්මලා කියන්න ගත්තා. ඉතින් මම අප්පච්චි එක්ක එළියට ගියා. ඉස්සරම දවසක අප්පච්චිගේ උරහිසට හේත්තු වෙලා කෝපි බිබී සුරංගනා ලෝකේ ඉන්න ඔයා ගැන හීන දැක්ක අවන් හලටම වෙලා අපි ඔයා ගැන කතා කළා.ඔයා එක්ක ආව නිසා අම්මාව දැන් ඉස්සරටත් වඩා වටිනා බව අප්පච්චි කිහිප වතාවක් ම කිව්වා..

මං පුංචි රහසක් කියන්නද? කවදාහරි මේ සටහන කියවනකොට දූ තරහ වෙන එකක් නෑ.අප්පච්චි කියනවා එයා ඔයාටත් වඩා මට ආදරේ බව. ඉස්සර දවසක කැම්පස් එකේදි මුණ ගැහුණු දඟ ගැහැනු ළමයාට වඩා අප්පච්චි ඔයාව තුරුළු කරගෙන කිරි පොවන නිදි මරන ඔයාගේ අම්මාට ආදරේ කරනවාලු.

ඉතින් ඒක සතුටක් නෙවෙයි ද?

මගේ දූත් දවසක කෙනෙකුට ආදරය කරාවි.ආදරය බොහොම ලස්සන බව ඉගෙන ගනීවි. ඒ ඔයාගේ අප්පච්චි වගේ අසීරු කාලවල බොහොම ආදරය දෙන කෙනෙක් නම් මගේ දූගේ ජීවිතයත් හරිම ලස්සනට පාට වැටේවි.

මම ඔයාගේ අම්මා

නිබන්ධිකා

 

Related Articles

Don't Miss


Latest Articles