“මේ කතාව අහගෙන යනකොට හැමෝටම එනවා ප්‍රශ්නයක්..”
හැමෝටම ආ ප්‍රශ්නය අහන්නට ඉන්නේ ස්මාර්ට්ලේඩි කණ්ඩායම.මම ඔවුන්ට උපන් ඒ මහා ප්‍රශ්නයට මුහුණ දෙන්නේ සිනාවෙමින්. ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා ඉසිඹුලමින් ඉන්න මට ප්‍රශ්න කියන දේවල් ගැන කිසිම ගාණක් නෑ.
“ජීවිතේ එපා වෙනකොට මහන්සි හිතෙනකොට ඇයි සුධාරකව හෙව්වෙ නැත්තේ..”
ඒ ප්‍රශ්නයක් නම් තියෙන්නෙ බොහොම සාවධාන පිළිතුරක්.මම ඒ ගැන කියන්න දෙපාරක් හිතන්නේ නැහැ.
“මට තිබුණු ප්‍රශ්න එක්ක මට ඒ වගේ දේවල් හිතන්න වෙලාවක් තිබුණෙ නෑ.අනික් කාරණාව මෙතන දුකයි කියලා ගිහිල්ලා එයාගේ ජීවිතය දුකක් කරන්න මම කැමැති වුණේ නැහැ..”
නමුත් ඔබ ඒ පිළිතුරෙන් සෑහීමකට පත් නොවන බව මම දන්නවා.බාල බොළදියක් කාලේ ආදරයක පැටලිලා ඊට පස්සේ ඒ වෙනුවෙන් මහ සටනක් අරගෙන ගිය මම ගැන ඔබට ලොකු සැකයක් ඇති වෙලා කියලා මට ස්මාට්ලේඩි කණ්ඩායම කිව්වා.
“සාමාන්‍ය ගෑනු සොබාවේ කියලා ලෝකෙ පිළිගත්තු සම්මතය හින්දමයි මේ ප්‍රශ්නය නම් කියවන අය අහනවා ඇත්තේ..”
ලියන්නිය මගේ හිත නොරිදෙන ලෙස අහනවා. ඇත්තටම ඒ වගේ දේවල් වලින් මගේ හිත රිදෙන්නේ නැහැ.මම රිදවා ගත් තරමට ඔබ අහන කිසිම දෙයක් මට රිදෙන තැන් නෙමෙයි.
“සුදාරකගෙන් ඩිවෝස් වෙන්න එයාගේ ගෙදරින් බල කරනකොට කිසිම සටනක් අරගෙන යන්නේ නැතුව ඒකට කැමති වුණේ ඇයි?එතකොට අසංකගෙ යෝජනාව ඇවිල්ලනෙ තිබ්බේ.කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් සල්ලි කාරයෙක් ළඟට යන එක ගැන කැමැත්තක් ඇති වුණාවත්ද? ඒ නිසා සුදාරකව අත් ඇරියාද?”
මහා සල්ලි කාරයෙක් කියලා හිතලා දෙමාපියන් විවාහ කරපු මනුස්සයා රටටම ණය වුණු කෙනෙක් කියලා දැනගත්තම ඔයාලට ඒ ප්‍රශ්නය අහන්න හිතෙනවා ඇති.ජීවිතය රැකේවිද කියලා විශ්වාසයක් නැති රණවිරුවෙක් අමතක කරලා සුවපහසු ලෝකයක් තෝරගත්ත මට හොඳ වැඩේ කියලත් ඔයාලා කියනවා ඇති.නමුත් ඔබ මේ සටහන කියවන කාලයත් මම ඒ අත්දැකීම වින්ද කාලයත් කියන්නේ විශාල කාල පරතරයකට.ජංගම දුරකථනය අතේ තියාගෙන ලෝකයේ ම ප්‍රශ්න වලට පහසුවෙන් විසඳුම් හොයන ඔබ තරම් ඒ කාලේ අපි බුද්ධිමත් නෑ.බුද්ධිමත් නෑ කියනවාටත් වඩා අපිට ලෝකය ගැන අත්දැකීම් නෑ.
