(අ)හිමි සිහින 13

අම්මා කෙනෙක් කියන්නේ දරුවන් ගැන හිතන දරුවන් වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාර ගන්න කෙනෙක් විය යුතු බව මම විශ්වාස කරන දෙයක්.මම එහෙම කියන්නේ මම එහෙම අම්මා කෙනෙක් නිසා.මේ සටහන ඔබට දෙන්න ස්මාර්ට්ලේඩි කණ්ඩායමේ ලියන්නියට මගේ කතාව කියද්දී මට බාධා කරන කෙනෙක් ඉන්නවා.ඇඳට යා යුතු බවට මතක් කරන කුඩා තරු දෑසක් තියෙනවා.

ඉතින් අම්මා කෙනෙකු අහස මෙන් දරා ගන්නා ගැහැනියක බව මම දැන් දන්නවා.

ඒත් සුධාරකගේ අම්මා එය දැනගෙන හිටියේ නෑ. මම නිතරම යුධ හමුදාව තුළ සුධාරක කියන්නේ කොහොම කෙනෙක් ද කියලා ඔබට කියලා තියනවා.

ඔව්! ඔහු සටන් පෙරමුණේ සිටි සෙන්පතියෙක්. හරියටම බලද්දී ජීවිතය සම්බන්ධයෙන් සියයට දශම ගණනක විශ්වාසය තිබූ සොල්දාදුවෙක්.සටනේදී රණවිරුවෙක් මිය ගිය පසු රජය විසින් ඔහුගේ පවුලට ලබා දෙන වන්දි සහ දීමනා තිබුණා.ඒ වගේම ඔහුගේ වැටුප විවාහක නම් බිරිඳටත්, අවිවාහකයෙකුනම් මව්පියන්ටත් අයත් වුණා.

ඉතින් ඔබට හිතෙන දේ ඇත්ත.සුධාරකගේ අම්මා තණ්හාධික ගැහැනියක්.සටන් බිමේ දරුවන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට, දළදා වහන්සේට,කතරගම දෙවියන්ට,පත්තිනි මෑණියන්ට බාර කරමින් පඬුරු ගැට ගැසූ මව්වරුන් ඔබේ ගම්වල සහ ඔබේම පවුල්වල ඉන්න ඇති.බෝධි පූජා තබමින් පැන් කළවලින් බෝධිය නහවමින් මල් කඳු ගණන් පූජා කරමින් රණවිරු දරුවාගේ ආරක්ෂාව පැතූ අම්මලා ඔබ දන්නවා ඇති.

ඒත්, සුධාරකගේ අම්මා සතුව තිබුණේ සැලසුමක් පමණයි.සුධාරක සතුව අපේ විවාහ සහතිකය තිබුණා.සටන් පෙරමුණේ හෙට අනිද්දා මැරෙන්නට නියමිත ඔහුගේ වැටුප මේ කොහේටවත් නැති කජුකිරි කෙල්ලෙකුට අයිති කරන්නට ඇයට ඕනෑ වුණේ නෑ.

“පුතාගෙන් ආරංචියක් නෑනෙ.. අතුරුදහන් වෙලා ඇති.එයා ආයේ එන එකක් නෑ.ඔය ළමයා ගෙදරින් යෝජනාව ගෙනාව කසාදෙට කැමති වෙන්න.ඊටකලින් ඔය ළමයා අපේ පුතාගෙන් දික්කසාද කරන්නම්..”

මේ වගේ කාලයක ඒ වගේ කතාවක් අහන්නට ලැබුණානම් මගෙන් ඈ ජීවිතයටම ඇති වෙන්න අසා ගනීවි.නමුත් කුඩා සුළඟට පවා සසැලෙන ළදැලියක වූ අවුරුදු විසි තුනක අනුරාධා නැන්දම්මා පසුපස වැටී ගල්කිස්ස උසාවියට ගියා.

“පුතා හමුදාවට ගිහින් ආරංචියක් නෑ.මේ ළමයා ඩිවෝස් කරන්න ඕන.”

නැන්දම්මා ඉල්ලා සිටියා.නීතිඥයන් පවා සොයා ගත්තේ ඇය.විත්තියටත් පැමිණිල්ලටත් මුදල් ගෙවූයෙත් ඇය.මේ කරන්නේ කිසිම අයුරකින් නොකළ යුතු දෙයක් බව එවෙලෙහි මට සිතුණේ නෑ.

“ගෑනු ළමයා උසාවි එන්න ඕන නෑ.ඉක්මනින් තීන්දුව ලැබෙයි..”

බියපත් දෑසකින් උසාවි කූඩුවට ගොඩ වූ මට එවැනි මානුෂිය තීන්දුවක් පවා ලැබුණා.ඉතින් අඩුම තරමේ උසාවිය කතාබහ කළ දෙයක්වත් මම දන්නේ නෑ.

මගේ ගෙදර අය අසංක සමඟ මගේ විවාහයට සැරසෙනවා.මගේ කැමැත්තක් ඔවුන්ට අවශ්‍යම නැහැ.දෙවැනි කසාදයක් පළමුවැනි කසාදය අවසන් නොකර කර ගන්නට බැරි වග මම දන්නවා.මට ඒ ගැන අම්මලාට හෙළි කරන්නට තිබුණේ බයක්.

කොටින්ම මම සුධාරක හා විසි වයසේදී විවාහ වූ බව මගේ අම්මලා දැන ගත්තේ දෙදහස් දහසය වසරේදී.එතෙක් ඒ කතාව මගේම වූ රහසක්.

අසීරුවෙන් අයත් කරගත් ආදරය ගල්කිස්ස උසාවි බිමේදී ඒ අයුරින් මගෙන් උදුරා ගැනුණා.මහරගමදී හදිසි අත්සන් කිරීමකින් සුධාරකගේ නීත්‍යානුකූල බිරිඳ වූ මම නැන්දම්මාගේ තීරණය මත දික්කසාද වන්නේ සුධාරකට නොදන්වා.එය මට මොනතරමට වේදනාවක් වන්නට ඇත්දැයි ඔබට අනුමාන කරන්නට හැකි ද?

ගුටි කමින් දුක් විඳිමින් රැක ගත් ආදරයේ එක් පරිච්ඡේදයක් එසේ අවසන් කර දමන්නට තරම් මා අවාසනාවන්තියක වූ බව මිස ඔබට වෙන කුමක් ලියන්න ද?

“ඇයි මැණිකේ මාව දාලා ගියේ?”

වසර ගණනාවකට පස්සේ සුධාරක හදිසියේ මුණ ගැසී එසේ අසද්දී ඔහු එතෙක් සිතා හුන්නේ මා ඔහු හැර දමා ඇති බව මට අවබෝධ වුණා.

නමුත් මම කාලය ආපසු හරවන්නට මැජික් කාරියක නොවේ.මගේ ආදරවන්තයා ඔහුගේ ප්‍රාණසම ප්‍රේමය අහිමි වීමෙන් කොතෙක් විඳවන්නට ඇත්දැයි සිතීමම මට තවම නෙත කඳුළු උනන්නක්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles