හසරැලි වැස්සේ – 26

මා ඇවිලවූ ගින්නට දෙනෙත් හසු වන දිනය එන තෙක් මම මඟ බැලීමි.ඉන් මා දැවී යාම නියතයක් වුව ද මට එහි වගක් නොවී ය.ආදරය හන්දා කෙල්ලන් උමතු වන්නේ කෙසේදැයි මට අතීතයේ ද වැටහීමක් නොතිබිණ.මගේ පාසල් මිතුරියන් ආදරය නිසා සියලු වැඩ පාඩු කරගනිමින් ඉකි ගසද්දී මා ඔවුන්ගෙන් විමසූ ප්‍රශ්නයක් තිබිණ.

“ආදරේ ඔච්චරම වේදනාවක් නම් ඇයි ඔයාලා ලව් කරන්නේ?”

එදවස දෙනෙත් මගේ ඒකපාර්ශ්වික ප්‍රේමය පමණි.ඔහු හිමි කරගන්නා දිනයක් ගැන සිහිනයක් මිස මට ඔහු ගැන බියක් හෝ සැකයක් එකල නොවී ය.නිදහස් ප්‍රේමයක සැනසිල්ල එදවස මට තිබිණ.එනිසා ප්‍රේමය නිසා වේදනා විඳින යුවතියන් ගැන මට දැනුණේ දුකකි

“මම ආදරේ ගැන හිතාගෙන හිටිය ගොඩක් දේවල් වැරදි..”

මම එසේ කියද්දී නිර්මාණි අක්කා මගේ අත පිරිමදිමින් මදෙස බලා සිටියා ය.උද්‍යානයේ සුළඟට වැනෙන ගස්වල පවා මගේ දුක තැවරී ඇතැයි මට සිතෙන තරම් ය.මට ලෝකයම වේදනාවක ගිලී ඇති බව දැනේ.

“සූකිරි,මේ අහන්න නංගා..”

මට නිර්මාණි අක්කා ඇමතුවේ ආදරය පිරුණු හඬකිනි.මම තෙත රැඳුණු නෙතකින් දියත උද්‍යානය සිසාරා බැල්මක් හෙළා ඇයට සවන් දුනිමි.

“ආදරේ මේ මේ වගේ කියලා අපිට අනාවැකි කියන්නයි, චිත්‍ර අඳින්නයි බෑ..ආදරේ කියන්නේ ආදරේට.ආදරේ ගැන අපි ගොඩක් වෙලාවට තීරණ ගන්නෙ ආදරේ කරන මනුස්සයා මත පදනම් වෙලා.ඇත්තටම ඉතින් වැරදෙන තැනත් ඕක තමා..”

අක්කා පවසන කතාවේ වරදක් නැති බව මට සිතිණ.නමුත් මට මෙතැනින් එහා ජීවිතයක් නැති බව පමණක් මම දනිමි.ආදරය නොකරම ආදරයක බැඳී එය ලබා ගැනීමේ උමතුවකින් පෙළීම නිසා මට මා ගැනම අනුකම්පාවක් දැනේ.නමුත් දෙනෙත්ව දිනා ගැනීමකින් මෙපිට මේ සටන නොනැවතෙන බව මම මටම පිළිණ දී ගතිම්.

“නංගා.ඔයා දෙනෙත්ව අමතක කරන්න ඕන එයා ඔයාට අකමැති නිසා නෙවේ..”

අක්කා එසේ පැවසුවේ බීම වීදුරුව තොල ගාන අතර ය.කෑම රුචිය පවා පහව ගිය හෙයින් මම මගේ වීදුරුවේ ඉරි අඳිමින් ඇයට සවන් දුනිමි.

“ඔයා දෙනෙත්ව අමතක කරන්න ඕන, එයා ඔයාට අකමැති වුණේ කැමති වෙලා හිටියට පස්සෙ නිසා.කිසිම අදහසක් නැතුව ඉඳලා ඔයාට අකමැති බව කිව්වනම් අපි එයා එක්ක තරහක් ඇති කරගන්න නරකයි..ඒත් දැන් කතාව වෙනස්..”

අක්කා කියන්නේ හැඟීම්බර හඬකිනි.ඇය මගේම අක්කා කෙනෙක් තරමට මා ගැන වද වීම ගැන මට දැනුණේ අප්‍රමාණ සැනසීමකි.අම්මා මට සමීප වීම ප්‍රතික්ෂේප කරන තැන්හි මා හඬන විට පැවසූ වදන් පේළියක් මට සිහි විණ.

“මට අක්කෙක් ඕන..”

මා එසේ හඬද්දී අයියා මා හිනැස්සවීමට මට හොඳ අක්කා කෙනෙකු සොයා දෙන්නට පොරොන්දු වූයේ ය.ඔහු ඒ පොරොන්දුව සැබෑවටම ඉටු කිරීම ගැන මට සැබෑ සතුටක් දැනෙන්නේ මෙවැනි මොහොතකදී ය.

“නංගා…අහගෙනද ඉන්නේ?”

ඇය අසන්නේ මා බොහෝ දුරකට පාවී ගොස් ඇති බව දැනීම නිසා වන්නට ඇත.මම ගිණියම් හිරු බැස යන අහස දෙස නෙත් අලවාගෙන පාවෙන්නට පටන් ගෙන ඇති බව මට ද වැටහී ගියේ ඒ මොහොතේ ය.

“ඔයා දෙනෙත්ව අමතක කරන්න ඕන එයා ඔයාට කැමති වෙලා හිටිය නිසා..ඔයාගේ කැමැත්ත මුලින් ආව එක එයාට ප්‍රශ්නයක් වුණු නිසා..”

අක්කා එසේ කියමින් එය පැහැදිලි කළා ය.ගැහැනිය කියන්නේ පෙනිය යුතු කෙනෙකු මිස ඇසිය යුතු කෙනෙකු නොවන බව සිතා සිටින පිරිමින් සුළඟවත් නොවදින දුරකට පිටුවහල් කර දැමිය යුතු බව කියන්නට අක්කා මුළු හවස් වරුවම වැය කළා ය.ඒවා මගේ හිතට කා වද්දන්නට සමහර ප්‍රේමවන්තයන් සම්බන්ධයෙන් ඇගේ මිතුරියන්ගේ අත්දැකීම් පවා හෙළි කළා ය.

මා අක්කාගෙන් සමුගෙන ආවේ බර වූ හදකිනි.සෙනඟ පිරුණු බස් රියකට ගොඩ වූ මගේ හදවත ගිනි ගන්නට පටන් ගත්තේ මඳ දුරක් ගමන් ගනිද්දී ය.ළාබාල යුවතියක මුහුණ දිය යුතු නොවන අත්දැකීමකට මම මුහුණ දෙමින් සිටියෙමි.පීඩාව සහ පිළිකුල සමඟ මම අපහසුතාවයට පත් වෙද්දී ඒ අමනුෂ්‍යයාගේ මුහුණ මත තද පහරක් වැදෙන අන්දම මම දුටිමි.නොදන්නා ලෙස සිටින නොදුටුවා සේ සිටින මිනිසුන් මැද මා වෙනුවෙන් පෙනී සිටියේ කවුදැයි දැන ගන්නට මට ඕනෑ විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles