“කසුනි, එන්න අපිත් කිරි උතුරන ෆොටෝ එකක් ගන්න..”
චතුර එහෙම අඬ ගැහුවත් කසුනි හිටියේ නෑහුණු ගාණට.චතුර මොකුත් නොකියා කසුනි සහ උතුරා යන කිරි මුට්ටිය කැමරා කාචයට හසු කර ගත්තා.
“අනේ චතුර..ඕවා ෆේස්බුක් නම් දාන්න එපා හොඳද?”
කසුනි කියන්නේ කලබලයෙන් වගේ.චතුර කසුනි දිහා බැලුවේ පුදුමයෙන්.අලුත් අවුරුද්දක් ලබන කොට ආදරේ වෑහෙන්නේ ඡායාරූප සමාජජාලාවල පලකරන්න කවුරුත් කැමතියි.ඒත් කසුනි චතුරත් එක්ක ෆොටෝ එකක් නොගන්න තරම්.තනියම ෆොටෝ එකක් ගත්තත් ඒක පළ කරන්නේ නැතුව නාහෙන් අඬන කසුනි ගැන චතුරට සමහර වෙලාවට ඇතිවෙන්නේ අනුකම්පාවක්.
“බලන්නකෝ අනේ මගේ තඩි..බැරල් එකක් වගේ..”
ඡායාරූප දිහා බලාගෙන කසුනි කියන්නේ වේදනාවෙන්.චතුර තමන්ගේ සුන්දර බිරිඳගේ හිස අත ගෑවේ කරුණාවෙන්.
“අලුත් අවුරුද්දක් ලබන වෙලාවෙම ඔයා කරන්නේ ඔයාවම පහත් කරගන්න එකනේ.ඔයාටම ඔයා ගැන විශ්වාසයක් නෑ.ඔයාගේ අඩුපාඩු ඉස්සරලම කියන්නේ ඔයාමයි..”
මේ කතාව අලුත් කතාවකුත් නෙවෙයි.රෝගී තත්ත්වයකට පස්සෙ සිරුරේ බර වැඩි වෙන්න ගත්ත නිසා කසුනි හැම මොහොතක්ම ගෙවන්නේ වේදනාවෙන්.හැම වෙලාවකම හැංගිලා ඉන්න කැමති කසුනි දැන් මිතුරු හමුවීම් මඟ හරිනවා.වසංගත කාලයෙන් පස්සේ work from home විදියටම රැකියාව කිරීම තෝරාගෙන පුලුවන් තරම් එළිමහන මඟ අරින්න කසුනිට තිබ්බ එකම හේතුව සිරුරේ බර වැඩි වීම විතරයි.
“ඔයා මොන පෙනුම ගත්තත් ඔයා ඔයාමයි.ලෝකෙන් හැංගෙන්න ඕන නෑ.මට ඔයා කොහොමත් ලස්සනයි.ඔයාට ආදරේ කරන අනිත් අයටත් වැදගත් ඔයාගේ ගතිගුණයි ඔයා එයාලට දෙන හොඳ හිතයි.ඒක ඔයා ළඟ කොහොමත් තියනවනෙ..”
චතුර ඒ කතාව හැම වෙලාවකම කිව්වත් කසුනි හැම මොහොතක්ම ගත කළේ තමන්ගේ පෙනුම ගැන දෙගිඩියාවෙන්.ඒ නිසාම එයා ජීවත් වුණේ සැඟවිලා වගේ.
“මිනිස්සු කොහොමත් කතන්දර කියනවා කසුනි..”
චතුර එහෙම කියද්දී කසුනි ඔහු දිහා බැලුවේ විමසිලිමත් දෑසකින්.
“එයා දැන් අවුරුද්දක් විතර තිස්සේ ෆොටෝ එකකින්වත් දකින්න නොලැබෙන නිසා සමහරු හිතන්නේ අපි දෙන්න ඩිවෝස් වෙලා කියලා..”
කිරි මුට්ටියේ සුද දිහා ඇස් අලවාගෙන බලාගෙන හිටපු කසුනි එකපාරටම හිනා වෙන්න පටන් ගත්තා.
“සමහරු හිතන්නේ මම ප්‍රෙග්නන්ට් කියලා..”
