රවීන් පැමිණියේ දානේ වැඩ නිසා ලොකු අයියා මිතුරෙකු ගෙන් ඉල්ලා ගෙන ඇවිත් තිබූ මෝටර් රථයෙනි. මේ වෙත්දී ත් අනතුරෙන් හානි වී තිබූ රවීන් ගේ රිය ගරාජයෙහි වූයේ ය.
ඔවුන් ගේ රිය ඇවිත් නතර වෙත්දී මා සිටියේ නිනව්වකින් තොර ව මග ඇවිද යමිනි.
“මොකද බං…”
ප්‍රශ්න කළේ ලොකු අයියා ය.
“දානෙට ගෙට එන්න මූට අවසර දීපු ගමං උඹ මෙහෙම කොල්ලව මගට ගෙන්න ගන්නත් පටන් ගත්තා නේ..හරි හරි ඔහොම යංකො”
ලොකු අයියා නන් දෙඩවූවාට රවීන් ගේ ඇස් මත තිගැස්මක් තිබෙනවා මම දුටිමි. යමක් සිදු වී ඇති බව ඔහු මගේ මූණේ ලියැවී ඇති හැඟීම් නිසා වටහා ගන්නට ඇත. මේ වගේ මොහොතක් වචන වලින් විග්‍රහ කරන්නේ කොහොමද කියා මා දන්නේ නැත. එය වූ කලී ගිනි කන්දක් සිය හදවත තුළ මහා ගින්නක් හංගා ගෙන විදාරණය නොවී ඉන්නවා බඳු තත්වයකි. පිපිරුණොත් අවට වන සියල්ල ද දැවී යනු ඇත. ඇතුළතින් දැවීම ඊට වඩා යහපති.
අප අවන් හලකට යන තෙක් රවීන් හා ලොකු අයියා වල්පල් කියවමින් ගියහ. මේ වෙත්දී ලොකු අයියාට ද යමක් ඉව වැටෙමින් තිබුණා කියා සිතමි. ගිලිහෙන්නට ආ කඳුළු, මා ආපසු හරවා යැව්වේ අමාරුවෙනි.
“හරි එහෙනං උඹල කතා කරපල්ලකො. මං එන්නං ආ”
කියමින්, අප අවන් හලට ගොඩ වූ පසු ලොකයියා යන්නට හැරුණේ ය. මම ඔහු නවතා ගතිමි.
“අයියත් ඉන්න”
රවීන් සහ ලොකු අයියා මූණෙන් මූණ බලා ගත්හ. වෙනස් වූ යමක්, රුදුරු වූ යමක් සිදු වෙන්නට යන බව ඔවුන් ට දැනෙන්නට ඇත.
“ලොකු අයියෙ. මං කවදාවත් පිරිමි ළමේක්ට ආදරේ කරල තිබුණෙ නෑ. රවීන් ගැන හිතේ ඇති වෙච්ච ආදරේ ආපහු හරෝල යවන්න මට පුළුවන් වුණෙත් නෑ. එහෙම නොවුණනං රවීන් අයිය කවදාවත් මට ආදරේ කරන්නෙ නැති වෙන්න තිබුණා”
මා කතාව පටන් ගත්තේ ම හඬන්නේ නැතැයි සිතා ගෙන ය.
“මොකද්ද බං වෙලා තියෙන්නෙ…”
“අපි අපිට ලං වුණේ වෙන් වෙන හිතකින් නෙවෙයි. ඒත් සමහර වෙලාවට අපිට කරන්න සිද්ද වෙන්නෙ අපි හීනෙන්වත් නොහිතුව දේවල්”
රවීන් හිටියේ පුදුම ඉවසීමකින් බව කිව යුතු ය. පිරිමියෙකු ට එහෙව් ඉවසීමක් උරුම වන්නේ සිය ජීවිත අත්දැකීම් තුළින් ලත් පන්නරයෙනි. මට සැනසීමකට තිබුණේ ඔහු ගේ ඒ ඉවසීමයි.
