‘තාත්තෙ,දෙනෙත්ට කතා කරන්න එපා..”
දියණියකගේ සතුට වෙනුවෙන් තාත්තා කෙනෙකු නොකරන දෙයක් නැත.එහෙව් කාරණාවක් ඇපයට තබා මගේ තාත්තා දෙනෙත් වෙත යැවිය යුතු නොවේ.තාත්තා ගෞරවයක් සහිතව ජීවත් වූ මිනිසෙකි.තාත්තා නොව අයියාවත් මගේ සතුට වෙනුවෙන් දෙනෙත් ඉදිරිපිට ආයාචනා කළ යුතු නැතැයි මම සිතුවෙමි.
තාත්තා මා දෙස බැලුවේ පැහැදිලි දෑසකිනි.ඒ ඉල්ලීම මා කරන්නේ සැබෑවටම ද යන්න දැන ගන්නට ඔහුට අවශ්‍ය වන්නට ඇත.
“මට එයාව හිතින් අතාරින්න අමාරුයි තාත්තේ..”
එය එසේ බව සැබෑවකි.නමුත් මට එක් දෙයක් පැහැදිලි ය.තාත්තා මා අම්මා වනවාට බියෙන් පසු වේ.එහෙත් මට දැන් දැනෙන බය මා තාත්තා මෙන් දුක් උහුලන කෙනෙකු වේයැයි කියා ය.තාත්තා ඔහුට ආදරය නොකරන ගැහැනියක හා විවාහ වී අපි කිසිවෙකුට නොකියා දුක් දරා ගෙන තිබේ.මට ආදරය නොකරන දෙනෙත් සමඟ ප්‍රේමයෙන් බැඳී ඔහුව විවාහ කරගතහොත් මගේ ඉරණම ද එයම නොවේ ද?
“ඒයි..රිසල්ට්ස් අවුට් වෙලා..”
සියල්ල උඩුයටිකුරු කරමින් එවැනි පණිවිඩයක් එව්වේ උවනි ය.හොඳ ප්‍රතිඵලයක් ලැබෙන බව දැන සිටිය ද මා ගැහෙන බව මට දැනිණ.අම්මා මා හොඳින් සමත් නොවූවොත් ඉතා විශාල නැටුමක් නටන බව මට සහතික ය.මම ගැහෙමින් ද ඇස්වල කඳුළු පුරවා ගනිමින් ද තාත්තා තුරුලට වූයෙමි.
“මේ මොකද පුතු මේ..සූකිරි මේ පාර කැම්පස් නොගියොත් මං ඔයාව පිටරටකට යවන්නද? ටිකක් හිත හරියන්නත් එක්ක..”
තාත්තා එසේ අසයි.එහෙත් ඔහු ගෙදරින් එද්දි මට ගෙදර අතහරින්නට ලෝබකමක් දැනිණ.
“සූකිරියා..ඔය කරගෙන තියෙන්නේ..”
අයියා ඇමතුමක් දුන්නේ විනාඩි කිහිපයකිනි.රහස් ආදරයක සිරවී මා පාඩම් වැඩ මඟ හැරගත් චෝදනාව අයියා කරන්නට යන බවක් මට දැනේ.මා විභාගය අනාගෙන ඇති හැඩකි.
“මගෙ පවර්ස් ඔක්කොම ඉවරයි.ඔන්න අත පය කඩාගන්න මෝඩ සූකිරියා මෙඩිසින් සිලෙක්ට් වෙලා..”
අයියා කියන්නේ සන්තෝසය පෙරෙන කටහඬකිනි.මම.හඬන්නට පටන් ගතිමි.වේදනා සාගරයක සිටි මට ඒ සතුට දරා ගන්නට බැරිතරම් ය.තාත්තාගේ ආදරය මැද ඒ සතුටෙහි කිමිදෙන්නට ලැබීම ගැන මට දැනෙන්නේ මහත් සතුටකි.
අම්මා සියලු තරහ අමතක කර දමා පැමිණ මා වැලඳ ගත්තා ය.ගොඩේ කොලුවෙකුට ප්‍රේම කරන්නට ගොස් විභාගය අනාගෙන තිබුණහොත් මගේ අනිත් අඬු ද කඩා දමන බවට කළ තර්ජන අම්මාට අමතක ය.ඇය දැන් හිඳින්නේ පුදුමාකාර සතුටකිනි.
“අනෝමාගේ මහන්සිය තමයි.ඔයා කොච්චර මෙයාලගෙ ඉගෙනීමට කැප වුණාද?”
තාත්තා මගේ ජයග්‍රහණයේ මුළු අයිතිය අම්මාට පැවරුවේ මුළු හදවතිනි.අම්මා ආඩම්බරයෙන් හිනැහිණ.අම්මා අපේ අධ්‍යාපනය වෙනුවෙන් ළමා මනෝවිද්‍යාව අහකටම දමා කැප වූ බව අසත්‍යයක් නොවේ.වෙහෙසී අරමුණු කරා යන්නට ඇය අප කෙවිටි කරන්නට වුව ද පසුබට නොවූවා ය.ඇය කෙසේ හෝ ඇගේ අරමුණ වෙත ළඟා වූ අවසන් ය.තාත්තා ඒ ගෞරවය අම්මාට දීම එක අතකට ඔවුන්ගේ සබඳතාවය යළි තහවුරු වන්නට හේතුවක් බව මම සිතීමි.
නමුත් සෑම අම්මා කෙනෙකුම අපේ අම්මා මෙන් නොවේ.උවනි රසායන විද්‍යාව අසමත් ය.දැඩිව කම්පනයට පත් වී සිටි ඇය සනසන ලැයිස්තුවේ උඩම සිටියේ ආන්ටී ය.ඇය සිදු වූ දෙය කම්පාවට කාරණාවක් නොවන බව කියමින් උවනිට ආදරය දුන්නා ය.ජයග්‍රහණයකදී නොව වේදනාවකදී හා පරාජයකදී වැලඳ ගන්නා අම්මා කෙනෙකු ලැබීම මොනතරමට මිහිරි හැඟීමක් දැයි මම සිතීමි.
නමුත් විසුළුසහගතම කාරණාව සිදු වූයේ එදින සවස් යාමයේ ය.නොනවත්වාම නාද වෙන දුරකථනය කියන්නේ ඇමතුම දෙනෙත්ගෙන් බව ය.මා ගිලන්ව රෝහල්ගතව හිඳියදී පවා එකදු ඇමතුමක් නොදුන් තරුණයා මේ අමතන්නේ සුබ පතන්නට ය.
ප්‍රේමයට මෙසේ සිනාසී එය මොනතරම් විහිළුවකදැයි සිතන්නට දිනයක් පැමිණ ඇති බව මට වැටහිණ.