ඒ හිනාවට චතුරත් එකතු වුණා.ඒක ඇත්ත.අනිත් අය ගැන නිරීක්ෂණ නිගමන ඉදිරිපත් කරන්න මිනිස්සු කැමතියි.දවස් තුන්සිය හැටපහක් ඉර වටේ රවුමක් ගියාට ඊට පස්සේ වෙනස් වෙනවා කියලා හිතුවට මිනිස්සුන්ට තමන්ගේ ආකල්ප සහ සිතුවිලි වෙනස් කරගන්න ලේසි නැහැ.
“එහෙම අහන අය මම මේ වගේ මහත් වෙලා දැක්කොත් මොනවා කියයිද?”
කසුනි කියන්නේ වේදනාවෙන් වගේ.
“මොනවම හරි අහයි තමයි..ඔයා පේන්න හිටියත් අහනව..පෙනුනත් අහනවා ඒ තමයි ලෝක ස්වභාවය..”
ඒකත් ඇත්ත කියලා කසුනි හිතුවා.රූපවාහිනියේ අලුත් අවුරුදු සාදයක ජනප්‍රිය ගායිකාවක් ගී ගයමින් නටනවා.ඇගේ පිරිපුන් සිරුර ගැන ඇය බිංදුවක්වත් දුක් වෙන්නේ නෑ කියලා කසුනිට හිතුණා.
“මෙයාට මිනිස්සු මොනතරම් දේවල් කියනවද? ඒ උනාට එයා ගේ අස්සේ හැංගෙන්නේ නෑනෙ..”
චතුර එහෙම කියනකොට තමන් ඉන්නෙ තමන්වම යටපත් කරගෙන කියලා කසුනි ආයේ ආයේම හිතන්න ගත්තා
“මම බෙහෙත් බොනවනෙ.ඒ නිසා දැන් මට සෑහෙන්න සනීපයිනෙ..”
කසුනි එහෙම කියනකොට චතුර තමන්ගේ බිරිඳ දිහා පුරුදු ආදරයෙන් බලාගෙන හිටියා.අමාරු දවස් පහු කරලා ඉවරයි.දැන් මේ රූපය ගැන හිතුවට ඒ දවස්වල චතුර බය වුණේ කසුනිගේ ජීවිතේ ගැන.
“ඩයටීෂියන් කෙනෙක් මුණ ගැහෙමු..අනිත් එක ගේ අස්සටම වෙලා නොයිද මං ජොගින් යන්නවත් පටන් ගන්න ඕන..”
කසුනි එකපාරටම අලුත් පණක් ලැබිලා වගේ කතා කරන්න පටන් ගත්තා.මේ වගේ හොඳ දවසක මෙහෙම යෝජනාවක් පැමිණීම ම මොනතරම් හොඳද?
“මම කියන්නේ ඔයා ආපහු ඔෆිස් යන එක හොඳයි.දැන් ඔයා සනීපෙන් නිසා බොරුවට ගෙදර ඉන්න ඕන නෑනෙ..”
තමන්ගේ මහත් වුණු සිරුර ගැන අනිත් අය අහයි.ඒකට කමක් නෑ කියලා කසුනි හිතුවා.කෙට්ටු කෙල්ල කාලේ වගේම ලස්සනට විලාසිතා කරලා සතුටින් ඉන්න ඇයට හිතුණා.තමන්ටම තමන්ව පරදවන්න දෙන්න බෑ කියලා හිත ඇතුලෙන් කවුදෝ කියන හඬක් ඇයට ඇසෙනවා.
“අපි ෆොටෝ එකක් ගමු..”
කසුනිගෙ යෝජනාව චතුර පිළිගත්තේ ඉස්මුදුනෙන්.කාලෙකට පස්සේ කසුනි කැමරාවට හිනා වුණා.
“මං හිතන්නේ මං ආයේ මාත් එක්ක හිනා වෙන්න කාලේ ඇවිල්ලා..”
ඇය එහෙම කියන්නේ විශ්වාසයෙන්.නැති වෙලා ගිය ආත්ම විශ්වාසය හොයා ගන්න අවුරුද්දේ මුල්ම දවස තරම් දවසක් තවත් නෑ කියලා ඇයට හිතුණා.