“මං හිතුවා රවීන් අයිය ඇක්සිඩන්ට් වෙච්ච වෙලේ බලන්න යන්න දෙනකොට අපිට අම්මල ආශිර්වාද කරයි කියල. ඒත් ඒක බොරු මවා පෑමක්. මාත් ශෙහාරා වගේ පැනල යයි කියන බයට දීපු පොඩි ඉඩක්. ගහල බැනල කියද්දි හිතුවක්කාර වුණත් ඔළුව අත ගාල අඬල කියද්දි දරුවෙක්ට අම්ම කෙනෙක්ගෙ වචනෙකට පිටින් යන්න බෑ දෙයියනේ. ඔයා දන්නව ලොකයිය අපේ අම්මයි තාත්ත්‍යි අපි දෙන්නව හදපු හැටි. එහෙම අම්ම කෙනෙක්ට අකීකරු වෙනවට වඩා ජීවිතේ නැති කර ගන්න එක ලේසියි. අම්ම මාව පොරොන්දු කර ගත්තා ලොකු අයියෙ…රවීන් එක්ක තියෙන සම්බන්දෙ නතර කරනව කියල”
ලොකු අයියා දිග සුසුමක් අත් හැරියේ ය. මගේ කන් අගුළු වැටී ඇති සෙයක් දැනිණ. කතා කර ගෙන ගියා ට මා මුළුමනින් ගල් වී ඇති බවක් මට දැනිණ..
“අයියෙ”
මම රවීන් දෙස බැලුවෙමි.
“මං කොහොමද සමාවෙන්න කියල හරි කියන්නෙ…කලින් කෙනා වගේම මාත් ඔයාගෙ ජීවිතේට හරියටම හරියන කෙනා නෙවෙයි වෙන්න ඇති. මට වැඩිය හොඳ කෙනෙක් වෙන්න ඇති ඔයාට ලැබෙන්න ඕන. ඒක නිසා වෙන්න ඇති ඉරණම දැන්ම මාව ඔයාගෙන් අයින් කරල දාන්න හදන්නෙ. මට මේක කරන්න බෑ අයියෙ. ඒත් මට මේක කරන්න වෙලා තියෙනව. සංසාරෙ කවදක හරි කරල තියෙන කරුමයක් ගෙවල ඉවර වෙන්නෙ මේ විදිහට වෙන්න ඇති”
අඬන්නේ නෑ කියා දැඩි තීරණයක හිටියත් මට මා පාලනය කර ගත නො හැකි යම් යම් අවස්ථා උදා වූයේ ය. තද කර අල්ලා ගෙන උන් කඳුළක් දෙකක් ඒ වෙලාවට ගිලිහී ගියේ ය.
“මැරෙන එක මීට වැඩිය ලේසියි. ඒක නිසා වෙන්නැති ආදරේ කරන කෙනා ලැබෙන්නෑ කියල දැනගත්ත වෙලාවට සමහරු සුඉසයිඩ් කර ගන්නෙ. ඒ වෙලාවට අපි පණ්ඩිත කතා කියනව තමයි. ඒත් ඒ මිනිස්සු හදවතින් කොච්චර අසරණ වෙනවද ඒ වෙලාවට කියල තේරෙන්නෙ දැන්..ඒත් මට අමාරු දේ තෝර ගන්න වෙනව අයියෙ. ජීවත් වෙන එක..මාව මෙච්චර කල් ජීවත් කරවපු අම්මයි තාත්තයි වෙනුවෙන්. ඔයා මට පොරොන්දු වෙන්න අයියෙ මේ චුට්ට කාලෙට ලං වෙලා හිටිය කෙල්ලව අමතක කරල දානව කියල. තව එකක්…මං නිසා නෙවෙයි මොකක් නිසාවත් ඔයා බොන්නෙපා ප්ලීස්. මේ වෙච්ච වගේ දෙයක් ආයෙ වුණොත් නං…මං මට කිසිම සමාවක් දෙන එකක් නෑ අයියෙ. එහෙම වුණොත් එදාට මට මේ ජීවිතේ අත්ඇරල මරණය තෝර ගන්න වෙයි. ඔයා මාව තේරුං ගන්නව නේද අයියෙ…”
රවීන් ඉවත බලා ගෙන හුස්මක් ගෙන මදෙස බැලුවේ හිත තද කරගෙන කියා මම දනිමි.
“සනූ…ඔයා හොඳ ළමයෙක්. ඔයත් එක්ක කවදාවත් මට තරහ වෙන්න බෑ. කවදහරි දවසක මොන තත්වෙකින් වුණත් ඔයාට මං ළඟට එන්න ඕන වුණොත්…දෙපාරක් නොහිතා ඔයා එන්න. මං මැරෙනකල් ඕනම වෙලාවක ඔයා වෙනුවෙන් ඉන්නව”
මම යටි තොල රිදෙන්නට සපා ගතිමි. නමුත් මගේ සියොළඟ අමුතුවෙන් රිදෙන්නට කියා තැනක් තිබුණේ නැත. රෝම කූපයක් ගානේ, අංශුවක් ගානේ මම රිදී බිඳී සිටියෙමි.
