“මේ අංකල් තමා මාව හොස්පිටල් එකට එක්ක ආවේ.”
සුගත් අංකල්ව මිතුරියන්ට පෙන්වා කියද්දී මගේ දෑස් දිලිසිණ.දියණියක දකින්නට එන තාත්තා කෙනෙකු සේ අතින් කටින් එල්ලාගෙන ආ ඔහු දෙස මිතුරියන් බැලුවේ පුදුමයෙනි.
“ඔයාව හැප්පුවෙත් මෙයාද දන් නෑ..”
උසස්පෙළ විද්‍යා විෂයන් හැදෑරූ නමුත් ඉන් සරසවි යන්නට ප්‍රතිඵල නොලැබෙන බව නිතරම කියවන නීතිය හදාරන්නට සිහින දකින උවනි පවසන්නේ සැකයෙනි.
“මං හැප්පුණේ ආන්ටි කෙනෙක්ගෙ වාහනේට..”
මම සැර හඬකින් පැවසීමි.සුගත් අංකල්ට දොස් පැවරීම මගේ සිත කෝපයට පත් කරන්නකි.
“එහෙනම් මේ එයාගෙ හස්බන්ඩ්..”
උවනි කියන්නේ ඉතා විශ්වාසයෙනි.ඔවුන් එවැන්නක් සිතීම මට එක අතකට සැනසීමකි.මේ අපේ අම්මාගේ පැරණි පෙම්වතා බව පැවසුවහොත් මේ කරදරකාරියන් මෙතැනින් එළවා ගැනීම පහසු නොවේ.මා ඔවුන්ට සමු දුන්නේ බලහත්කාරෙන් වාගේ ය.මේ මැදිවිය පසු කරමින් හිඳින මිනිසා ගැන මා මෙතරම් උනන්දු ඇයිදැයි සැකයකින් මෙන් මිතුරියෝ මට සමු දුන් හ.
“මේ අංකල්ට ලස්සන පුතෙක් ඉන්නව.මාව එදා හොස්පිටල් එක්කන් ආවේ ඒ අයියා”
මම උස් හඬින් පැවසුවේ කුටු කුටු ගාමින් පිටවෙන මිතුරියන් ට ය.සුගත් අංකල් හඬ නඟා හිනැහී ය.උවනිලාට යන්නට දොර පවා හැර දුන් ඔහු මා ළඟට පැමිණියේ කොහොමදැයි අසාගෙන ය.
“පුතා ඉන්නේ ප්‍රශ්නෙක නේද?”
මට හැඬෙන්නට ආ තරම් ය.පළමුවැනි කාරණාව ඔහු මට පුතා යැයි පැවසීම ය.මා බොහෝ ප්‍රිය කරන වචනයක් වූ එය ආදරණීය ස්වරයකින් මට ඇසුණේ අපේ දහයේ පන්තියේ පන්තිභාර ගුරුතුමියගෙනි.පිරිමි පාසලකින් අපේ පාසලට මාරුවක් ලැබූ ඈ අපට පුතා යැයි ඇමතී ය.
“පුතා කියන්නේ දූලට පුතාලට කාටත් කියන්න පුලුවන් වචනයක්.කොහොමත් ගෑනු පුතාලා කියන්නේ පිරිමි ළමයෙක්ටත් වඩා ගෙදරට පුතෙක් වෙන අය.කෙල්ලන්ට මොනවද පුතේ බැරි.ඕනෑ වෙලාවට සුකුමාල කමට ඉන්නත් පුලුවන්,ගෙදර හැමදේටම ඉහ ගහන්නත් පුලුවන්.කෙල්ලො කියන්නේ වැඩිම ශක්තියක් තියන පුතාලට..”
ගුරුතුමිය එසේ කීවේ අපට අමුතු ජවයක් ලබා දෙමිනි.අම්මා මට ද පුතා යැයි අමතනවාට මට සතුටු ය.නමුත් ඈ මට එසේ නොඇමතුවා ය.
“මං ඉන්නේ ප්‍රශ්නෙක තමයි අංකල්..”
මා සුගත් අංකල්ට පිළිවදන් නොදුන් බව සිහි වෙද්දී මම වහා පැවසීමි.ඔහු හිනැහී මගේ හිස පිරි මැද්දේ ය.
“ඒ ලෙවල් රිසල්ට්ස් වලට බයෙන්ද?”
පාසලේ ඉතා දක්ෂ දැරියන් අතර සිටිය ද මා දක්ෂ ළමයෙකු බව පවසන්නට මට ඕනෑම මොහොතක දැනුණේ ලැජ්ජාවකි.පන්තියේ කී වෙනියාදැයි අසද්දී ඇඹරෙමින් පළමුවැන්නී බව කියන මා බොරු කියන්නියක බව නෑයන් විශ්වාස කළ බව මම දනිමි.අම්මාට පවා මගේ ඉහළ ළකුණු අතිශය සාමාන්‍ය දෙයක් ලෙස හෙළි කරන්නට මම වග බලා ගතිමි.
“මං හොඳටම පාස් කියල මං දන්නව අංකල්.රිසල්ට්ස් එන්නත් කලින් මං ඒක දන්නව..”
විනිශ්චය නොකරන අන්දමේ මිනිසෙකුට එසේ පැවසීම පහසුවකි.මා එසේ කීවේ සන්තෝසයෙනි.
“එහෙනම්..”
අනතුරට මොහොතකට පෙර තාත්තා ඇමතූ අන්දම මට සිහි වේ.ඔහු මා අනතුරට ලක් වූ පසු කිහිපවාරයක් කතා කළ බව සැබෑය.නමුත් මට සිහි වන්නේ ඔහු කාර්යබහුල බව පැවසූ අන්දම ය.මට දෙනෙත් සම්බන්ධ සම්පූර්ණ කතාව ඔහු හා පවසන හදිසි සිතුවිල්ලක් හට ගත්තේ ය.දෙනෙත් නිසා මා වැටී ඇති අගාධය කියන්නට පෙර මට දැන ගන්නට වෙනත් යමක් තිබිණ.
“අංකල් ඇයි අපේ අම්මව දාලා ගියේ?”
ඒ ප්‍රශ්නය ඊට වඩා මානුෂිකව අසන්නට තිබුණු බව මට සිතුණේ ඉන්පසුව ය.ඔහුගේ මුහුණෙහි ඇඳුණු හැඟුම් සමුදාය හන්දා ය.තත්පර කිහිපයක නිහැඬියාවක් ගෙවෙන්නට ඇත.
“මං අනෝමාව දාලා ගියා කියල එයා පුතාලාට කියලා තියනවද?”
සුගත් අංකල් අසන්නේ ශෝකී ස්වරයකිනි