වර්තමානයෙ ඔබේ පෙම්වතා වෙනත් රටකට ගිහින් ඉදිද්දී හෝ ඔහු ගැන හාවක් හූවක් නැති වෙලා ගියොත් ඔයාලා මොනවා කරයිද? ඇත්තටම මොනවද කරන්න බැරි? ඔහු ගැන විස්තර ලියලා ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න යන්නේ විනාඩි පහයි.ඒවාගෙ කාරණා වලට උදව් කරන රාජ්‍ය නොවන සංවිධාන දැන් ඕනේ තරම්.උපදෙස් ගන්න නීතිඥවරියන් කාන්තා සමූහවලම ඔබට ඕනෑතරම් මුණගැහෙනවා.ඒ මොනවත් නැතත් ඔහු ඉන්න රටට ගිහින් විපරම් කරන්න තරමට හරි දැන් ඔබේ ලෝකෙ විශාලයි.
ඒ කාලේ අපිට දුරකථන කියන්නේ මාර පුදුමයක්.ගෙදර තියන ස්ථාවර දුරකථනය මිසක් අපි අතේ ජංගම දුරකථන තිබුණෙ නෑ.දුරකථන ඇප් එකකින් ගෙදර ගේට්ටුව ලඟටම ටැක්සියක් ගෙන්නා ගෙන කොහේ හරි යන්න ඔබට ගත වෙන්නේ තත්පර ගණක්.නමුත් කොළඹට තදාසන්න නගරයක ජීවත් වුණු මමත් ඒ කාලේ එහෙ මෙහෙ ගියේ රෝසා බස් කියන ජාතියේ.
“දැන් ළමයි අපිට වඩා හරියට පැහිලා.අපි ඒ කාලෙ කොච්චර අහිංසකයි ද?”
කෙල්ලන්ගෙ පණ්ඩිත කතා අහගෙන ඉන්න ගමන් මගේ දූගේ මිතුරියන්ගේ අම්මලා එහෙම කියනවා.මටනම් ඒකට දෙන්න තියෙන්නෙ වෙනස් උත්තරයක්.
“දැන් ළමයි පණ්ඩිතයි නෙමෙයි.එයාලට බොහොම පුළුල් ලෝකයක් තියෙනව.අපි ජීවත් ජීවත් වුණේ හිරවුණු ලෝකෙක.පිටත ලෝකයත් එක්ක කිසිම සම්බන්ධතාවක් ඇති කර ගන්න අමාරු ලෝකෙක.තමන්ට වුණු අසාධාරණයකදී වත් අපට ඒ වෙනුවෙන් සටන් කරන්න හම්බුනේ නෑ.දැන් එහෙම නැහැ.ළමයින්ට ලෝකය අත ලඟටම ඇවිත් තියෙනවා.මටනම් ඒ ගැන දැනෙන්නේ හරි සතුටක්.”
මට සුදාරක අහිමි වුණේ ලද බොළඳ කමකින් කියලා මම හිතන්නේ නැහැ.සන්නිවේදන ගැටලු සහ ගෙදරට හිර වුණු ගෑනු ළමයෙක් වීම මට ඔහු අහිමි කළා.ඔහුව කැමැත්තෙන් මගහැර ගත්ත බව මම කිසිම දවසක හිතන්නේ නැහැ.ඒ නිසා අසංක සමඟ දුක් විඳින්නට සිදුවීම සුධාරකව පහසුවෙන් අත්හැර ගැනීම නිසා ලැබුණු දඬුවම කියලා මම විශ්වාස කරන්නේ නෑ.
අසංක එක්ක විවාහය අවුරුදු හයක් ඉක්මවා යමින් තිබුණා.අතිශය කරදරකාරී කාලයක මම ජීවත් වෙමින් හිටිය කාලයක් ඒ.රෝහල් වාට්ටුවල දී මට මුණ ගැහුනු කාන්තාවෝ සහ හැමදාම මුණ ගැහුණු ඥාතීන් ගැන දිග විස්තරයක් ඔයාලට කියන්න තියෙන කාලයක් ඒ.