“අනේ ඇයි බං මෙහෙම වෙන්නෙ. මං කියන්නද…උඹල මෙහෙමම පලයල්ල. ගිහිං කොතනකිං හරි අලුතෙං පටං ගනිල්ල. මං මෙහේ ගැන බලා ගන්නං”
ලොකු අයියා එහෙම කීවේ හදවතින් ම ය. මිනිසුන් සිය ප්‍රේමය වෙනුවෙන් අවස්ථානුකූලව මෙවන් තීරණ ගන්නට හේතුව දැන් සිතා ගන්නට පුළුවන. නමුත් අවාසනාවකට අපට එවන් එක් තීරණයක් හෝ ගත නො හැකි ය.
“නෑ සනූ…මං හැමදාමත් කිව්ව වගේ ඔයා සෙල්ෆිෂ් නැති හොඳ ළමයෙක්. ඔයාට හොඳම දේවල් ලැබෙයි”
මට ලැබෙන්නට ඔහු ට වඩා හොඳ දෙයක් ඇත්තේ නැත. නමුත් මම එය නො කියා සිටියෙමි.
ඒ හෝරාව ඊට වඩා දිගු නො කර ගන්නට මට ඕනා විය. මතක වුණත් එකතු කර ගත යුත්තේ ඔසවා ගෙන යා හැකි තරමට ය!
මා යළි එන විට වෙහෙස නිසා ආච්චා නින්දට වැටී සිටියා ය. නො එසේ විණි නම් ඒ දේවල් ඊට වඩා වෙනස් වන්නට තිබිණි.
“මොකද වුණේ…”
මගේ මූණේ වෙනසක් දැක දෝ නංගී ඇසුවා ය. මම මඳහසකින් හිස දෙපසට සැළුවෙමි.
“මුකුත් නෑ”
ඇය එය විශ්වාස නො කළ බව පෙනෙන්නට තිබුණත් නංගී හරස් ප්‍රශ්න අසා මා වෙහෙස කළේ නැත.
අලුත් උදයේ මම වැඩට යන්නට සූදානම් වුණෙමි. නො හඬා කඳුළු දරා ගැනීම නිසා දෝ මගේ මූණ ඉදිමී, තඩිස්සි වී තිබිණි.
“සනූ අද නිවාඩු දාල ගෙදර හිටියනං හරිනෙ”
අම්මා කීවා ය.
“දැං මං අම්ම කියන විදිහටද හුස්ම ගන්නත් ඕනෙ…”
කවදාවත් නොවූ ලෙස මම අම්මා ට කෑ ගැසුවෙමි. මගේ ගැහැනු ළය තුළ පොදි ගැහී තිබුණ නො රිස්සුමේ තරම දන්නේ මා පමණකි.
ඒ නො රිස්සුම ඉනික්බිති මගේ ජීවිතයේ අංගයක් බවට පත් වූවා කියා පිළිගත යුතු ය.
ලොකු අයියා සිය මිතුරා ගේ රියෙන් අපේ ගේ දොරකඩට ආවේ ය.
“මං සනූව මල්සර එක ළඟට ගිහින් දාන්නං”
අම්මා ට හෝ යනවා කියන්නේ නැතිව මම රියට ගොඩ වීමි. කඳුළු සොරොව් බිඳ වැටුණේ ඉනික්බිති ය. කාගේවත් තහනමකින් තොර ව, හිතේ හැටියට මම හැඬුවෙමි. නමුත් ඒ අවසාන වතාවට ය.
“මං කිව්වෙ ඒකනෙ. රවීන් එක්ක යන්න කියල”
නමුත් මට එසේ කළ නො හැකි ය. මගේ මව් පිය දෙදෙනා ට ලෝකයේ මිනිසුන් සිනහ වෙනවා කියා දැන ගෙන සිනා සී සිටින්නට මට නො හැකි ය. ඔවුන් ගේ ආදරයට ගිනි තබා ඒ අළු මත අලුත් ලෝකයක් තනා ගන්නට මට නුපුළුවන.
ලොකු අයියා සේ ම සුනෙත් ද මගේ හිත හදන්නට බොහෝ තැත් කළහ. මම පිටතින් සන්සුන් වුණෙමි. මගේ ඇතුළාන්තය කිසිවෙකුටත් නො පෙනෙන සේ අගුලු ලා ගතිමි.
එදා මා ගෙදර එන විට රවීන් ලොකු අයියලා ගේ ගේ හැර ගොස් තිබිණි. මට ආරංචිය කීවේ නංගී ය. නයනා නැන්දා අපේ ගෙදරට විත් දොස් කියා ගොස් තිබිණ. ඇය කීවේ ඇත්තක් විය යුතු ය. ඔවුන් ට රවීන් නැති වූයේ අප නිසා ය!
ඔහු කොහේ ගියා ද ඉන්නේ කොහේද කියා මම ලොකු අයියා ගෙන් වුව නෑසුවෙමි. ඔහු මට කීවේත් නැත. කොතැනක හෝ රවීන් හොඳින් සිටිනු ඇතැයි හදවත පතා සිටියේ ය.
“ඇයි මට කිව්වෙ නැත්තෙ…මට කිව්වනං මං මේව මෙහෙම කෙලවර වෙන්න දෙන්නෙ නෑනෙ. මහන්සි වැඩි කමට මට නින්ද ගියානෙ…කරුමෙට…”
ආච්චා දුක් වූවා ය. ඇය සමගින් හෝ මම වචනයක් කතා කරන්නට කට නො ඇරියෙමි. මා රවීන් ව හදවත තුළ අගුලු දමා අහවර ය.
අම්මා මදෙස බලා සිටියේ විශ්මිතව ය. බැලුවාට ඇය මගේ ඇස් වල කඳුළු දුටුවේ නැත. හෙව්වා ට ඇය මා හඬනවා සොයා ගත්තේ නැත. මම ග්ලැසියරයක් ව මිදී යමින් ද ගිලී යමින් ද සිටියෙමි.
දිනක් දෙකක් යනතුරු මට කෑම රුචියක් වූයේ ම නැත. ඉන්පසු මම ආහාර ගතිමි. ජීවත් වන්නට නම් ආහාර ගත යුතු බව මම දැන සිටියෙමි. පුළුවන් තරම් උදයෙන් මම ගෙදරින් නික්ම ගියෙමි. පුළුවන් තරම් හවස් වන තුරු වැඩ කොට ගෙදර ආවෙමි. ගෙදරදී, ඉස්සර සිටි මා ව මට හෝ සොයා ගත හැකි වූයේ නැත. ඒ සනූ අතුරුදන් ව සිටියා ය. කාටවත් සොයා ගත නො හැකි ලෙස අතුරුදන් ව සිටියා ය.
මම ගෙදරදී වැඩිපුර කතා නො කළෙමි. ඉඳහිට මගේ නො රිස්සුම පුපුරා ගිය ද මම හැකි තාක් කෝප නො ගෙන ගෙදර දී කටයුතු කළෙමි.
“උඹ ඒ කෙල්ලට කරපු අපරාදයක්”
දවසක් ආච්චා අම්මා ට එහෙම චෝදනා කරනු මගේ කනට ම ඇසුණේ ය.
“ටික දවසක් යනකොට ඔය හෝන්දු මාන්දු ගතිය නැති වෙලා යයි. ඊට පස්සෙ එයා තේරුං ගනියි මං එයාට කළේ කරන්න පුළුවන් හොඳම දේ කියල”
අම්මා ගේ ප්‍රතිචාරය එබඳු විය. මම දැන් පෙර දී වාගේ එවැනි දේ වලට අම්මා සමග පැටලෙන්නට නො යමි. ඇය වෙනුවෙන් කළා වූ යුතුකම ඉටු කිරීමෙන් පස්සේ ගෙදරත් එක්ක තිබූ මගේ පෙර සබඳකම් කාලයේ වැලි තලා අතරේ හැංගී ගියා කියා සිතමි.
මේ අතරේ අපේ පවුලේ අනිත් සාමාජිකයන් ගේ ජීවිත වල ද ඉක්මන් වෙනස්කම් සිදු වෙමින් තිබිණ. ශෙහාරා ගැබ් ගෙන තිබූ අතර ඇය සාගර සමග ගෙදර යන්න එන්න පටන් ගත්තා ය. ඇත්තට ම මුලින් සාගර ආවා නොවේ. ශෙහාරා තනි ව මහ ගෙදර ආ පසු, ඇය කන්න ආසා දේවල් ද සකසා ගෙන නිමාලි නැන්දා ශෙහාරා බලන්න යන්න පටන් ගත්තා ය.
