අසංකගේ අම්මාත් තාත්තාත් ඉතාම හොඳ මිනිස්සු බව මීට ටික කාලෙකට කලින් මම ඔබට කියපු හැටි ඔබට මතක ඇති.ඇත්තටම ඔවුන් හරිම හොඳ මිනිස්සු.මට අසීමාන්තිකව ආදරය කරපු අම්මා අප්පච්චි කෙනෙක් කියලා තමයි මං ඔවුන් හැමදාට ම සිහිකරන්නේ.
“මේ ආදරේ දරුවෙක් නොලැබුණාම නැති වෙලා ගියේ නැද්ද?”
සාමාන්‍ය පොදු සමාජයේ නැන්දම්මලා එහෙම වෙන නිසා දැන් ඔයාලට එහෙම ප්‍රශ්නයක් ඔළුවට එනවා ඇති.
“එයාට එහෙම වෙන්න වෙලාවක් තිබුණේ නෑ..”
මම දීග ඇවිල්ලා බොහොම ටික කාලෙකින් මගේ නැන්දම්මගෙ දණහිස පොල් ගෙඩියක් තරමට ඉදිමෙන්න පටන් ගත්තා.අම්මෙකුට අසනීප උනහම හැම දරුවෙක්ම කරනවා වගේ අපිත් කැලඹීමට පත් වුණා.ඇයට කෙළවරක් නැතිව වෛද්‍යවරු ළඟට අරගෙන ගියා පරීක්ෂණවලට යොමු කළා.හද සසල කරන ආරංචිය ලැබුණේ ඉන් පසුවයි.
මගේ ආදරණීය නැන්දම්මා පිළිකා රෝගීයෙක් බවට පත්වෙලා!
ඉතින් ඇත්තටම අපි බොහොම කණගාටුවට පත් වුණා.අසංකට තවත් සහෝදර සහෝදරියො හතර දෙනෙක් හිටියා.හැමෝම විවාපත් වෙලා හිටියේ.අම්මගේ රෝහල්ගතවීම්,වෛද්‍ය හමුවීම් විතරක් නෙමෙයි ඇයට තනියම වැඩ කරගන්න බැරි වෙන වෙලාවටත් කර මුලින්ම අහු වුණේ මාව.
“අනේ අනු අද නම් මට බැරි වෙයි අද පොඩි පුතාගේ parents meeting.”
“අනුරාධා නංගි, ඔයාට අදත් අම්මා ළඟ ඉන්න පුලුවන්ද? අපේ දූට හොඳටම උණ..”
“මොනවත් කරගන්න වෙලාවක් නෑනෙ මේ ළමයි එක්ක..”
මගේ නෑනාවරු තරගයට එහෙම පණිවිඩ එවන්න පටන් ගත්තා.එහෙම පණිවිඩ ආවට පුම්බගෙන අසංකගේ අම්මව මග අරින්න මට හිත් දුන්නේ නැහැ.පළමුවෙනි කාරණාව මට මීට කලින් නැන්දම්මා කෙනෙකුගේ අත්දැකීම් තියනවා.එක ගෙදරක ජීවත් වෙන්න නොලැබුණාට සුදාරකගේ අම්මගේ දෙබිඩි හැසිරීම මගේ ජීවිතය උස්සා පොළොව ගැසූ බව මම දන්නවා.පුතා මාව අවශ්‍යම බව කියද්දී බොරුවට අපේ ගෙදර නෑගම් ආවට,ඊටත් පස්සේ පුතා හොරෙන් කරගත්තු කසාදෙටත් ආවට ඇයි ජීවත් වුණේ මහම මහ තණ්හාවක් ඔළුවේ තියාගෙන.කොහොමත් ඇගේ නරක මේ කතාව ඉස්සරහටත් ඔබට දැනගන්න පුළුවන්.හැබැයි අසංකගෙ අම්මා කියන්නේ සැබෑ ලෙසම අම්මා කෙනෙක්.ඇය මට හරි ආදරෙයි.ඉතින් එයාට සලකන්න ඒක තමයි මට තිබුණු පළමුවැනි කාරණාව.
අනිත් කාරණාව මම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්.කේන්තියෙන් ජීවත් ජීවත් වීම වෙනුවට අනුන්ට උපකාර කිරීම සහ කරුණාවන්ත වීම තෝරගන්න මම දෙපාරක් හිතුවේ නෑ.ඉතින් මේ වයසක සහ රෝගී වෙච්ච අම්මට මගේ දවසෙන් වැඩි හරියක් කැපකරන්න මම පසුබට වුණේ නැහැ.
“අනුරාධා ඔසරියට හරිම ලස්සනයි..ඔය විදියට නෙමෙයි පුතේ අම්මලා අඳින විදිහට අඳින්න..”
මම පවුලේ කටයුත්තකට ඔසරිය අඳින වෙලාවට මං ගැන බොහොම බොහොම සතුටු වෙලා මගේ රූපය වර්ණනා කරන අපූරු අප්පච්චි කෙනෙකුත් මට නුවර පවුලෙන් ලැබිලා තිබුණා.දෙවැනි ලෝක යුද්ධයට පවා සහභාගි වුණු ගරු ගාම්භීර පුද්ගලයෙක් වුණු එතුමා වලව්වක පුංචි කුමාරිහාමි කෙනෙක් නොවුණත් මට ලේලියක් විදිහට බොහොම ආදරය කළා.ඇත්තටම අම්මා තාත්තා නැති අඩුපාඩුව එයාලගෙන් දුරස් වූ වේදනාව මේ අම්මා තාත්තා නිසා මට මග ඇරිලා තිබුණා.
අම්මගේ දණහිස හරියේ ඉඳලා පොල් ගෙඩි තරමේ ලොකු ගෙඩි මතු වෙනවා.මේවා මොන තරම් වේදනාකාරී වෙන්න ඇතිද කියලා මම අදටත් සිහි කරන්නේ හරිම වේදනාවකින්.ඇය පේරාදෙණිය සහ මහනුවර රෝහල් වන මාරුවෙන් මාරුවට නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.හරියට බලාගෙන ගියාම මගේ ජීවිතයත් ඒ රෝහල්වලට ම ඇය එක්ක දිය වෙන්න පටන් ගත්තා.ගෙදරදි කොස්සක් ඉදලක් වත් අතු නොගාපු දෝණියැන්දැ විවාහයත් එක්ක මේ තරම් වගකීම් උසුලමින් දුක් විඳින විඳින කොට මගේ අම්මටත් තාත්තටත් මොනවද හිතුණේ කියලා මම අදටවත් දන්නේ නැහැ .ඒ දවස් වල ඉගෙන ගන්න අහන්න හිතුනත් මම එහෙම අහල ඔවුන්ගේ හිත රිදවූවේ නෑ.
ඉතින් ජීවිතය ඒ විදිහට ගලාගෙන යමින් තිබුණා.