මට ඒ රෝහලේ ඉන්නට ලැබුණේ පසුවදා වන තුරු පමණි.අම්මා බලහත්කාරයෙන් මා රෝහලෙන් පිටකරගත්තේ ඇගේ තනි කැමැත්තට ය.මගේ කැනියුලා ඉවත් කරන්නට ආ හෙදිය අපුරු ප්‍රශ්නයක් නැගුවා ය.ඊයේ දවසේ සිට ඇය අම්මාගේ රවුම් ගෙරවුම් දුටු නිසාම මේ කතාව ඇගේ ආකාරයට කියවාගෙන ඇතැයි මට පැහැදිලි ය.කරනට දෙයක් ඇත්තේ ද නැත.මේවා අම්මා විහින් කරගන්නා දේ ය.
“අම්මයි තාත්තයි ඩිවෝස් වෙලා නේද ඉන්නේ?”
මම කිසිත් නොකියා හිස සැලිමි.රෝහලට මා බාර කරේ සුගත් අන්කල් ය.ඔහුගේ කැමැත්ත ද සහිතව මා රෝහලෙන් ගෙන යද්දී අම්මාත් ඔහුත් අර්බුදයක බව හෙදියට වැටහෙන්නට ඇත.අම්මා ඔහු සමඟ තවමත් තරහකින් පසු වීම මට නොවැටහේ.
“තමන්ගේ කෙනෙක්වත් නොකරන උදව්වක් අංකල් කළේ..ස්තුතියි කියන්න බෑ..පින්”
අයියා සුගත් අංකල්ගේ අතින් අල්ලාගෙන පැවසුවේ හෘදයාගම සිනාවක් සහිතව ය.
අංකල් සිනාවතකින් අයියාගේ පිටට තට්ටුවක් දැමී ය.
“මේ පුංචි රටේ අපි කවුරුත් නෑයෝ තමයි පුතා..”
ඔහු පැවසී ය.ඒ වචන යට අයියා නොදන්නා කතාවක් ඇතැයි ඔහුට ඉක්මනින්ම පවසන්නට මට ඔනෑ විය.මම රෝද පුටුවේ සිටියදී ම ඔහුට වැන්දෙමි.නොදන්නා මිනිසුන්ටත් අකමැති නෑදැයන්ටත් වඳින්නට අකමැතිව අම්මා හා සටන් කරන මම අසීරුවෙන් ඔහුට වැඳ සමුගත් ආකාරය අම්මා නෙත් කොනින් බලා සිටියා ය.
“අන්කල්..මම අන්කල් මම්මාගේ යාලුවෙක් කියල දන්නේ දැන්.. මාව බලන්න එන්න.”
මම ඔහුට කියද්දී ඔහු මගේ හිස පිරිමැද්දේ ය.මා ඔහුගේ දියණිය වූවානම් බව ඔහු සිතන බවත් ඉන් දැවෙන බවත් මට සහතික ලෙස දැනිණ.
මම්මා මා සමඟ රෝහල් කාමරයේ රැඳුනා ය.එතරම් ගැටළුවක් නැති බව ඇත්තකි. නමුත් දෙනෙත්ගේ ගැටලුව මඟ හරින්නට මට එහෙමම ඉන්නට ඕනෑකමක් ඇති විය.
“මොනවද සුකිරියෝ උද බලන් පාරේ යන්නේ?”
වීඩියෝ ඇමතුමක් ගෙන දුරකථනයෙන් මගේ මුහුණට එබුණු සචිර අයියා ඇසුවේ තරවටු ස්වරයකිනි.මම හිනැහුනෙමි.අඩුම තරමේ හිතේ සැහැල්ලුව ඇති වන ආකාරයෙන් කතා කරන්නට දන්නා යාළුවන් සිටීම ආශිර්වාදයක් බව මට සිතෙන්නේ මෙවැනි මොහොතක ය.පාරේ ඇවිදින්නට නොදන්නා කෙල්ලන්ගේ අඩු කදීය යුතු බවට පිළිණ දුන් සචිර අයියා ඉනික්බිති මා හප්පා ගිය වාහනය ලස්සන කොලුවෙකුට අයිතිදැයි විමසුවේ ය.හින්දි චිත්‍රපටියක මෙන් ඔහු තව ස්වල්ප වෙලාවකින් රෝහල් විදුලි සෝපානයට වී නටමින් මල් විසි කරමින් පැමිණෙනු ඇතැයි කියද්දී මම්මා ද මගේ සිනාවට එක වුවා ය.
“මට එක්සෑම්.. නැත්නම් නටාගෙන නෙවෙයි පොල්ලක් අරන් එන්නේ මම..”
සචිර අයියා මට තරවටු කරමින් සමු දුන්නේ ය.ඔහු මොනතරමේ සිත නිවන මිනිසෙකුදැයි මම සිතුවෙමි.ඔහු ඕනෑම අසීරු මොහොතක සැහැල්ලුව සොයා දෙන්නට සමතෙකි. මම්මා මෙතන නොසිටියානම් දෙනෙත් සමඟ ඇති කර ගත් ගැටලුව ඔහුට කියන්නටත් විසඳුමක් අයදින්නටත් මට අවැසි විය.
“පුංචි කාලේ ඉඳන්ම එකම විදියට සැහැල්ලුවෙන් ඉන්න කොල්ලා..”
මම්මා කියන්නේ ආදරයෙනි.මම ද හිස වනමින් ඇයට එකඟ වීමි.
“සචිර අයියට ප්‍රශ්නත් නෑ.ඒ නිසා වෙන්නත් ඇති මමමේ..’
මම එසේ කියද්දී ඒ වචනවල සඟවා ඇති කතාව මම්මා වටහා ගත්තා ය.
“ප්‍රශ්න තියන එකයි මනුස්සකම නැති එකයි කියන්නේ දෙකක් පුතේ..”
මම්මා එසේ කියන්නේ දෙනෙත් ගැන ය.නමුත් මම වහා මාතෘකාවෙන් පිට ආවෙමි.
“හරියට අපේ අම්මා වගේ.”
මම්මා කිසිවක්ම නොකියා හිනැහුණා ය.ඈ අනතුරුව මවෙත හැරුණේ දිගු කතාවක් කියන්නට ය.
“පොඩ්ඩි ඔය ප්‍රශ්නෙදි තාම හැසිරෙන්නේ විසි අවුරුදු කෙල්ල ගාණට..ඒ කාලේ තිබ්බ ආවේග තාම එහෙමමයි . ඒ කාලේ විදියටමයි ඒ මනුස්සයට සලකන්නේ..”
මම්මා එසේ කියමින් සුසුමක් හෙළුවා ය.
“මම හිතන කෙනා නේද මම්මා ඒ?”
මම අසද්දී මම්මා ඒ සිනාව එලෙසම තබාගනිමින් හිස වැනුවා ය.
“සුගත් ගැන අම්මා තාම හිතනවා පුතේ.හැබැයි හිතන්නේ නැහැ කියලා පෙන්නන්න එයා ලොකුවට මහන්සි වෙනවා..
මම්මා කියන්නේ හැඟීම්බරව ය.තමන්ගේ ආදරය රැක ගැනීමට සුගත් අන්කල් අපොහොසත් වූ බවක් අම්මා සිතනවා විය හැකි ය.නමුත් ය ආදරයේ නාමයෙන් හෝ ඔහුට රිදවීම නවතන්නට උවමනා බව මම සිතුවෙමි.