“වැඩ ඇරිල යන ගමන් සාගරට අපේ ගෙවල් පැත්තෙන් එන්න කිව්වනං මං රෑ කෑම හදල එවනවනෙ”
කියා නැන්දා කියා තිබේ. සාගර මෙහි යන්න එන්න පටන් ගත්තේ ඉන් පසු ය. එක ඉරිදාවක ගෙදර ආ ශෙහාරා ව මට හමු විය. ඇගේ උදරය ඉදිරියට නෙරා විත් තිබිණි. ශාරීරික අපහසුතා තිබිණි ද ඇය සිටියේ සතුටෙනි. මම ඇය දැන සැනසුම් සුසුමක් හෙළුවෙමි.
“සනූ ඔහොම තීරණයක් ගනියි කියල මන්නං හිතුවෙම නෑ. අපරාදෙ. මුලදි ටිකක් අකමැති වුණත් පස්සෙ ඒගොල්ලො හිත හදා ගන්නව. දැන් බලන්නකො. අපේ දිලුම් අයියටත් වඩා අම්මට දැන් හොඳ සාගරනෙ”
මා මඳහසක් පෑවා පමණ ය. රවීන් ගැන කතා කිරීම මා මුළුමනින් නවතා දමා තිබිණි. ඔහු ගැන හිතන්නට වුව මම හිතට ඉඩ නො දුන්නෙමි. නමුත් හැම හුස්මක් පාසා ම ඔහු අමතක නොවී හිතේ හිටියේ ය. මොන වැඩේ කළත් හිතේ වන දුක්බර රිදුම ඔහු බව මම දැන සිටියෙමි. ඇස් පෙන්වා කඳුළු එන එකට බෙහෙත් ගත යුතු යයි කීවාට, ඒ උනනා කඳුළක ඔහු එල්ලී සිටි බව මා කිසිවෙකුට කීවේ නැත.
පිටතින් මම යකඩ ගැහැනියක වෙමින් සිටියෙමි. එසේ ශක්තිමත් වෙත්දී දවස තුළ මට කරන්නට තිබූ වැඩ ප්‍රමාණය ප්‍රමාණවත් නැතිවා සේ දැනෙන්නට ද ගත්තේ ය. මගේ ජවය කුමක් හෝ දෙයක් වෙනුවෙන් වැය කළ යුතු ව තිබිණි. කැප කළ යුතු ව තිබිණි. මුළු දවසේ ම නැහීගෙන වැඩ කළ යුතු ව තිබිණි. මල්සර ෆ්ලෝරා මට ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව හැඟුණෙන්, මගේ ම මල් සැකසුම් ආයතනයක් පටන් ගන්නට මම තීරණය කළෙමි. ඉතිරි කර ගත් මුදලක් මා සතු වූ මුත් අසීරු වූයේ රුවන් පීරිස් මහතා ගෙන් සමු ගැනීම ය. නමුත් ඔහු මට හදවතින් ම ආශිර්වාද කළේ ය.
“හැමදාම මේ කවුරු වුණත් මං ළඟ පඩියට වැඩ කරන්න ඕනයි කියල එකක් නෑ සනුකි. ඔයා දක්ෂ ළමයෙක්. ඔයා මටත් වඩා ඉස්සරහට යයි. ඔයා නිසා තමයි මල්සර ෆ්ලෝරා වුණත් අද ඉන්න තැනට ගියේ. අපි එක ම ෆීල්ඩ් එකක තරඟකාරයො වුණාට කවදාවත් තරහකාරයො වෙන්නෙ නෑ”
ලෝකය විවිධ වූ මිනිසුන් ගෙන් පිරි තැනකි. මට ද විවිධාකාර මිනිසුන් හමු වී තිබේ. ඒ සියලු දෙනා හොඳ ම හොඳ අය නොවුණ ද, බොහෝ හොඳ මිනිසුන් මුණගැහෙන්නට තරම් මම භාග්‍යවන්ත වීමි. රුවන් පීරිස් ද එවැන්නෙකි. ඒ නිසා ම මගේ හොඳ ම මිතුරා ව මගේ ආයතනයට සම්බන්ධ කර ගන්නට මට හිත හදා ගත නො හැකි විණි. මල්සර ෆ්ලෝරා වෙතින් මා හැරෙන්නට මම වෙන එකදු සාමාජිකයෙකු හෝ කඩා නො ගතිමි.
මා විශ්වාස කළේ මාව ය.ඒ හැරෙන්නට මට තිබූ ලොකු ම හයිය ලොකු අයියා ය.