මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි
නොදී ඈතට යන්න තිබුණා
හීන් හිරිපොද කඩා වැටෙද්දී මම ඉකිලමින් ගීතයක් ඇසූයෙමි.ඒ ඇසෙන හැම වචනයක් ම මගේ උමතු ඒකපාර්ශ්වික ප්‍රේමය වෙනුවෙනැයි මට සිතේ.දුරකථනය පුටුවක තබා බිම වාඩි වී ගී අසමින් හුන් මා එසේ හිඳින්නේ ඇයිදැයි අසන්නට අම්මා නොපැමිණියා ය.ඇය කාර්යබහුල ය.මම්මා ද පෙනෙන්නට නොවූවා ය.මම නැවත නැවතත් ඒ ගීය පුනර්වාදනය කරමින් ඉකිලූයෙමි.
“බූට් එකක් කෑවම අපේ මුළු ස්ටෝරියම කියවෙන සින්දුවක් කොහෙන් හරි සෙට් වෙනවා.ඒක තමා ඊටපස්සෙ අපිව කන්නේ..”
දිනක් මිතුරියක කී කතාවක් මට සිහි වේ.මට දැන් මේ ගීතයෙන් ඇසෙන්නේ ද මගේ කතාව ය.සැබෑවකි. ඕනෑතරම් පිරිමි ළමයින් මුණ ගැසෙන පරිසරයක සිටි මට ඒ දෑස මඟහැර අතැර දමන්නට තිබුණා නොවේදැයි මට සිතෙන්නේ දැන් ය.
“සූකිරි..”
සචිර අයියා මා අසලින් හිඳ ගත්තේ ඒ මොහොතේ ය.නිරන්තරයෙන්ම හිනැහෙන දඟකාර යෞවනයාගේ දෑස වේදනාවට සමීපව තිබිණ.මම ඔහු දෙස විමසිලිමත් බැල්මක් හෙළුවෙමි.මගේ දෑස කඳුලින් පෙඟී ඇති බව පවා මට අමතකව ගියේ ඔහු නොදන්වාම මෙතනට ආ නිසා ය.
“ඒ සින්දුව අහන්න එපා..”
ඔහු එසේ කියා තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය වේග රිද්ම ගීයක් වාදනය වන්නට ඉඩ හැරියේ ය.මම දුරකථනය ගෙන එය ද නිවා දැමීමි.
“මම සේරම දන්නව..”
වඩාත් පහත් ස්වරයක් සචිර අයියාගෙන් නික්මිණ. ඝාන්ටර පූජා කර ඇති බවට අයියා නිරන්තරයෙන්ම බැන වදින ඔහු මේ මොහොතේ වඩා සිහින් ස්වරයකට මාරු වී තිබිණ.මට ලැජ්ජාවක් දැනිණ.
“සින්දුවෙ කියන දේ ඇත්ත.ඔයාටත් ඔයාගේ හිතේ පාට පිපුණු හිතකට දෙන්න තිබ්බා සූකිරි..”
සචිර අයියාගේ කටහඬ මා වෙනුවෙන් එතරම් සසැලෙන්නේ ඇයිදැයි මම නොදනිමි.නමුත් එය හැඬුමකට බර හඬක්ව තිබිණ.
“අපේ අයියා මේක දන්නවද?”
මා එසේ අසද්දී ඔහු දෑසින් ඔව් කීවේ ය.මම හැරී අයියාගේ කාමරය දෙස බැලීමි.ඔහු පිටතට එන මොහොත ගැන මුල් වතාවට බියක් හට ගැනිණ.
“දෙනෙත්ගෙ දත් ටික පරිස්සං වුණේ මගෙයි නිර්මාණියගෙයි කටේ බලේට..”
සචිර අයියා නැවත ගාන්ටාර ස්වරයට මාරු වී සිනා නැගී ය.ඔහුට ඇත්තේ සිත ද නෙත ද පැහැර ගන්නා සිනාවක බව මෑත දවසක යෙත්මි කී අන්දම සිහි වේ.මම කිසිත් නොකියා මොහොතක් ගෙවීමි.
“එයාට ගහල වැඩක් නෑ අයියේ.වරද මගේනෙ.”
මට මේ මොහොතේ පවා දෙනෙත්ට වරදක් වන්නට ඉඩ නොදිය හැකි තරම් ය.ඔහු අයියාගෙන් පහර කතැයි බියකින් මගේ හදවත අමුතුවෙන් පීඩාවට පත් වූයේ ය.
“ආදරේ කරන එකේ වරද මොකක්ද නංගි..”
සචිර අයියා එසේ කියා අඳුරට මුසු වී වැටෙන පිනි පොද ගැන සිතමින් මොහොතක් ගෙවා දැම්මේ ය.
“මම ඉස්සර වුණු එක වැරදී..”
මගේ හිත එසේ කියමින් හඬා වැටෙන්නට ගෙන දවස් ගණනකි.මම ඒ වේදනාව සචිර අයියාගේ දෑත මත ද තැබීමි.
“ආදරේ කරන්න ඉස්සර වෙන්න ඕන කවුද කියල නියමයක් නෑ.ඔයා පොඩ්ඩක්වත් වැරදි නෑ.පසුතැවෙන්න එපා ඒ නිසා.”
ඔහු එසේ කියන බව සැබෑවකි.නමුත් අහිංසක කෙල්ලක වී මගේ හැඟීම් මා තුළ සිර කරගත්තා නම් මට දෙනෙත් ලැබෙන බව මට සිතෙයි.මට උසුලා ගත නොහැකිම කාරණාව එය ය.
“අපිට ආදරේ හිතෙන්න පුලුවන් වගේම අනිත් කෙනාට ඒක ප්‍රතික්ෂේප කරන්න හිතෙන්නත් පුලුවන් සූකිරි.හැබැයි ඒ ප්‍රතික්ෂේප කිරිල්ල කරන විදියක් තියනව.අනිත් මනුස්සයාව ලේ ගලන තුවාලයක් කරලා ප්‍රතික්ෂේප කරන එක මහ පවක්..”
සචිර අයියා කියන්නේ වේදනාත්මක හඬකිනි.මගේ හදවත ලේ ගලන තුවාලයක වී ඇති බව ඔහු පහසුවෙන් වටහා ගැනීම ගැන මට දැනුණේ එක්තරා ආකාරයක සැනසීමකි.ඒ මිතුරියන්ගේ සිහිනය පරිදි ඔහුගේ වීම වෙනුවෙන් නොවේ.මේ වේදනාව ඔහුට හෝ වැටහීම වෙනුවෙනි.නමුත් ඔහු ද මට ප්‍රහේලිකාවක ඉතිරි කරන වචන කිහිපයක් මවෙතින් නික්මෙන්නට පෙර පැවසුවේ ය.
“වන්සයිඩ් ලව් එකක් කියන්නේ මේ ලෝකෙ තියන දරන්නම අමාරු වේදනාවලින් එකක් නංගි.ඔයා අඩුම තරමේ ප්‍රතික්ෂේප වෙන්න හරි එයාට ඒක කිව්වා.මට එහෙම කියන්න ලැබිලත් නෑ.ඒ වගේම තමයි මං කවදාවත් කියන එකකුත් නෑ.ඔයාගේ ඔය වේදනාව අඩුම තරමෙ යාළුවොවත් දන්නව.මං යාළුවන්ට කියලත් නෑ.කියන එකකුත් නෑ..කිව්වනම් හොඳයි කියලත් හැබැයි දැන්නම් හිතෙනව.එහෙම වුණානම් සමහර විනාස නවත්ත ගන්නත් තිබ්බා..”
ඔහු අඳුරට පැන නික්ම ගියේ ඒ වචන පැවසීමෙන් අනතුරුව ය.ඒ නික්ම ගියේ වෙනදාට මගේ හිස කෙස් අවුල් කර “බායි සූකිරියා..හෙටවත් නාපං..බලපං ගඳ..” කියන සචිර අයියා නොවන බව මගේ යොවුන් හෘදයට දැනෙමින් තිබිණ.
ලේ ගලන තුවාලය තවත් අලුත් වූයේ ඔහුගේ වේදනාවට හේතුව ද වැටහෙන්නට වූ නිසා ය.